3. අන්‍ධකවින්‍ද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට අන්‍ධකවින්‍ද ගම වැඩවසනසේක.

2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ ඝනාන්‍ධකාරයෙන් අඳුරුවූ රාත්‍රියෙක එළිමහනෙහි හුන්සේක. වැස්සද පොද එක දෙක වැටුනේය.

2. ඉක්බිති සහම්පති බ්‍රහ්මයා මධ්‍යම රාත්‍රිය ඉක්මුණුකල බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු අන්‍ධකවින්‍ද ගම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.

3. එකත්පසෙක සිටි සහම්පති බ්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කීය:

( ´´ මනුෂ්‍යවාසයෙන් දුර පිහිටි සේනාසනයන් සෙවනය කරන්නේය. ) සංයෝජනයන්ගෙන් මිදීම පිණිස හැසිරෙන්නේය. ඒ සෙනසුන් ප්‍රියකළ නොහැකිනම් ආරක්‍ෂා සහිත ආත්මයක් ඇතිව සිහි ඇතිව සඞඝයා මධ්‍යයෙහි වාසය කරන්නේය.

´´ දමනය කරනලදඉන්‍ද්‍රිය ඇත්තාවූ, පුඥාවත්වූ, ස්මෘතිමත්වූ, කුලයෙන් කුලයට පිඬු පිණිස හැසිරෙන්නේ, ( මනුෂ්‍යවාසයෙන් දුර පිහිටි ) වනසෙනසුන් සේවනය කරන්නේය. හෙතෙම සංසාර භයෙන් මිදුනෙක්ව නිර්‍වානයෙහි නැමුණෙක්ව වාසය කරන්නේය.

´´ යම් තැනෙක බියජනක අරමුණු වෙත්ද, දීර්ඝ ජාතික සර්‍පාදීහු වෙත්ද, විදුලිය පවතීද, මේඝය ගර්ජනය කෙරේද, ඒ ස්ථානයෙහි ( යෝගාවචර ) මහණතෙම ( භාග්‍යවතුන් වහන්සේ) ඝනාන්‍ධකාරයෙන් අඳුරුවූ රාත්‍රියෙහි පහවූ භය ඇතිව හුන්නේය.

´´ මේ කාරණය වනාහි මා විසින් ඒකාන්තයෙන් දක්නා ලද්දේය. මම මේ කාරණය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැනගෙනම කියමි. එක් ධර්‍මදේශනාවෙක්හි මාරයා පරදවා සිටින්නාවූ රහතන්වහන්සේලා දහසක් වෙයි.

´´ බොහෝසේ ශෛක්‍ෂයෝ ( රහත් නොවූ ආය්‍ර්‍යයෝ ) පන්සියයක්ද, ( එක්සිය දස දෙනෙක් )ද වෙති. මේ සියල්ලෝම ආය්‍ර්‍ය මාර්‍ගයට පැමිණියාහු නිරයාදියට නොපැමිණෙන්නාහු වෙති.

´´ තවද මේ ( හැර ) අන්‍ය ප්‍රජා තොමෝ පුණ්‍යයට හිමියයි මාගේ කල්පනාවයි. ඔවුන් මෙපමණය කියා ගනින්නට නොහැක්කෙමි.´´ ( ගණන වැරදීමෙන් ) මෘෂාවාදයට බිය වෙමි.´´

2. දේවදත්ත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ දෙව්දත්තෙර සඞඝභේදය කොට ගයා සීසයට ගිය නොබෝ කල්හි රජගහනුවර ගිජුකුළුපව්වෙහි වැඩවසනසේක.

2. ඉක්බිති සහම්පති බ්‍රහ්මයා මධ්‍යම රාත්‍රිය ඉක්මුණුකල බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ගිජුකුළුපව්ව බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය.

