10. සමිද්ධි සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ තපෝදාරාමයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් සම්ද්ධි භික්‍ෂුතෙම රෑ අලුයම නැගී සිට තපෝදා දියවිල යම්තැනෙකද එතැනට ඇඟ සේදීම පිණිස පැමිණියේය. තපෝදායෙහි ඇඟ සෝදා ගොඩ අවුත්, එක් සිවුරක් පමණක් ඇකිව ඇඟ තෙත සිඳුවමින් සිටියේය.

2. එකල්හි එක්තරා දෙවියෙක් රෑ පෙරයම ගෙවුනු කල්හි බබළන පැහැ ඇත්තේ, සියලු තපෝදා පෙදෙස බබුළුවා, ආයුෂ්මත් සමිද්ධි භික්‍ෂුතෙම යම් තැනෙකද එතැන්හි එළඹියේය. එළඹ අහසෙහි සිට ආයුෂමක් සමිද්ධි භික්‍ෂුහට ගාථායෙන් (මෙසේ) කීවේය.

´´භික්‍ෂූන් වහන්ස, ඔබ (කම් සැප) නොවලඳා සිඟා කති. ඔබ (කම් සුව) වලඳා සිඟා නොකති. භික්‍ෂූන් වහන්ස, (පස් කම් සුව) වලඳා (පසුව) සිඟා කන්න. (තරුණ) කාලය ඔබ ඉක්මවා නොයේවා.´´

එවිට ආයුෂ්මත් සමිද්ධි තෙම මෙසේ කීය.) ´´(මැරෙන) කාලය නම් මම නොදනිමි. වැසුණු කාලය නොපෙනේ. එබැවින් (කම් සුව) නොවලඳා සිඟා වලඳමි. කාලය මා ඉක්මවා නොයේවා.´´

3. එවිට ඒ දෙවිතෙම පොළොවෙහි සිට ආයුෂ්මත් සමිද්ධි භික්‍ෂුහට මෙසේ කීය:

´´භික්‍ෂූන් වහන්ස, ඔබ ළදරු වියෙහිම පැවැදිවූ කෙනෙක, තරුණය, ඉතා කළු කෙස් ඇත්තෝය. යහපත් තරුණ භාවයෙන් හා ප්‍රථම වයසින් සමන්විතයෝය. කාම ක්‍රීඩා නොකළ කෙනෙක. භික්‍ෂූන් වහන්ස, මනුෂ්‍යයන්ට අයත් කම් සැප වැළඳුව මැනව. මෙහි මේ ආත්මයෙහිම වැළඳිය හැකි කම් සැප හැරදමා කල්ගතව ලැබෙන කාම සම්පත් අනුව නොදුවනු මැනව.´´

4. ´´ඇවැත්නි, මම වනාහි මේ ආත්මයෙහි වින්ද හැකි සැපයක් හැර දමා කල්ගතව ලැබෙන සැපයක් පස්සේ නොදුවමි. ඇවැත්නි, මම වනාහි කල්ගතව ලැබෙන සැප හැරදමාමේ ආත්මයෙහිම ලැබිය හැකි සැප පස්සේ දුවමි. ඇවැත්නි, කාමයෝ වූකලී කාලිකයෝය, (කලින්කල ලැබිය යුත්තෝය) බොහෝ දුක් පමුනුවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දෝෂයෝ නම් බොහෝයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මේ ධර්‍මය වනාහි මේ ආත්මයෙහිම තමා ඇස් හමුයෙහි ඵල ඇත්තේය. අකාලිකය, (කල් නොයවා පල දෙන්නේය.) එහිපස්සිකය, (එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය.) ඔපනේයකය (වහා තම සිතට පැමිණවීමට සුදුසුය.) නුවනැත්තන් විසින් තම තමා කෙරෙහි දතයුතුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි´´ (කීය.)

