6. යජමාන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසනසේක.

2. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හොඳාකාර වැඳ එකත්පසෙක සිටියේය.

3. එකත්පසෙක සිටි ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:

´´පින් කැමතිව යාග කරන්නාවු, මතු භවයන්හි විපාක ගෙනදෙන පින් කරන්නාවූ, මනුෂ්‍ය ප්‍රාණීන් විසින් කවර කෙනෙකුන්ට දෙන ලද්ද මහත්ඵල වේද?´´

4. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ) ´´සිව්මගට පිළිපන්නෝද, (සෝවාන් ආදී) සිව් පෙලෙහි සිටියෝද, යන මේ (අෂ්ටාය්‍ර්‍යපුද්ගල) සඞ්ඝතෙම ඎජුය, ප්‍රඥාශීල සමාධීන් යුක්තය.

´´පුණ්‍යාර්ත්‍ථිව යාග කරන්නාවූ, මතු භවයෙහි විපාක ගෙන දෙන්නාවූ, පින් කරන්නාවූ, මනුෂ්‍ය ප්‍රාණීන් විසින් සඞ්ඝයාහට දෙනලද්ද මහත් විපාක ඇත්තේයි.´´

4. දළිද්ද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසල කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි ඒ භික්‍ෂූන්ට කථාකළසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

2. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: ´´මහණෙනි, පෙරවූ දෙයක් කියමි. මේ රජගයනුවරම හිඟන්නාවූ නිවටවූ දිළිඳුවූ එක්තරා පුරුෂයෙක් විය.

3. ´´හෙතෙම තථාගතයන් වදාළ ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව පිහිටවීය, සීලය සමාදන්වීය. ධර්‍මය ඉගෙනීමෙහි යෙදුනේය, ත්‍යාගය සමාදන්වීය, ප්‍රඥාව සමාදන් වීය.

4. ´´හෙතෙම තථාගතයන් වහන්සේ විසින් දේශනාකරනලද ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව සමාදන්ව, සීලය සමාදන්ව, ධර්‍මය ඉගෙණගැනීමෙහි යෙදී, ත්‍යාගය සමාදන්ව, ප්‍රඥාව සමාදන්ව, මැරී ශරීරය බිඳී ගියපසු තව්තිසා වැසි දෙවියන්ගේ සමාගමයට යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයට උප්පත්තිවශයෙන් පැමිණියේය. හෙතෙම ශරීර ශෝභාවෙන්ද යසසින්ද අන් දෙවියන් පරදවයි.

5. ´´ මහණෙනි, එහි තව්තිසා වැසි දෙවියෝ ( ඒ දෙවියා ) ලාමක වශයෙන් සිතත්:, ( ඒ බව ) ප්‍රකාශ කෙරෙත්., ඒ ඒ තැන පතුරවත්: ´පින්වත්නි, (මේදේ) ඒකාන්තයෙන් ආශ්චය්‍ර්‍යයි: පින්වතුනි, ඒකාන්තයෙන් පුදුමයි, මේ දිව්‍යපුත්‍ර තෙම වනාහි පෙර මිනිස්බවෙහි සිටිකල දිළින්දෙක් විය. (හිඟන්නෙක්) විය, නිවටෙක් විය. හෙතෙම මැරී ශරීරය බිඳීගිය පසු තව්තිසාවැසි දෙවියන්ගේ සමාගමයට, ස්වර්‍ග ලෝකයට උප්පත්ති වශයෙන් පැමිණියේය. හෙතෙම අන් දෙවියන් වර්‍ණයෙන්ද යසසින්ද පරදවයි. (කියායි.)

6. ´´ මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම තව්තිසා වැසි දෙවියන් (මෙසේ) ඇමතීය. පින්වතුනි, තෙපි මේ දෙව්පුතු ලාමකකොට නොසිතව්, පින්වතුනි, මේ දෙව්පුත්තෙම පෙර මිනිස් භවයෙහි සිටිකල තථාගතයන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව සමාදන්විය, සීලය සමාදන්විය, ධර්‍මය ඉගෙනගැනීමෙහි යෙදුනි, ත්‍යාගය සමාදන්විය, ප්‍රඥාව සමාදන්විය, හෙතෙම තථාගතයන් වදාළ ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව සමාදන්ව, සීලය සමාදන්ව, ශ්‍රුතය සමාදන්ව, ත්‍යාගය සමාදන්ව, ප්‍රඥාව සමාදන්ව, මැරී ශරීරය බිඳීගිය පසු තව්තිසා වැසි දෙවියන්ගේ සමාගමයට සුගති නම්වූ ස්වර්‍ග ලෝකයට උප්පත්ති වශයෙන් පැමිණියේය. හෙතෙම අන් දෙවියන් වර්‍ණයෙන්ද යසසින්ද පරදවයි.´´ (කියායි.)