3. එකත්පසෙක හුන් සහම්පති බ්‍රහ්මයා දෙව්දතුන් ගැන භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´ යම්සේ ඵලයතෙම ඒකාන්තයෙන් කෙසෙල්ගස නසාද, ඵලය හුණ ගස නසයිද, ඵලය බට ගස නසයිද, දරුගැබ අශ්වතරීය ( කොටලුට දාව වෙළඹ කුස උපන්නීය ) යම්සේ නසන්නේද, ( එසේම ) සත්කාරය තෙම අධම පුරුෂයා නසයි.´´

10. දෙවෙනි කෝකාලික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. ඉක්බිති කෝකාලික භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පසෙක හුන්නාවූ කෝකාලික භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ´´ස්වාමීනි, සැරියුත් මුගලන් තෙරහු ලාමක අදහස් ඇත්තාහු ලාමක අදහස්වලට වසඟවූවාහුය.´´

2. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්‍ෂුවට මෙසේ වදාළසේක: ´´එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික, කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන් දෙනම ශීලවන්තයෝය.´´

3. දෙවනුවත් කෝකාලික භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි විශ්වාසකට හැක්කේය, ඇදහියයුතු කථා ඇත්තේය, එසේ වුව සැරියුත් මුගලන් තෙරහු පවිටු අදහස් ඇත්තෝය, පවිටු අදහස්වලට වසඟ වූවාහුය.´´

4. දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්‍ෂුවට මෙසේ කීය: ´´එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික, කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන් දෙනම ශීලවන්තයෝය.´´

5. තුන්වෙනුවත් කෝකාලික භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි විශ්වාසකට හැක්කේය, ඇදහියයුතු කථා ඇත්තේය, එසේ වුව සැරියුත් මුගලන් තෙරහු පවිටු අදහස් ඇත්තෝය, පවිටු අදහස්වලට වසඟ වූවාහුය.´´

6. තුන්වෙනුවද භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්‍ෂුවට මෙය කීය: ´´එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික, කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන් දෙනම ශීලවන්තයෝය.´´

7. ඉක්බිති කෝකාලික භික්‍ෂුතෙම අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, ප්‍රදක්‍ෂිණාකොට ගියේය. එසේගොස් නොබෝ වේලාවකින් කෝකාලික භික්‍ෂුවගේ සකල ශරීරය අබැට පමණවූ පිළිකාවලින් පැතුරුනේ විය. අබ ඇට පමණව, මුං ඇට පමණ විය. මුං ඇට පමණව කඩල පමණ විය. කඩල ඇට පමණව ඩෙබර ඇට පමණ විය. ඩෙබර ඇට පමණව නෙල්ලි පමණ විය. නෙල්ලි පමණව නොපැසුණු බෙලි පමණ විය. නොපැසුණු බෙලි පමණව බෙලි පමණ විය. බෙලි පමණව ගැහුනේය. සැරවද ලේද වැගිරිණි.

8. ඉක්බිති කෝකාලික භික්‍ෂුව ඒ ලෙඩින්ම මැරුණේය. මැරුණාවූ කෝකාලික භික්‍ෂුතෙම සැරියුත් මුගලන් කෙරෙහි වෛර බැඳ පදුම නිරයෙහි උපන්නේය.

9. ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම රෑ පෙරයම ඉකුත් කල සියලු ශරීර ආලෝකයෙන් ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවත්හු වැඳ එකතපසෙක සිටියේය. එකත්පසෙක හුන් සහම්පති බ්‍රහ්මතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ´´ස්වාමීනි, කෝකාලික භික්‍ෂුතෙම මැරුණේය. මැරී සැරියුත් මුගලන් දෙතෙරුන් කෙරෙහි වෛර බැඳ පදුම නරකයෙහි උපන්නේය.´´ සහම්පති බ්‍රහ්මතෙම මෙය කීය. මෙසේ කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ ප්‍රදක්‍ෂිණා කොට එහිම අතුරුදහන්විය.

10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඉක්මුණු පසු භික්‍ෂූන්ට කථාකළසේක. ´´මහණෙනි, මේ රාත්‍රියේ සහම්පති බ්‍රහ්මතෙම රෑ පෙරයම ඉකුත් කල සියලු ජේතවනය ශරීර ආලෝකයෙන් බබුළුවා මම යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, මා වැඳ එකතපස්ව සිටියේය. මහණෙනි, එකත්පස්ව සිටි බ්‍රහ්මතෙම මට මෙය කීය: ´´ස්වාමීනි, කෝකාලික භික්‍ෂුතෙම මැරුණේය. ස්වාමීනි, මැරී කෝකාලික භික්‍ෂුතෙම සැරියුත් මුගලන් දෙතෙරුන් කෙරෙහි වෛර බැඳ පදුම නිරයට උත්පත්තිය වශයෙන් පැමිණියේය.´´ මහණෙනි, සහම්පති බ්‍රහ්මතෙම මෙය කීය. මෙය කියා මා වැඳ ප්‍රදක්‍ෂිණා කොට එහිම අතුරුදහන්විය.´´

