10. (තුන්වෙනි) සක්ක නමස්සන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූ සේක, ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

3. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ´´ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම වරක් මාතලී රථාචාය්‍ර්‍යයාට (මෙසේ) කීය: ´යහලු මාතලිය, සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදව, උයන් සිරි දකිනු පිණිස උයනට යමු.´´

4. ´´මහණෙනි, ඉක්බිති මාතලී රථාචාය්‍ර්‍ය තෙම ´යහපති ස්වාමීනි´ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදා ශක්‍රදේවේන්‍ද්‍රයාට ´නිදුකාණනි, ඔබ වහන්සේගේ ආජන්‍ය රථය යොදන ලද්දේය. සුදුසු දේට කල් දනුව´ යි කීවේය.

5. ´´ මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු වෛජයන්ත ප්‍රාසාදයෙන් බැස ඇඳිලි බැඳ භික්‍ෂු සඞ්ඝයා වඳී. මහණෙනි, එවිට මාතලී රථාචාය්‍ර්‍යතෙම ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථාවලින් (මෙසේ ) කීය.

6. ´´කුණු සිරුරින් වැතිර සයනය කරන්නාවූ මේ මනුෂ්‍යයෝ වනාහි ඔබවහන්සේ වඳනාහ. මොවුහු මව්කුස නමැති කුණපයෙහි ගිලුනාහ, බඩගින්න හා පිපාසයෙන් මඩනා ලද්දාාහ.

´´වාසවය, ගිහිගෙයින් වෙන්ව වසන්නාවූ පැවිද්දන්ගේ කිනම් හැසිරීමක් ප්‍රිය කෙරෙහිද? කිව මැනව. අපි ඔබගේ ඒ තෙපුල අසමු.´

7. ´´ ´මාතලිය, ගෘහවාස රහිතවූ ඔවුන්ගේ මේ ගුණය මම ප්‍රිය කෙරෙමි. (කුමක්ද?) ඔවුහු යම් ගමකින් බැහැර යෙදේද, එකල්හි සියලු ඇල්මෙන් තොරව යෙත්.

´´ ´(උන්වහන්සේ සතු කිසිවක්) ඇතුළුගෙහි නොතබත්, කළයෙහිදු නොබහත්. සැළියෙහිදු නොතබත්. අනුන් නිමවූ බත පිඬු සිඟීම් වශයෙන් සොයන්නෝ වෙත්. යහපත් ව්‍රත (පැවතුම්) ඇත්තාහු එයින් යැපෙත්.

´´ ´උන්වහන්සේ යහපත්ලෙස කියන කථා ඇතියහ, ධෛය්‍ර්‍ය සම්පන්නයහ. නිශ්ශබ්ද වූවාහුය, සමවූ හැසුරුම් ඇත්තාහුය. මාතලිය, දෙවියෝ අසුරයන් හා විරුද්ධයහ. (එමෙන්) බොහෝ මනුෂ්‍යයෝද (එකිනෙකා හා විරුද්ධයහ.)

´´ ´විරුද්ධයන් කෙරෙහි මොවුහු අවිරුද්ධයහ. ගත් දඬු ඇතියන් කෙරෙහි නිවුනාහ. ගැනීම් සහිත සත්ත්‍වයන් අතුරෙන් මොවුහු (ගැනීම් නැත්තෝය.) මාතලිය, මම උන්වහන්සේ වඳිමි.´

8. ´´(මාතලී මෙසේ කීය: ) සක් දෙවිඳුනි, යමෙකුන්ට නුඹවහන්සේ වඳිනෙහිද, ලෙව්හි ශ්‍රේෂ්ඨයෝ ඔවුහුම වෙති. වාසවය, ඔබවහන්සේ යමෙකුන් වඳනෙහිද, මමත් ඔවුන් වඳිමි.´

9. ´´මේ වචනය කියා රජවූ, සුජා නම් අසුරදුවගේ සැමිවූ, මඝ (ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේ) සියලු දිසාවන් වැඳ දෙවියන් අභිමුඛයෙහි රථයට නැංගේයි.´´

දෙවෙනි වර්‍ගයයි.

11. අරණ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:

2. ´´මෙලොව කවුරු නම් කෙලෙස් නැත්තේද? කවුරුන් වුසූ වාසය නොනැසේද? මෙහි කවුරු තන්හාව පිරිසිඳ දනිත්ද? කාගේ නම් හැම කල්හිම නිදහස් බව වේද? සිල්හි පිහිටි කවරකු මවත් පියාත් සොහොයුරාත් වඳිත්ද? මෙහි ජාතියෙන් පහත්වූ කාට නම් රජහු ආදරයෙන් නමස්කාර කෙරෙත්ද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) මහණහු මෙලොව කෙලෙස් නැත්තෝය. මහණුන් වුසූ (ආර්‍යමාර්‍ග) වාසය නොනැසේ. මහණහු (තන්හාව) පිරිසිඳ දනිත්. හැම කල්හි මහණුන්ගේ නිදහස් බව වේ. ශීලයෙහි පිහිටි මහණහුට මවත් පියාත් සොහොයුරාත් ආදරයෙන් නමස්කාර කෙරෙති. මෙහි ජාතියෙන් පහත්වූ නමුත් මහණහට රජහුද ආදරයෙන් නමස්කාර කෙරෙත්.´´

අටවන ඣත්‍වා වර්‍ගයයි.