5. ´´භික්‍ෂූන් වහන්ස, කෙසේ නම් කාමයෝ කාලිකයෝය, බොහෝ දුක් සලසන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දොස් බොහෝයයි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද? කෙසේ නම් (ඔබ කියන) මේ ධර්‍මය අකාලිකයයි, එහිඵස්සිකයයි, ඔපනේයකයයි, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහි දතයුතුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද?´´

6. ඇවැත්නි, මම වනාහි ළඟදී පැවිදිවූයෙක්මි. මේ ධර්‍ම විනයට අළුත ආයෙක්මි, (එබැවින්) විස්තරකොට කියන්නට නොහැත්තෙමි. අර්‍හත් සම්‍යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි තපෝදාරාමයෙහි වෙසෙති. ඒ භාග්‍යවතුන් වහන්ාස් වෙත එළඹ මෙ නරුණ විචාරව, යම්සේ ඔබට භාග්‍යවතුන් වහන්සේ (මෙය) තෝරා දෙන සේක්ද, එසේ එය සිතෙහි දරාගනු මැනවැ´´ යි කීය.

7. ´´භික්‍ෂූන් වහන්ස, අන් මහේශාක්‍ය දේවතාවන් විසින් පිරිවරනලද ඒ භාග්‍යවතුන් වහන්සේ කරා අප වැන්නවුන්ට පැමිණීම පහසු නොවේ, ඉදින් භික්‍ෂූන් වහන්ස, ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ මෙ කරුණ අසන්නෙහි නම් අපිත් බණ අසන්නට එන්නෙමු,´´

8. ´´එසේය ඇවැත්නි´´ යි ආයුෂ්මත් සමිද්ධි මහණ තෙම ඒ දෙවියාට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක ඉඳගත්තේය. එක් පසෙක උන් ආයුෂ්මත් සමිද්ධි තෙම මෙසේ කීය.

9. ´´ස්වාමීනි, මම රෑ අළුයම්හි නැගී සිට තපෝදා විල යම් තැනෙකද එතැනට ඇඟ සෝදා ගන්නට ගියෙමි. තපෝදායෙහි ඇඟ සෝදා ගොඩවුත් එක් සිවුරක් ඇතිව ඇඟ තෙත සිඳුවමින් සිටියෙමි. ස්වාමීනි, එකල එක්තරා දෙවියෙක් රෑ (පෙරයම ) ගෙවුන කල්හි දිලිසෙන පැහැ ඇත්තේ මුලු තපෝදා විල් පෙදෙස බබුලුවමින් මම් යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, අහසෙහි සිට:

´´භික්‍ෂූන් වහන්ස, ඔබ නොකා හිඟති. කා නො සිඟති. භික්‍ෂූන් වහන්ස, කා ඉන්පසු සිඟන්න. කාලය ඔබ ඉක්මවා නොයේවා´´ යි මේ ගාථායෙන් කීවේය.

10. ´´එසේ කීකල, ස්වාමීනි, මම ඒ දෙවියාට ගාථාවෙකින් ´කාලය මම නොදනිමි. වැසුණු කාලය නොපැනේ. එබැවින් නොකා සිඟමි. කාලය මා නොඉක්මවා´ යි පෙරළා කීමි.

11. ´´ස්වාමීනි, එවිට ඒ දෙවියා පොළොවට බැස සිට, භික්‍ෂූන් වහන්ස, ඔබ ළදරු වියෙහිම පැවිදිවූ කෙනෙක, තරුණය, ඉතා කළු කෙස් ඇත්තෝය, යහපත් තරුණ භාවයෙන්, ප්‍රථම වයසින් යුක්තයෝය, කාම ක්‍රීඩා නොකළ කෙනෙක. භික්‍ෂූන් වහන්ස, මනුෂ්‍යයන් අයත් කම් සැප වැළඳුව මැනව. මේ ආත්මයෙහි වින්දයුතු සැප හැර දමා කල් පසුව ලැබෙන කම් සැප පස්සේ නොදූවන්නැ) යි මට කීවේය.