11. මෙසේ කීකල එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය: ´´ස්වාමීනි, පදුම නිරයෙහි ආයුෂ කොපමණ දිගද?´´ ´´මහණෙනි, පදුම නිරයෙහි ආයුෂ ප්‍රමාණය දිග්මය, වර්‍ෂ මෙපමණැයි හෝ ශත වර්‍ෂ මෙපමණැයි හෝ සහශ්‍ර වර්‍ෂ මෙපමණැයි හෝ සතසහශ්‍ර වර්‍ෂ මෙපමණැයි හෝ සංඛ්‍යා කිරීමට පහසු නොවේ.´´

12. ´´ස්වාමීනි, උපමා කළ හැකිද?´´

13. ´´හැකිය මහණෙනි´´ යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. ´´ මහණෙනි, යම්සේ කොසොල්රට සංඛ්‍යායෙන් වීසතිඛාරිකයෙක් (දෝන තුන්සිය විස්සක් ) ඇති තල කරත්තයක් වේ නම් එයින් පුරුෂයෙක් වර්‍ෂ සියයක් හෝ දාහක් අවෑමෙන් එක් තල ඇටයක් බැගින් ඉවත දමන්නේනම් මහණෙනි, ඒ කොසොල්රට සංඛ්‍යායෙන් වීසතිඛාරිකයෙක් ඇති තල කරත්තය ඉතා ඉක්මනින් මේ අයුරින් ගෙවීමෙන් අවසානයට යන්නේය, එහෙත් එතරම් ඉක්මනින් එක අර්බුද නරකයෙක ආයුෂ නොගෙවෙන්නේමය. මහණෙනි, අර්බුද නරකයට අයත් කාල ප්‍රමාණයෙන් විසි ගුණයෙන් නිරර්බුද නරකයෙහි එක් කාලයෙකි. මහණෙනි, නිරබ්බුද නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් අබබ නරකයෙහි එක් කාලයෙකි.මහණෙනි, අබබ නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් අටට නරකයට අයත් කාලයෙකි. මහණෙනි, අටට නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙන් එක් අහහ නරකයට අයත් කාලයකි. මහණෙනි, අහහ නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් කුමුදු නරකයට අයත් කාලයෙකි.

මහණෙනි, කුමුදු නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් සෝගන්‍ධික කාලයෙකි. මහණෙනි, සෝගන්‍ධික නරක ප්‍රමාණයෙන් විංශති ගුණයෙක් එක් උප්පල නරකයට අයත් කාලයෙකි. මහණෙනි, උප්පල නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක පුණ්ඩරීක නරකයට අයත් කාලයෙකි. මහණෙනි, පුණ්ඩරීක නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් පදුම නරකයට අයත් කාලයෙකි. මහණෙනි, කෝකාලික භික්‍ෂුව සැරියුත් මුගලන් දෙතෙරුන් කෙරෙහි වෛර බැඳ උපන්නේ පදුම නිරයෙහිය.´´

14. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: සුගතවූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා ඉක්බිතිව මෙසේද වදාළසේක:

´´ මෙලොව උපන් තැනැත්තාගේ මුඛයෙහි කෙටේරියක් ඇත්තේය. නපුරු වචන කියන අන්‍ධබාල දුර්ජනතෙම ඒ කෙටේරියෙන් තමාම වනසයි.

´´ යමෙක් නින්‍දා කටයුත්තාට ප්‍රශංසාද, ප්‍රශංසා කටයුත්තාට නින්‍දා හෝ කෙරේද, හෙතෙම මුඛයෙන් අපරාධ රැස් කර ගනී ඒ අපරාධ කරණකොට සුවයක් නම් නොවිඳී.

´´ යම් වස්තු පරාදයෙක් වේද, තමනුත් සමග ස්වකීය සියලු දේ සම්බන්‍ධ ඒ අපරාධය ස්වල්පයි. යම් කිසිවෙක් යහපත්ව ගිය පුද්ගලයන් ( රහතුන් ) කෙරෙහි සිත දූෂ්‍ය කරන්නේද, මේ වනාහි ( ඊට වඩා ) ඉතා විශාලවූ අපරාධයයි.