(දෙවතා සංයුත්තය සමාප්තයි.)

10. පජ්ජොත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:

2. ´´ලොව පහනක් වැනි වූයේ කිමෙක්ද? ලොව නොනිඳා සිටින්නා නම් කවරේද? කර්මයෙහි එක්ව ජීවත්වෙන්නා කවරේද? ජීවිකා වෘත්තිය නම් කිමෙක්ද?´´

´´මව පුතකු රක්නා සේ අලසයාත් අනලසයාත් කවරෙක් නම් රැකගනීද? යම් ප්‍රාණි කෙනෙක් පොළොව ඇසුරු කළාහු නම්, කුමක් උපකාර කොට ගෙන සත්ත්‍වයෝ ජීවත් වෙත්ද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ප්‍රඥාව ලොව පහනක් වැනිය. සිහිය ලොව නොනිඳා සිටින්නායි. කර්මාන්ත ආදියෙහි සහායව ජීවත් වන්නෝ ගවයෝයි. සීසෑම (ගොයිතැන) ජීවිකා වෘත්තියයි. ධනය මව පුතකු රක්නාසේ අලසයාත් අනලසයාත් රකී. පොළොව ඇසුරු කළාවූ යම් ෂත්ත්‍වයෝ වෙත්ද ඔවුහු වැස්ස නිසා ජීවත් වෙත්.´´

9. පාථෙය්‍ය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:

2. ´´කිමෙක් නම් මගට වුවමනා දේ බඳීද? භෝගයන් රැස් වන තැන නම් කිමෙක්ද? කිමෙක් නම් සත්ත්‍වයා ඒ මේ අතට අදීද? ලොව කිමෙක් නම් අපහසුවෙන් දුරලිය යුතුද? මලපුඩුවෙන් (බැඳුනු) කිරිල්ලක සෙයින් කිමෙක්හි බොහෝ සත්ත්‍වයෝ බැඳුනාහු වෙත්ද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ශ්‍රද්ධාව සසර මගට වුවමනාදේ බඳී. (සපයයි) ඓශ්චර්‍යය භෝග රැස්වන තැනය. ආසාව සත්ත්‍වයා ඒ මේ අතට අදී. ආසාව ලොව අපහසුවෙන් දුරලිය යුතු දෑය. මලපුඩුවෙන් (බැඳුණු) කිරිල්ලක සෙයින් බොහෝ සත්ත්‍වයෝ ආසායෙන් බැඳුණාහු වෙති.´´

8. කාම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් (මෙසේ ) කීය:

2. ´´වැඩ කැමැත්තේ කුමක් නොදන්නේද? කුමන් (අනුන්ගේ ප්‍රයෝජනයට) හැර නොදමන්නේද? යහපත්වූ කුමක් නම් මුදන්නේද? ලාමකවූ කුමක් නම් නොමුදන්නේද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´කිසි පුරුෂයෙක් තමා (අන් හට දාස කොට ) නොදෙන්නේය. (බෝසතුන් හැර අන් )කිසිවෙක් තමා (සිංහ ව්‍යාඝ්‍රාදීන්ට) හැර නොදමන්නේය. යහපත් වචන මුදා ලන්නේය. ලාමක වචන නොමුදා ලන්නේය.´´

7. ඉස්සර සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:

2. ´´ලොව අධිපති බව කිමෙක්ද? බඩු අතුරෙන් කිමෙක් උතුම්ද? ලොව ශාස්ත්‍රයට මලකව කිමෙක්ද? ලොව විනාශකාරී කවරේද?

´´ගෙන යන කවරකු (මිනිස්සු) වළක්වත්ද? ගෙන යන කවරෙක් වනාහි ප්‍රිය වේද? නුවනැත්තෝ නැවත නැවත එන කවරකු පිළිගනිත්ද?

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´අණ පැවැත්වීම ලොව අධිපති බවයි. භාණ්ඩ අතුරෙන් ස්ත්‍රී උතුමි. ක්‍රොධය ලොව ශාස්ත්‍රයට මලකඩයි. සොරු ලොව විනාශකාරීහුයි.