12. ´´මෙසේ කීකල, ස්වාමීනි, මම ඒ දෙවියාට ´ඇවැත්නි, මම් වනාහි මේ ආත්මයෙහිම වින්දහැකි සැප හැර දමා කල්ගතව ලැබෙන සැප පස්සේ නොදුවමි. මම කාලික සැප හැරලා මේ ආත්මයෙහිම වින්දහැකි සැප පස්සේ නම් දුවමි. ඇවැත්නි, කාමයෝ වූකලී කාලිකයහ, බොහෝ දුක් පමුණවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන

දෙන්නෝය, එහි දොස් බොහෝයයිද, එහෙත් මේ ධර්‍මයතමා ඇස් හමුවෙහි ඵල ඇත්තේය, කල් නොයවා පල දෙන්නේය, එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය, වහා තම සිතට පැමිණවීමට සුදුසුය.න්වණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතසුතුයයිද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදැ´යි කීමි.

13. ´´ස්වාමීනි, මෙසේ මා කී විට, ඒ දෙව් තෙමේ ´කෙසේ නම් කාමයෝ කාලිකය, බොහෝ දුක් පමුණුවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දොස් බොහෝයයිද, එහෙත් මේ ධර්‍මය තමා ඇස් හමුවෙහි ඵල ඇත්තේය, කල් නොයවා පල දෙන්නේය, එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය, වහා තම සිතට පැමිණවීමට සුදුසුය, නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතයුතුයයිද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදැයි´´ ඇසුවේය,

14. ´´ස්වාමීනි, මෙසේ ඔහු කී කල, මම ´ඇවැත්නි, මම නවක වෙමි, ළඟදී පැවිදිවූයෙකිමි, මේ සස්නට අළුත ආයෙකිමි, විස්කරයෙන් කීමට නොහැක්කෙමි. අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි තපෝදාරාමයෙහි වෙසෙති. උන්වහන්සේ වෙත එළඹ, මේ කරුණු විචාරන්න, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සේ ඔබට මෙය තෝරා දෙන සේක්ද එසේ සිත දරාගන්නැ´ යි කීමි.

15. ´´ස්වාමීනි, මෙසේ කී කල, ´අන් මහේශාක්‍ය දේවතාවන් විසින් පිරිවරනලද ඒ භාග්‍යවතුන් වහන්සේ කරා අප වැන්නවුන් පැමිණීම පහසු නොවේ. ශ්‍රමණයන් වහන්ස, ඉදින් ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, මේ කරුණු අසන්නෙහි නම්, අපිත් බණ අසන්නට එන්නම්හ´ යි ඒ දෙවියා කීවේය. ස්වාමීණි, ඉදින් ඒ දෙවියාගේ කීම සැබෑ නම් ඒ දෙවියා මේ ළඟම ඇතැ´´ යි කීයේය.

16. මෙසේ කී කල ඒ දෙවියා ´භික්‍ෂූන් වහන්ස, විචාරන්න. භික්‍ෂූන් වහන්ස, විචාරන්න. මේ මම් පැමිණියෙමි´´ යි මේ වචන සමිද්ධි ආයුෂ්මතුන්ට කීවේය.

17. එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවියාට ගාථායෙන් මෙසේ කීහ:

´´සත්ත්‍වයෝ උපාදානස්කන්‍ධ පසෙහි සත්ත්‍ව පුද්ගල ආදී වශයෙන් වරදවා හඳුනනසුලු වෙත්. පඤ්චඋපාදානස්කන්‍ධයෙහි පිහිටියාහු වෙත්. ඔවුහු ඒ උපාදානස්කන්‍ධයන් පිරිසිඳ නොදැන්මෙන් මරහුගේ වසඟයට පැමිණෙත්.

´´එහෙත් (යමෙක්) උපාදානස්කන්‍ධයන් පිරිසිඳ දැන්මෙන් නම් කළ යුතු කිසිවකු නොදක්නේද, එසේවූ ඔහුට ´රාගාදී යමෙකින් මෙතෙම මැඩුනේය´ යි කිසිවෙක් ඔහුට දොස් කිය හැකි නොවේ. යක්‍ෂය එසේවූ තැනැත්තකු දන්නෙහි නම් කියව,´´

18. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ වචනයේ අදහස විස්තර වශයෙන් නොදනිමි. ස්වාමීපි, භාග්‍යවතුන් වහන්සේ කොටින් වදාළ මේ වචනයේ අදහස යම් සේ විස්තරයෙන් මම් දැනගත හැකි වන්නෙම්ද, එසේ මට භාග්‍යවතුන් වහන්සේ වදාරනසේක්වා´´ (යි කීවේය.)