´´ ලාමකවූ වචනයෙන්ද, සිතෙන්ද, ආය්‍ර්‍යයන්ට ගරහන පුද්ගලතෙම යම් නරකයකට උප්පත්ති වශයෙන් පැමිණේද, ( එහි ආයුෂ ) නිරබ්බුදයන් සිය දහසෙක් හා ( නිරබ්බුද ) සතිසෙක්ද අර්බුද පසෙක්ද වේ.´´

ප්‍රථම වර්‍ගයයි.

3. බ්‍රහ්මදේව සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල්හි වනාහි එක්තරා බැමිණියකගේ බ්‍රහ්මදේව නම් පුතෙක් ගිහිගෙන් නික්ම භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි විය.

3. ඉක්බිති ආයුෂ්මත් බ්‍රහ්මදේවතෙම තනිව සමූහයාගෙන් වෙන්ව, නොපමාව, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව වෙසෙන්නේ නොබෝ කලෙකින්ම යමක් පිණිස කුලපුත්තු ගිහිගෙන් නික්ම සස්නට වදිත්නම්, මහ බ්‍රහ්මචය්‍ර්‍යාව අවසන්වූ ඒ නිරුත්තර රහත් ඵලය මේ ආත්මභාවයෙහිම, නොබෝ කලෙකින්ම, තෙමේම වෙසෙසින් දැන, පැහැදිලිකොට ලැබ විසීය. ´ජාතිය ක්‍ෂීණ විය.මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවිණි. කළයුත්ත කරණලදී. මේ රහත්බව පිණිස තවත් කළයුතු දෙයක් නැතැ´ යි ( තෙමේම )වෙසෙසා දැනගත්තේය. ආයුෂ්මත් බ්‍රහ්මදේවතෙම රහතුන්ගෙන් කෙනෙක්විය.

4. ඉක්බිති ආයුෂ්මත් බ්‍රහ්මදේවතෙම පෙරවරුයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරු ගෙන සැවැක් නුවරට පිඬු පිණිස පිවිසියේය. සැවැත් නුවර ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙනුයේ සිය මවු නිවෙස යම් තැනෙකද එතැනට පැමිණියේය.

5. එකල වනාහි ආයුෂ්මත් බ්‍රහ්මදේවයන්ගේ මවු බැමිණි බ්‍රහ්මයාහට නිතිපතා හෝම පූජා කෙරෙයි. එකල්හි සහම්පති බ්‍රහ්මයාහට ´ ආයුෂ්මත් බ්‍රහ්මදේවයන් වහන්සේගේ මේ මවු බැමිණි බ්‍රහ්මයාහට නිතිපතා හෝම පූජා කෙරෙයි. මම් ඇය කරා පැමිණ සංවේගයට පමුණුවන්නෙම් නම් ( මනා පිළිවෙත්හි යෙදුවෙම් වීම් නම් ) යෙහෙකැ´ යි සිත්විය.

6. ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම ශක්තිමත් මිනිසකු නවාගත් අත දික්කරන හෝ දික්කළ අත නවන හෝ තරම් විගසින් බඹලොවින් අතුරුදහන්ව බ්‍රහ්මදේවයන්ගේ මවගේ ගෙයි පහළවිය.

7. ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම අසා සිට ආයුෂ්මත් බ්‍රහ්මදේවයන්ගේ මවු බැමිණියට ගාථාවලින් මෙසේ කීය:

´´ බැමිණිය, යමෙකුට ( යම් බඹෙකුට ) නිතර හෝම පුදහිද, ඒ බ්‍රහ්මයාගේ බඹලොව මෙයින් ඈත්හිය. බැමිණිය, යමෙකුට ( යම් බඹෙකුට ) නිතර හෝම පුදහිද, මෙවැනි බඹහු කන දේ නොවේ. බ්‍රහ්මලෝක මාර්‍ගය නොදැන කුමක් දොඩන්නෙහිද?

´´ බැමිණිය, ( කාම ගුණ නමැති ) උපධි රහිතව, දිව්‍ය බ්‍රහ්මයනුදු ඉක්මවා සිටි, රාගාදී පලිබෝධ නැති, අනෙකක්හු පෝෂිත නොකරන තිගේ මේ බ්‍රහ්මදේව තෙම තිගේ ගෙට පිඬු පිණිස පිවිසියේය.