´´බඩු ආදිය යමක් ගෙනයන සොරා (මිනිස්සු) වළක්වත්. තමාගෙන් යමක් ගෙන යන මහණ තෙම ප්‍රියවේ. නුවණැත්තෝ නැවත නැවත එන මහණහු සතුටින් පිළිගනිති.

6. නජීරති සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:

2. ´´කිමෙක් නම් දිරාද? කිමෙක් නොදිරාද? කිමෙක් නම් නොමගයයි කියනු ලැබේද? කිමෙක් නම් ධර්‍මයන්හට උපද්‍රවද? කිමෙක් නම් රෑ දාවල් ගෙවන්නේද? බඹසරට කිලුට කිමෙක්ද? දිය නැති නෑම කිමෙක්ද? යමෙක සිත නොසිටී නම් ලොව එසේවූ සිදුරු කීයෙක්ද? භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරන්නට ආම්හ. එය අපි කෙසේ දැන ගන්නමුද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´සත්ත්‍වයන්ගේ රූපය දිරයි. නම් ගොත් නොදිරයි. රාගය නොමග යයි කියන ලදී. ලෝභය ධර්‍මයන්ට උවදුරය. වයස රෑ දාවල් ගෙවන්නේය. ස්ත්‍රිය පුරුෂයන්ගේ බඹසරට කිලුටෙකි. මෙහි මේ සත්ත්‍ව සමූහයා ඇලේ. ´´තපසද බඹසරට යන යමෙක් ඇද්ද, එය දිය නැති නෑමයි. කුශීත (අලස) බවද, ප්‍රමාදයද, වීය්‍ර්‍ය නැති බවද, ශීල සංයමය නැති බවද, නිදි බහුල බවද, ආගන්තුක අලස බවද යන මොහු ලොව සිත නොසිටිනා සිදුරු සයයි. ඒ සිදුරු සය සර්‍වප්‍රකාරයෙන් දුරලන්නේය.´´

5. භීත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

2. ´´මහා ප්‍රාඥවූ ගෞතමයන් වහන්ස, ඔබ විසින් මාර්‍ගයද නොයෙක් කරුණු වශයෙන් වදාරණලදී. ඔබගෙන් විචාරමි, මෙහි නොයෙක් සත්‍ව සමූහයා කුමකට බිය ගත්තේද? කිමෙක පිහිටි තැනැත්තේ පරලොවට යන්නේ බිය නොවන්නේද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)´´බොහෝ කෑම බීම ඇති ගෘහයෙහි වසන තැනැත්තේ වචනයද, සිතද නිසි පරිදි පිහිටුවා, කයින් පවු නොකරන්නේ, ශ්‍රද්ධාව, මොළොක් බව, බෙදා වැළඳීම, ත්‍යාගවත් බව යන සතර ධර්‍මයන්හි සිටියේ වේද, (එබඳු ) ධර්‍මයෙහි පිහිටි තැනැත්තේ පරලොවට බිය නොවන්නේය.´´

4. වුටඨි සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

2. ´´නැගෙන්නවුන්හට කිමෙක් නම් ශ්‍රේෂ්ඨද? පහතට බසින්නවුන්හට කිමෙක් නම් ශ්‍රේෂ්ඨද? පයින් යන්නවුන්හට කිමෙක් නම් ශ්‍රේෂ්ඨද? කියන්නන්හට කිමෙක්නම් ශ්‍රේෂ්ඨද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´නැගෙන්නවුන් අතුරෙන් ප්‍රඥාව ශ්‍රේෂ්ඨය. වැටෙන්නවුන් අතුරෙන් අවිද්‍යාව ප්‍රධානය. පයින් යන්නවුන් අතුරෙන් සඞඝයා ශ්‍රේෂ්ඨය. කියන්නවුන් අතුරෙන් බුදුරජ ශ්‍රේෂ්ඨය.´´

3. චිතත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. ඉක්බිති ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

2. ´´ මෙහි ( මෙලොව ) පුරුෂයාගේ ශ්‍රෙෂඨ ධනය නමි කිමෙක්ද? කුමක් නමි මනාව පුරුදු කරන ලද්දේ සුව ගෙන දේද? රස අතුරෙන් ඉතා මිහිරි රසය නමි කිමෙක්ද? කෙසේ නමි ජීවත් වන්නහුගේ ජීවිතය ශ්‍රෙෂඨයයි කියත්ද? ´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ මෙහි ශ්‍රද්ධාව ( මෙලොව ) පුරුෂයාගේ ශ්‍රෙෂඨ ධනයයි. හොඳින් පුරුදු කළ ධර්‍මය සැප ගෙන දෙයි. රස අතුරෙක් ඒකාන්තයෙන් ඉතා මිහිරි රසය නමි සත්‍ය රසයයි. ප්‍රඥායෙන් ජීවත්වන්නහුගේ ජීවිතය ශ්‍රෙෂ්ඨයයි කියත්. ´´