19. ´´යමෙක් මම් ´සමයෙමි´ කියා හෝ ´විශෙෂ වන්නෙමි´ කියා හෝ නැතහොත් ´හීනයෙමි´ කියා හෝ කමා සලකාද, ඔහු එයින් අනුන් හා විවාද කරන්නේය, යමෙක් ඒ මානයන්හි නොසැලෙන්නේද, (මාන නැසූ ) ඔහුට මම ´සමයෙමි´ කියා හෝ ´විශෙෂවෙමි´ කියා හෝ ´හීනයෙමි´ කියා හෝ හැඟීමෙක් නැත. යක්‍ෂය, එවැන්නකු දන්නෙහි නම් කියව´´ යි (වදාළසේක.)

20. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාළ මෙහිද අදහස විස්තරයෙන් නොදනිමි. යහපත, ස්වාමීනි, සැකෙවින් වදාළ එහි අදහස විස්තරයෙන් මට දැනගත හැකිවන සේ භාග්‍යවතුන් වහන්සේ එය වදාරනසේක්වා´´ (යි කීවේය.)

21. ´´ක්‍ෂීණාශ්‍රව තෙමේ පැණවීම් හැරදැමුයේය. මානයට නොබටුයේය. හේ නාමරූපයෙහි ඇල්ම දුරු කෙළේය. ගැට නැසූ, දුත් නැති, තණ්හා නැති ඒ රහතුන් දෙවියෝත් මිනිස්සුත් මෙහි හෝ අන් ලොවක හෝ ස්වර්‍ගයන්හි හෝ සියලු සත්වාවාසයන්හි හෝ සොයන්නාහු නමුත් නොදක්නාහ. එසේවූ පුඟුලකු දන්නෙහි නම්, යක්‍ෂය කියව´´ (යි වදාළසේක.)

22. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාළ මේ වචනයේ අර්‍ථ විස්තර වශයෙන් මෙසේ දනිමි.´´

´´වචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ කිසි පවක් හැම වේලෙහි නොකරන්නේය. (නොකළ යුතුය.) කාමයන් දුරුකොට, සිහි ඇත්තේ, මනා නුවණැත්තේ, අවැඩ ඇසුරු කළ දුකද සේවනය නොකරන්නේය´´ යි (කීයේය.)

දෙවෙනි නන්‍දන වර්‍ගයයි.

9. කුටිකා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:

´´ඔබට කුටියක් නැද්ද? ඔබට කූඩුවක් නැද්ද? ඔබට වැළක් නැද්ද? ඔබ බැම්මෙන් මිදුනේද?´´

´´මට කුටියක් කිසිසේත් නැත කිසි ලෙසිනුත් කූඩුවක් නැත. වැළකුත් කිසිසේත් නැත. ඒකාන්තයෙන් බැම්මෙන් මිදුනෙමි.

´´මම් ඔබට කුමක් නම් කුටියෙකැයි කීයෙම්ද? කුමක් නම් ඔබට කූඩුවකැයි කීයෙම්ද? ඔබට කුමක්නම් වැළක් යයි කීයෙම්ද? කුමක්නම් ඔබට බැම්ම යයි කීයෙම්ද?´´

´´මව කුටිය යයි කීයෙහිය. භාය්‍ර්‍යාව කූඩුව යයි කීයෙහිය. තණ්හාව බැඳුම යයි මට කීයෙහිය.´´

(දෙවියා.) ´´ඔබට කුටියක් නැතියේ යහපත. තූඩුවකුත් නැතියේ යහපත. වැලුත් නැතියේ යහපත. බන්‍ධනයන්ගෙන් මිදුනුසේ යහපත.´´