´´ ඈත සිට ගෙනෙනලද පිණ්ඩය පිළිගන්නට සුදුසුවූ, වේදයෙන් ( සිවු මගින් ) දුක් කෙළවර කළ වඩන ලද සිත් ඇති දෙවි මිනිසුන්ට දක්‍ෂිණාර්‍හවූ, පව් දුරුකොට කෙලෙස් නොගෑවුණු නිවීගිය හෙතෙම අහර සෙවීම කෙරෙයි.

´´ ඔහුට අතීතයද නැත. අනාගතයද නැක. ඔහු ශාන්තය. ( ක්‍රොධ ) දුම් නැත්තෙක, ආශා නැත්තෙක. පෘතග්ජනයන් හා රහතුන් විෂයයෙහි බහා තැබූ දඬු ඇත්තෙක. හෙතෙම තිගේ ආහුතියි කියන ලද අග්‍ර ආහාරය වළඳාවා.

´´සතුරු සෙනඟ නැත්තේ, උපශාන්තවූයේ, දැමුනු ඇතකුමෙන් වාසයකරයි. තණහා නැති, සුසිල්වූ, හොඳින් මිදුනු සිත් ඇති ඒ භික්‍ෂුතෙම තිගේ ආහුතියයි කියූ අග්‍ර ආහාරය වළඳාවා.

´´ බැමිණිය, උන්වහන්සේ කෙරෙහි පහන් සිතැත්තියක්ව, නොසෙලවෙන ශ්‍රද්ධා ඇත්තියක්ව, දක්‍ෂිණාර්‍හවූ උන්වහන්සේ කෙරෙහි දානය දෙව. තරණය කළ ( කෙලෙස් ) සයුරු ඇති, රහතුන් දැක, මතු සැප ඇතිකරණ පින් කරව.´´

8. ( සංගීතිකාරයෝ මෙසේ කීහු:) ඒ බැමිණි තොමෝ උන්වහන්සේ කෙරෙහි පැහැදුනාවූ සිතැත්තියක්ව, නොසෙලවෙන ශ්‍රද්ධා ඇත්තියක්ව, දක්‍ෂිණාවට සුදුසු සඟුන් කෙරෙහි දක්‍ෂිණාව පිහිටෙව්වාය. (කෙලෙස් ) සයුර තරණය කළ රහතුන් දැක අනාගත සුව එලවන්නාවූ පින් කළාය.

2. ගාරව සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව නොබෝ කලකින් උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංතෙර අජපල් නුග රුක මුල වැඩවසනසේක.

2. එකල්හි තනිව චිත්ත විවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට මේ සංකල්පනාව ඇතිවිය. ´´ කිසිවකු ගුරුතන්හි නොතබා, කිසිවකු දෙටු තන්හි නොතබා, ඉන්නා තැනැත්තේ දුකසේ වෙසේ. මම් කවරනම් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගෞරවකොට, ඇසුරුකොට වෙසෙන්නෙම්ද?´

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිතෙක්විය. ´´පරිපූර්‍ණ නොවූ ශීලස්කන්‍ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් ශීලසම්පන්නවූ, සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්‍ව සමූහයා අතර නොමදකිමි.´´

4. ´´පරිපූර්‍ණ නොවූ සමාධිස්කන්‍ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරුකොට ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් ශීලසම්පන්නවූ, සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්‍ව සමූහයා අතර නොමදකිමි.´´

5. ´´පරිපූර්‍ණ නොවූ ප්‍රඥාස්කන්‍ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් ශීලසම්පන්නවූ, සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්‍ව සමූහයා අතර නොමදකිමි.´´

6. ´´පරිපූර්‍ණ නොවූ විමුක්තිස්කන්‍ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් ශීලසම්පන්නවූ, සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්‍ව සමූහයා අතර නොමදකිමි.´´

7. ´´පරිපූර්‍ණ නොවූ විමුක්තිඥාන දර්‍ශනස්කන්‍ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට සත්කාර ගරුකාරකොට, ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් සමාධිසම්පන්නවූ, වැඩි තරම් ප්‍රඥාසම්පන්නවූ, වැඩි තරම් විමුක්තිසම්පන්නවූ, වැඩි තරම් විමුක්තිඥාන දර්‍ශනසම්පන්නවූ, මගෙන් සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත,

මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්‍ව සමූහයා අතර නොමදකිමි.´´

8. මා අවබෝධකළ යම් ධර්‍මයක් ඇද්ද, ඒ ධර්‍මයම සත්කාර ගරුකාර කොට, ඒ දහමම ඇසුරු කොට වෙසෙන්නෙම් නම් ඉතා යෙහෙක.´´

9. එකල්හි සහම්පති බ්‍රහ්මතෙම තම සිතින් භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැන ශක්තිමත් මිනිසකු නවාගත් අත දික්කරන්නේ හෝ දික්කළ අත නවාගන්නේ යම්සේද එසේම ( විගසින් ) බඹලොවින් අතුරුදහන්ව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවිය.

10. ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම උතුරු සළුව එකස්කොට පෙරව, භාග්‍යවතුන් වහන්සේ දිසාවට ඇඳිලි නමා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ භාග්‍යවතුන් වහන්ස, ඒ එසේය. සුගතයන් වහන්ස, ඒ එසේය. ස්වාමීනි, අතීත කාලයෙහි යම් රහත් සම්මා සම්බුදු කෙනෙක් වූහු නම්, ඒ භගවත්හුද ධර්‍මයටම සත්කාරකොට, ධර්‍මයටම ගරුකාරකොට, ධර්‍මයම ඇසුරුකොට විසූහ. ස්වාමීනි, මතු කාලයෙහිද යම් රහත් සම්මා සම්බුදු කෙනෙක් වන්නාහු නම්, ඒ භගවත්හුද ධර්‍මයටම සත්කාරකොට, ධර්‍මයටම ගරුකාරකොට, ධර්‍මයම ඇසුරුකොට වසන්නාහ. ස්වාමීනි, දැන් රහත් සම්මා සම්බුදුවූ භගවත් තෙමේද ධර්‍මයටම සත්කාරකොට, ධර්‍මයටම ගරුකාරකොට, ධර්‍මයම ඇසුරුකොට වෙසේවා.´´

11. සහම්පති බ්‍රහ්මතෙම මෙය කීය. මෙය කියා නැවත අනෙකක්වූ මෙබස් පැවසීය:

´´ යම් අතීත සම්බුදු කෙනෙක් වූහුද, යම් අනාගත සම්බුදු කෙනෙක් වන්නාහුද, බොහෝ දෙනාගේ

ශෝක නසන සම්බුදුවරයෙක් දැන් ඇත්තේද,

´´ ඒ සියල්ලෝ දහමම ගුරු කොට ගෙන විසූහ, වසත්, වසන්නාහුද වෙත්. මේ බුදුවරුන්ගේ ධර්‍මතාවෙකි.

´´ එබැවින් තමහට වැඩ කැමති, තමාට මහත් බව පතන, බුද්ධානුශාසනය සිහි කරන්නහු විසින් සද්ධර්‍මය ගරුතන්හි තබා පිදිය යුතුයි.´´

1. ආයාචන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. භාග්‍යවතුන් වහන්සේ බුදුවූ පළමු කාලයේම එක් කලෙක උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංග තෙර අජපල් නුග රුක මුල වසනසේක.

2. එකල්හි තනිව චිත්තවිවේකයෙන් හුන් උන්වහන්සේට මෙබඳු කල්පනාවක් ඇතිවිය: ´මා අවබෝධකළ මේ දහම ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුකසේ අවබෝධ කටයුතුය. ශාන්තය, ප්‍රණීතය, තර්‍කයෙන් බැසගත නොහැක්ක. සියුම්ය, පණ්ඩිතයන් විසින්ම දතයුතුය. එහෙත් මේ සත්ත්‍ව සමූහයා ආලයෙන් බැඳුනේය. ආලයයෙහි ලැගුනේය. ආලයයෙහි සතුටුය. ආලයයෙහි ලැගුණු ආලයයෙහි සතුටුවූ සත්ත්‍ව සමූහයා විසින් මේ හේතුවෙන් මේ ඵලය වන්නේයයි දක්වන පටිච්චසමුප්පාද නම්වූ යම් දහමෙක් ඇද්ද එය දැක්ම දුෂ්කරය. සියලු සංස්කාරයන් නිවීමට කරුණුවූ, සියලු කෙලෙස් දුරලීමට හේතුවූ, තණ්හාව නැසීමට අරමුණුවූ, රාගය පහකිරීමට අරමුණුවූ, දුක්මුල් සුන්කිරීමට හේතුවූ යම් නිවනෙක් ඇද්ද, එය දැක්ම ඔවුන්ට දුෂ්කරය. මෙසේ ඇතිකල මමත් ඔවුන්ට දහම් දෙසන්නෙම් වීම් නම්, ඒ අන්‍යයෝත් මා දෙසන දේ තේරුම් නොගන්නෝ නම්, එය මට මහන්සිය පමණෙකි. එය මා කය වෙහෙසීම පමණෙකි.´´