7. ´´ මහණෙනි, එකල සක් දෙවිඳු තෙම තව්තිසා වැසි දෙවියන් සතුටු කරනුයේ, ඒ වේලාවෙහි මේ ගාථාවන් කීය:

´´යමකුට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ස්ථිරවේද, නිශ්චලව හොඳින් පිහිටියේ වේද, යමකුගේ යහපත්වූ ශීලයන් ආය්‍ර්‍යයන් විසින් ප්‍රිය කරන ලද්දේ ඔවුන් විසින් ප්‍රශංසා කරන ලද්දේද,

´´යමකුට සංඝයා කෙරෙහි පැහැදීම ඇත්තේද, යමකුගේ දර්‍ශනයත් ඎජුවූයේවේද, ඔහු දිළිඳු නොවූවෙකැයි උතුමෝ කියති. ඔහුගේ ජීවිතය හිස් නොවේ.

´´එහෙයින් ප්‍රාඥතෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහිකරන්නේ, ශ්‍රද්ධාවද, ශීලයද, පැහැදීමද, ධර්‍මය දැකීමද, එහි යෙදීමෙන් පිරිසිදු කරන්නේය.´´

11. වීරා (චීරා) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වැඩ වසන සේක.

2. එසමයෙහි එක්තරා උපාසකයෙක් චීරා භික්‍ෂුණියට සිවුරක් දුන්නේය.

3. ඉක්බිති චීරා භික්‍ෂුණිය කෙරෙහි බොහෝ සේ පැහැදුනු යක්‍ෂයෙක් රජගහ නුවර වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ මේ ගාථාව කීය:

´´සියලු (බන්‍ධන) වලින් මනාව මිදුනාවූ චීරා මෙහෙණින්නට යමෙක් සිවුරක් දිනීද, ඒ මේ උපාසකතෙම ඒකාන්තයෙන් පණ්ඩිතය, ඒකාන්තයෙන් බොහෝ වූ පිණක් රැස් කෙළේය.

9. ( පළමුවන ) සුක්කා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක.

2. එකල වනාහි සුක්කා භික්‍ෂුණිය මහ පිරිසක් විසින් පිරිවරණ ලද්දී ධර්‍මය දේශනා කරයි.

3. ඉක්බිති සුක්කා භික්‍ෂූණිය කෙරෙහි බොහෝ සේ පැහැදුණු යක්‍ෂයෙක් රජගහ නුවර වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, ඒ වේලායෙහි මේ ගාථාවන් කීය:

´´අමෘතපදයට (නිර්‍වාණාධිගමයට) කාරණය වදාරන්නාවූ සුක්කා මෙහෙණින් කරා යම් කෙනෙක් නොඑළඹෙත්ද, රජගහනුවර වසන ඒ මේ මිනිස්සු කුමක් කරද්ද? (ඔවුහු) සුරාපානය කළවුන්සේ නිදාගනිත්.

´´ඇසීමෙන් නොපසුබස්නා තෘප්ති ඇති ස්වභාවයෙන්ම සුමධුරවූ, (එහෙයින්ම) ඕජෝගුණවත්වූ ඒ ධර්‍මය වළාකුළු අතරෙන් නිකුත් ජලය බොනමෙන් මනා නුවණැත්තෝම පානය කෙරෙති´ යි හඟිමි.´´

8.සුදත්ත සුත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි සීතවනයෙහි වසන සේක.

2. එකල වනාහි අනේපිඬු ගෘහපතියා කිසියම් කටයුත්තෙක් නිසා රජගහනුවරට පැමිණියේය.

3. ´´බුදුරජානන් වහන්සේ ලොව පහළවූ සේක්ලු´´ යි අනේපිඬු ගෘහපති තෙම ඇසීය. එපමණෙකින්ම භාග්‍යවතුන් වහන්සේ දකිණු පිණිස හෙතෙම පැමිණෙනු කැමැත්තේවිය.

4. ඉක්බිති ඒ අනේපිඬු ගෘහපති තෙම ´´භාග්‍යවතුන් වහන්සේ දකිණු පිණිස පැමිණෙන්නට අද කල් නොවෙයි.´´ යන මේ අදහස විය. ´´හෙට ( කලින්ම ) උදෑසන භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස යන්නෙමි´´ යි බුදුන් අනුව ගිය සිහි ඇතිව නින්‍දට ගියේය. රෑ තුන්වරක්ම අලුයමයයි සිතමින් නැගිට්ටේය.

5. ඉක්බිති කරවනලද අනේපිඬු ගෘහපති තෙම සොහොන් දොරටුව යම් තැනකද එතැනට පැමිණියේය. අමනුෂ්‍යයෝ දොර ඇරියෝය.

6. ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම නුවරින් නික්මෙත්ම එලිය අතුරුදහන්විය. අඳුර පහළවිය. බිය තැතිගැනීම් හා ලොමුඩැහැගැනීම් පහළවිය. ඔහු එපමණින්ම නැවත හැරී එන්න කැමැත්තේද විය.

7. ඉක්බිති සීවක නම් යක්තෙම අතුරුදහන්වූයේ ශබිදයක් ඇස්වීය.

´´ සියක් දහසක් ඇතුන්ද, සියක් දහසක් අශ්වයෝද, සියක් දහසක් අශ්වතරියෝද, සියක් දහසක් රථද, මැණික් කන් අබරණින් සැරසුණු සියක් දහසක් කන්‍යාවෝද ( යන මොවුහු ) (බුදුන් වැඩසිටින විහාරයට, යන තැනැත්තාගේ ) පියවරක සොළොස්වන අන්තකලාව පමණවත් නොවටිත්.

´´ ගෘහපතිය, ඉදිරියට යව, ගෘහපතිය ඉදිරියට යව, ඉදිරියට යෑම ඔබට යහපති. හැරී ආපසු යෑම අයහපති.´´

8. ඉක්බිති අනේපිඬු ගෘහපතියාට අඳුර අතුරුදහන් විය. ආලෝකය පහළවිය. යම් බියෙක් තැතිගැනුමෙක් ලොමුඩැහැගැනුමෙක් වීද, එය සංසිඳිණි.

9. දෙවනුවද අනේපිඬු ගෘහපතියා නුවරින් නික්මෙත්ම එළිය අතුරුදහන් විය, අඳුර පහළ විය. බිය තැතිගැනීම් හා ලොමුඩැහැගැනීම් පහළ විය. ඔහු එපමණින්ම නැවත හැරී එන්න කැමැත්තේද විය.

10. ඉක්බිති සීවක නම් යක්තෙම අතුරුදහන් වූයේ ශබ්දයක් ඇස්වීය.

´´ සියක් දහසක් ඇතුන්ද, සියක් දහසක් අශ්වයෝද, සියක් දහසක් අශ්වතරියෝද, සියක් දහසක් රථද, මැණික් කන් අබරණින් සැරසුණු සියක් දහසක් කන්‍යාවෝද ( යන මොවුහු ) (බුදුන් වැඩසිටින විහාරයට, යන තැනැත්තාගේ ) පියවරක සොළොස්වන අන්තකලාව පමණවත් නොවටිත්.

´´ ගෘහපතිය, ඉදිරියට යව, ගෘහපතිය ඉදිරියට යව, ඉදිරියට යෑම ඔබට යහපති. හැරී ආපසු යෑම අයහපති.´´

11. තුන්වෙනුවද අනේපිඬු ගෘහපතියාහට එළිය අතුරුදහන් විය, අඳුර පහළ විය. බියතැති ගැනුම් ලොමුඩැහැගැනුම් ඇතිවිය. ( ඔහු ) එතණින්ම නැවත හැරී ආපසු යනු කැමැත්තේ විය. තුන්වෙනුවත් සීවක යක්තෙම සැඟවී මේ ශබ්දය ඇස්වීය.

´´ සියක් දහසක් ඇතුන්ද, සියක් දහසක් අශ්වයෝද, සියක් දහසක් අශ්වතරියෝද, සියක් දහසක් රථද, මැණික් කන් අබරණින් සැරසුණාවූ සියක් දහසක් කන්‍යාවෝද ( විහාරයට යන තැනැත්තාගේ) එක් පියවරක සොළොස්වන අන්තකලාව පමණකුදු නොවටිත්.

´´ ගෘහපතිය, ඉදිරියට යව, ගෘහපතිය ඉදිරියට යව, ඉදිරියට යෑම ඔබට යහපති. හැරී ආපසු යෑම අයහපති.´´

12. ඉක්බිති අනේපිඬු ගෘහපතිහට අඳුර අතුරුදහන් විය. එළිය පහළ විය. යම් බියෙක්, තැති ගැන්මෙක්, ලොමුඩැහැගැන්මෙක් වීද, එය සංසිඳිණි.

13. ඉක්බිති අනේපිඬු ගෘහපතිතෙම සීතවනය වෙත පැමිණියේය.

14. එකළ භාග්‍යවතුන් වහන්සේ කැලයෙහි ඉතා අලුයම නැගිට එළිමහනෙහි සක්මන් කරන සේක.

15. භාග්‍යවතුන් වහන්සේ දුරදීම එන අනේපිඬු ගෘහපතියා දුටුසේක. දැක සක්මණින් බැස, පැනවූ අස්නෙහි හුන්සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු ගෘහපතිහට ´´එන්න සුදත්ත´´ යි වදාළසේක.