8. හිරි සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබලන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය, පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´ආජානීය අශ්වයා කසය තමා මත හෙනු නොදී වළක්වන්නා සේ යමෙක් තමහට නින්දා ඇතිවනු නොදී වළක්වාද, (එසේවූ) ලජ්ජා හේතුයෙන් පව් දුර ලා සිටින කිසි පුරුෂයෙක් ලොවැ ඇත්තේද?´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)

´´යම් කෙනෙක් ලජ්ජායෙන් පව් නොකොට ඉන් වැළැක හැම කල්හි සිහි ඇතිව හැසිරෙත්ද, දුක් කෙළවරට පැමිණ, විෂමවූ ලොව සමව හැසිරෙත්ද, එසේවූ පුද්ගලයෝ ස්වල්ප දෙනෙක් ඇත්තාහුය.´´

7. දුක්කර (කුම්ම) සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දෙවිතෙම බෘග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:

´´බාලයා විසින් මහණදම් කළ නොහැක්ක, ඉවසිය නොහැක්ක. යම් ඒ මහණදමෙක්හි අව්‍යක්තයා පසුබසීද, එහිලා ඔහුට සම්බාධකයෝ බොහෝ වෙත්.

´´ඉදින් (නොමගින් උපන් ) සිත නොවළක්වන්නේ නම්, ඔහු කී දිනක් මහණකම් කරන්නේද? ඔහු පාප විතර්‍කයන්ට වසඟවූයේ අරමුණක් පාසා පසුබස්නේය.´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)

´´අවයවයන් සිය කබලතුළ බහා ගන්නා ඉදිබුවාසේ මහණතෙම සිතේ උපන් විතර්‍කයන් භාවනාලම්බන නමැති කබලෙහි එක්කොට බහාලන්නේ, තෘෂ්ණාදෘෂ්ටි ආදීන්ගේ ආශ්‍රයෙන් තොරවූයේ, අනුන් නොවෙහෙසන්නේ: කෙලෙස් පිරිනිවනින් පිරිනිවියේ කිසිවෙකුටත් නින්දා නොකරන්නේය .´´

6. නිද්දාතන්‍දි සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකළ වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබලන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´නින්ද, මැලිබව, බඩගිනි, සීත ආදිය නිසා ඇඟමැලිකැඩුම, කුසල්හි නොඇල්ම, බත්මත යන මේ උපක්ලේශ (සිත කිලිටිකරණ කාරණයන්) නිසා මෙහි සත්ත්‍වයන්ට ආය්‍ර්‍ය මාර්‍ගය නොපැනේ.´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) ´´නින්ද, මැලිබව, ඇඟමැලිකැඩුම, කුසල්හි නොඇල්ම, බත්මත යන මේ දේ වීය්‍ර්‍යයෙන් පලවා හැරීමෙන් ආය්‍ර්‍යමාර්‍ගය පිරිසිදුවේ.´´

5. සකමාය (සන්නිකාය) සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එතල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්ාස් වැඳ එකත්පසෙක සිටියේය.

එකත් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:

´´ඉර මුදුන් වේලෙහි පක්‍ෂීන් එකතුව විවේක ගෙන හුන් කලැ මහ වනය (ගස් එතට ගැටීමෙන් ඇතිවූ නාදය) මහ මඬින් හඬන්නාක් මෙනි. එය මට බියෙක්ව වැටහේ.´´

(භාග්‍යවතුන් වහන්සේ:) ´´ඉර මුදුන් වේලෙහි පක්‍ෂීන් රැස්ව හුන් කල්හි මහ වනය හඬන්නාසේ ශබ්ද කෙරේ. එය මට සැපයෙක්ව වැටහේ.´´

4. ඛත්තිය සූත්‍රය.