3. එපමණක්ද නොව පෙර නෙඇසූ මේ ගාථාවෝද භාග්‍යවතුන් වහන්සේගේ සිතට වැටහුණහ:

´´මා දුකසේ අවබෝධකළ දහම දැන් දෙසීම නිෂ්ඵලය. රාග ද්වේෂ දෙකින් මඩනා ලද්දාවුන් විසින් මේ දහම සුවසේ අවබෝධ කට නොහැක්ක. රාගයෙන් රත්වූ මොහාන්‍ධකාරයෙන් වැසුණු සත්ත්‍වයෝ උඩුහොයට යන සියුම්, ගැඹුරු, ඉතා සූක්‍ෂමවූ මේ ධර්‍මය නොදක්නාහ.´´

4. මෙසේ සලකන භාග්‍යවතුන් වහන්සේගේ සිත මන්දෝත්සාහයට, දහම් නො දෙසීමට නැමෙන්නේ විය.

5. ඒකල්හි භාග්‍යවතුන් වහන්සේටවූ කල්පනාව තම සිතින් දැන්මෙන් සහම්පති බඹහට මෙබඳු අදහසෙක් විය. ´´යම් තැනෙක අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ සිත මන්දෝත්සාහයට, දහම් නොදෙසීමට නැමේද, ඒ ලොව අහෝ´. නැසේ ,´ අහෝ ලොව වැනසේ´. ´´

6. ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම ශක්තිමත් මිනිසෙක් යම්සේ වහා නැමූ අත දික් කරන්නේද, දික්කළ අත හෝ නවන්නේද, එසේම බඹලොව අතුරුදන්ව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවිය.

ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම උතුරු සළුව එකස්කොට දකුණු දණමඬල බිම හැන භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි නමා ( වැඳ ) භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ´´ ස්වාමීනි, භාග්‍යවත්හු දහම් දෙසත්වා´. සුගතයෝ දහම් දෙසත්වා´. මඳ කෙලෙස් ධූලියෙන් වැසුණු, නුවණ ඇස ඇති සත්ත්‍වයෝ ඇත්තෝහ. දහම් නොඅසනු හෙයින් ඔහු පිරිහෙන්නාහ. දහම් අවබෝධ කරන්නෝ ඇති වන්නාහ.´´

7. සහම්පති බ්‍රහ්මතෙම මෙය කීය. මෙය කියා ඉක්බිති ගාථා වශයෙන් අන්‍යවූ මෙ බස් පැවසීය:

´´( කෙලෙස් ) මල සහිතයන් විසින් සිතා කියනලද අශුද්ධ ධර්‍මයෙක් පෙර මගධ රටෙහි පහළවිය. මේ අමා දොර හරින්න. නිර්‍මලයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද සත්‍ය ධර්‍මය ( සත්ත්‍වයෝ ) අසත්වා.

´´ ශිලාමය පර්‍වත මුදුනෙහි සිටියෙක් හාත්පස බිම සිටිනා ජන සමූහයා යම්සේ දක්නේද, ප්‍රාඥයන් වහන්ස, සර්‍වඥ වූ, ශෝක දුරු කළ ඔබද එසේ වූ ධර්‍මමය ප්‍රාසාදයට නැඟ, ජාති ජරාදී දුකින් මැඩුණු ශෝකයට බට ජනතාව නුවණින් බලා වදාරන්න.

´´වීරයන් වහන්ස, සටනින් ජයලත් භාග්‍යවතුන් වහන්ස, නැගී සිටින්න. ණය නැති සාත්තුනායකයන් වහන්ස, ලොව හැසිරෙන්න. භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්වා. එය අසා අවබෝධ කරන්නෝ ඇතිවන්නාහ.´´

8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මයාගේ අයදුමක් ලැබ, සත්ත්‍වයන් කෙරෙහි පතළ කරුණාවත් නිසා බුදු ඇසින් ලොව බැලූ සේක.

10. භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලනසේක්, මඳ කෙලෙස් රජසින් වැසුණු ප්‍රඥා ඇස ඇති සත්ත්‍වයන්ද, බොහෝ කෙලෙස් රජසින් වැසුණු ප්‍රඥා ඇස ඇති සත්ත්‍වයන්ද, තියුණුවූ ( ශ්‍රද්ධාදී ) ඉන්‍ද්‍රියයන් ඇති සත්ත්‍වයන්ද, ( ශ්‍රද්ධාදී ) උතුම් ආකාර ඇති සත්ත්‍වයන්ද, ( අශ්‍රද්ධාදී ) හීන ආකාර ඇති සත්ත්‍වයන්ද, සුවසේ කරුණු අවබෝධ කරවිය හැකි සත්ත්‍වයන්ද, කරුණු අවබෝධ කරවීමට දුෂ්කර සත්ත්‍වයන්ද, පරලොවත් අකුසලුත් භය වශයෙන් දක්නා ඇතැම් සත්ත්‍වයන්ද දුටුසේක.

11. යම්සේ වනාහි මහනෙල් විලක හෝ රත්පියුම් විලෙක හෝ හෙළ පියුම් විලෙක හෝ ඇතැම් නිල් මහනෙල් කෙනෙක් හෝ රත් පියුම් කෙනෙක් හෝ හෙළ පියුම් කෙනෙක් හෝ දියෙහි උපන්නෝ දියෙහි වැඩුණෝ දියෙන් මතු නොවූවෝ දිය යටම ගිලුනෝව පෝෂිත වෙත්ද, ඇතැම් නෙලුම් රත් පියුම් හෙළ පියුම් කෙනෙක් දියෙහි උපන්නෝ, දියෙහි වැඩුනෝ දිය මතුපිටට සමව සිටියෝ වෙත්ද, ඇතැම් නෙලුම් හෝ රත් පියුම් හෝ හෙළ පියුම් කෙනෙක් දියෙහි උපන්නෝ, දියෙහි වැඩුනෝ, දියෙන් ඉහළ නැග සිටියෝ දියෙන් දිය නොගෑවුනෝද, එසේම (ලොව ) අල්ප රජස්කවූ ඇතැම් සතුන්ද, මහා රජස්කවූ ඇතැම් සතුන්ද, තියුණු ඉඳුරන් ඇති ඇතැම් සතුන්ද, නොතියුණු ඉඳුරන් ඇති ඇතැම් සතුන්ද, මනා ආකාර ඇති ඇතැම් සතුන්ද, නොමනා ආකාර ඇති ඇතැම් සතුන්ද, පහසුවෙන් අවබෝධ කළ හැකි ඇතැම් සතුන්ද, පහසුවෙන් අවබෝධ නොකළ හැකි ඇතැම් සතුන්ද, පරලොවත් අකුසලුත් බිය වශයෙන් දක්නා සුලුව වසන ඇතැම් සතුන්ද, බුදු ඇසින් ලොව බලන භාග්‍යවතුන් වහන්සේ දුටු සේක.

12. දැක සහම්පති බ්‍රහ්මයාට ගාථායෙන් මෙසේ වදාළසේක:

´´බ්‍රහ්මය, ( අවබෝධයට උත්සාහ නැතියන්ට දම් දෙසීම ) කය වෙහෙසීම පමණෙකැයි යන හැඟීම ඇත්තෙම්, ප්‍රගුණවූ උතුම් ධර්‍මය මිනිසුන් අතර ( මේතාක් ) නෙදෙසීමි. කන් ඇති යම් කෙනෙක් වෙත්ද ඔවුහු ශ්‍රද්ධාව විහිදුවත්වා, ඔවුන්ට අමා දොරවල් හරන ලදහ.´´

13. එවිට සහම්පති බ්‍රහ්මයා ´භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසීමට කරන ලද අවකාශ ඇතියෙමි´ යි සතුටුව භාග්‍යවතුන් වහන්සේට සාදරව නමස්කාර කොට, පැදකුණු කොට එහිම අතුරුදහන්විය.