16. ඉක්බිති අනේපිඬු ගෘහපතිතෙම, ´´භාග්‍යවතුන් වහන්සේ මා නමින් අමතනසේකැ´´ යි (සතුටුව) එහිම භාග්‍යවතුන් වහන්සේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´ කිම ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැපසේ සැතපුණු සේක්ද?´´

( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´යමෙක් කාමයන්හි නොඇලේද, සීතීභූතද, (කෙලෙස් ගිනි නැත්තේද) උපධි නැත්තේද. පිරිනිවියාවූ ඒ (කෙලෙස්) නැත්තාවූ බ්‍රාහ්මණ තෙම හැම කල්හි ඒකාන්තයෙන් සුවසේ සයනය කෙරෙයි.

´´සියලු තන්හාවන් සිඳ, හෘදයෙහිවූ පීඩා මැඩ පවත්වා, සිතෙහි ශාන්තියට පැමිණ සංසුන්වූ තැනැත්තේ සැපසේ සයනය කෙරෙයි.

2. සක්ක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක.

2. ඉක්බිති සක්ක නම් යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් ( මෙසේ ) කීය:

´´පැහැ දැමූ සියලු කෙලෙස් ගැට ඇති, සසරින් විශේෂයෙන් මිදුනාවූ, ශාන්තවූ ඔබට අනුන්ට අනුශාසනා කිරීම නොහොබී.´´

3. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ) ´´සක්කය, යම් කිසි කරුණක් නිසා එක්ව විසීම ඇතිවේද, ප්‍රඥා සහිතවූ ( සම්බුද්ධ තෙම ) එයට සිතින් අනුකම්පා කරන්නට නොවටී.

´´එහෙත් ප්‍රසන්න සිතින් යුතුව අනුන්ට යම් අනුශාසනා කිරීමක් වේද, ඒ කාරණයෙන් ( බැඳීමක් ඇති නොවේ.) එබඳු අනුශාසනය අනුකම්පාවයි. කරුණාවයි.´´

10. මොග්ගල්ලාන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඉසිගිලි පර්‍වත පාර්ශ්වයෙහි කාළසිලාරාමයෙහි සියලුදෙනම රහත්වූ භික්‍ෂූන් පන්සියයක් පමණවූ මහත් භික්‍ෂු සඞඝයා සමග වසන සේක. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම තම සිකින් විශේෂයෙන් මිදුනු, කෙලෙස් රහිත ඔවුන්ගේ සිත් සොයයි. ( ප්‍රත්‍යවේක්‍ෂා කරයි. )

2. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: ´´මේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඉසිගිලි පර්‍වත පාර්ශ්වයෙහි කාළසිලායෙහි සියලුදෙනම රහත්වූ භික්‍ෂූන් පන්සියයක් පමණවූ මහත් භික්‍ෂු සඞඝයා සමග වසනසේක. එහි වනාහි මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම තම සිකින් ඔවුන්ගේ විශේෂයෙන් මිදුනු, කෙලෙස් රහිත සිත් සොයයි. මම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී සුදුසු ගාථායෙන් ප්‍රශංසා කරන්නෙම් නම් මැනව´´

3. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අස්නෙන් නැගිට සිව්ර ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ ( වැඳ ) මෙසේ කීය: ´´භාග්‍යවතුන් වහන්ස, මට ( අදහසක් ) වැටහෙයි. සුගතයන් වහන්ස, මට (අදහසක් ) වැටහෙයි.´´

4. ´´වඞ්ගීසය, තට ඒ වැටහේවා´´ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

6. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහිදී සුදුසු ගාථායෙන් ප්‍රශංසා කෙළේය.

´´ත්‍රිවිද්‍යාවත්වූ, ( කෙලෙස් ) මරු නසා සිටි, ( බුද්ධ ) ශ්‍රාවකයෝ පර්‍වත පාර්ශ්වයෙහි වැඩහුන්, දුක් කෙළවරට පැමිණි, සම්බුදු මුනිහු ආශ්‍රය කෙරෙත්.

´´මහත් ඎධි ඇති මොග්ගල්ලාන ස්ථවිරතෙම ඒ ශ්‍රාවකයන්ගේ සිත් මිදුනේද කෙලෙස් රහිතදැයි සොයමින් සිතින් ඒ ශ්‍රාවකයන් පසුපස්සේ යෙයි.

´´මෙසේ ( ඒ ශ්‍රාවකයෝද මුගලන් තෙරහුද ) සියලු ගුණාඞ්ගයෙන් යුක්තවු දුකින් මිදී පරතෙරට ගියාවූ, අනේක ගුණයන්ගෙන් යුක්තවූ මුනිතුමන් ආශ්‍රය කෙරෙත්.´´