මා විසිත් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:

´´දෙපා ඇතියන්ගෙන් ක්‍ෂත්‍රියයා ශ්‍රේෂඨය. අඹුවන්ගෙන් බාල වයසෙහි සිටි බිරින්දෑ ශ්‍රෙෂ්ඨය. පුකුන්ගෙන් පළමුව උපන් පුතා ශ්‍රෙෂ්ඨය.´´

(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)

´´සම්‍යක් සම්බුදු තෙමේ දෙපා ඇතියන්ගෙන් ශ්‍රෙෂ්ඨය. සිව්පාවුන්ගෙන් ආජානීයයා ශ්‍රෙෂ්ඨය.(කී දේ තේරුම් ගන්නා සතා) ශ්‍රෙෂ්ඨය. අඹුවන්ගෙන් කියන දේ අසන කීකරු භාය්‍ර්‍යාව ශ්‍රෙෂ්ඨය. පුතුන්ගෙන් මව්පියන්ට කීකරු පුතා ශ්‍රෙෂ්ඨය.´´

3. නත්‍ථිපුත්තසම සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එතල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´පුත්‍ර ප්‍රේමය බඳු අන් ප්‍රේමයක් නැත. ගවසම්පත වැනි වෙන සම්පතෙක් නැත. හිරුට සමවූ වෙන එළියෙක් නැත. මුහුද බඳුවූ අන් විලක් නැත.´´

(´´එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)

´´තමා කෙරෙහි ප්‍රේමය බඳු ප්‍රේමයක් වෙන නැත. ධාන්‍ය හා සමාන ධනයෙක් නැත. ප්‍රඥාව හා සමාන ආලෝකයෙක් නැත. වැස්ස හා සමාන විලක් නැත.´´

2. නන්‍දති සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය.

එකත් පසෙක සිටි ඒ දෙවි තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය :

´´දරුවන් ඇත්තේ දරුවන් කරණකොට සතුටුවේ. ගවයන් ඇත්තාද එසේම ගවයන් කරණකොට සතුටුවේ. උපධීන් (කාමසැප) කරණකොට සත්‍වයාට සතුට ඇතිවේ. යමෙක් උපධි නැත්තේද (පස්කම් සැප නැත්තෙක් වේද) ඔහු නොම සතුටු වේ.´´

´´දරුවන් ඇත්තේ දරුවන් කරණකොට ශෝක කෙරේ. ගවයන් ඇත්තාත් එසේම ගවයන් කරණකොට ශෝක කෙරේ. උපධීන් (කාම සැප) කරණකොට සත්ත්‍වයාට ශෝක ඇතිවේ. යමෙක් උපධි (කාම සැප) නැත්තේද ඔහු ශෝක නොකෙරේ.´´ය (යි කී සේක.)

1. නන්‍දන සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එත් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ කියා භික්‍ෂූන්ට කථා කළසේක.

´´පින්වතුන් වහන්සැ´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

´´මහණෙනි, පෙර වූවක් කියමි. තව්තිසා දෙව්ලෝ වැසි එක්තරා දෙවියෙක් නන්‍දන වනයෙහි දෙවඟනන් සමූහයා විසින් පිරිවරන ලද්දේ, දිව්‍යමයවූ පඤචකාම සම්පත්තීන් යුක්තවූයේ, සමන්විතවූයේ, රූප ශබ්දාදියෙන් විනෝද වනුයේ ඒ වේලාවෙහි මේ ගාථාව කීය:

´´පරිවාර සම්පත් ඇති තව්තිසා දෙවියන්ගේ වාසස්ථානයවූ නන්‍දනවනය යම් කෙනෙක් නොදකිත්නම්, ඔවුහු සැප නම් කිමෙක්දැයි නොදක්නාහ.´´ යනුයි.

මෙසේ කී කළ වෙනත් දෙවියෙක් ඒ දෙවියාට :

´´අනුවණය, රහතුන්ගේ වචනය යම්සේ නම් එසේ තෝ නොදන්නෙහිය. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. (ඔහු) ඉපැදීම හා නැස්ම ස්වභාවයකොට ඇතියහ. ඒ සියල්ල ඉපිද නැසෙත්. ඒ සංස්කාරයන්ගේ සංසිඳීම (නිවන) ම සැප වේයැ´යි ගාථාවෙකින් පෙරළා කීය.´´