4. සත්තවස්ස සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංතෙර අජපල් නුගරුක මුල වසනසේක.

2. එකල වනාහි පාපී මාරතෙම සිදුරක් දක්නා කැමැත්තේ, එහෙත් සිදුරක් දක්නට නොලබනුයේ, සත් වසක්ම භාග්‍යවතුන් වහන්සේ පසුපස ගියේ වෙයි.

3. ඉක්බිති පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ගාථායෙන් ( මෙසේ ) කීය:

´´ශෝකයට පැමිණ වනයෙහි සිතිවිලි සිතහිද? ධනය පැරදුණෙහිද? නැතහොත් ඒ පැරදුන දේ පතමින් ඉන්නෙහිද? නැතහොත් ගම ඇතුළත කිසි වරදක් කෙළෙහිද? කවර හෙයින් මහජනයා හා යහළු බවක් නොකෙරෙහිද? කිසිවකු හා ඔබේ යහළු බවෙක් ඇති නොවේද?´´

4. ( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: )´පමාවන්නන්ගේ ඥාතියා ශෝකයේ සියලු මුල සාරා උදුරාදමා, නිවැරුදිව, ශෝක නොකෙරෙමින්, ධ්‍යානයෙහි යෙදී ඉඳිමි. භවලෝකයයි කියනලද සියලු තන්හාව සිඳ දමා, ආශ්‍රව නැතියෙම්, ධ්‍යාන කෙරෙමි.´´

5. ( එවිට මාරයා මෙසේ කීය: ) ´´මෙය මගේයයි යමක් ගැන කියත්නම්, මේ දේ මගේයයි යම් කෙනෙක් ගැන කියත්නම්, මෙ කී තන්හි ඒකාන්තයෙන් යුෂ්මත්හුගේ සිත බැඳී ඇත. ( එබැවින් ) මහණ, ඔබ මගෙන් නොමිදෙන්නෙහිය.´´

6. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ´´ යමක් ´මගේය´ යි කියත් නම්, එය මගේ නොවේ. යම් කෙනෙක් කියත් නම්, මම් ඔවුන්ගෙන් එකෙකුත් නොවෙමි. පාපිය මෙසේ දනුව, මා ගිය මගවත් තෝ නොදක්නෙහිය.´´

7. ( මාරයා මෙසේ කීය: ) ´´ ඉදින් බියක් නැති, නිවනට යන මග අවබෝධ කෙළෙහි නම් ඉවත්වෙන්න, ඔබම තනිව යන්න. අන්හට කුමකට අනුශාසන කෙරෙහිද?´´

8. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ´´ පරතෙර යනු කැමැති ( නිවන් යනු කැමැති ) යම් කෙනෙක් ඇද්ද, ඔවුහු මරුට ඉඩක් නැති නිවන මා ( අතින් ) විචාරත්. ඔවුන් විසින් විචාරනුලැබූ මම්, යමක් සියලු කෙලෙස් රහිතනම්, ඒ නිවන ඔවුන්ට කියමි.´´

9. ( ඉක්බිති මාරතෙම මෙසේ කීයේය:) ´´ස්වාමීනි, ගමෙක හෝ නියම් ගමෙක හෝ නොදුරෙහි පොකුණෙක් ඇත්නම්, එහි කකුළුවෙක්ද ඉඳීනම්, නැවත බොහෝ දරුවෝ හෝ දැරියෝ හෝ ඒ ගමෙන් හෝ ඒ නියම්ගමෙන් හෝ නික්ම ඒ පොකුණ යම් තැනෙකද එතැනට පැමිණෙන්නාහුනම්, පැමිණ ඒ කකුළුවා යම්සේ දියෙන් ඔසවා ගොඩ තබන්නාහුද, එවිට ඒ කකුළුවා යම් යම් අඬුවක් ඉදිරියට යොමුකරන්නේනම්, ඒ දරුවෝ හෝ දැරියෝ ඒ ඒ අඬුවම ලීයෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ යම්සේ සිඳ දමන්නාහුද, යම්සේ කැබලි කැබලි කොට දමන්නාහුද, ස්වාමීනි, මෙසේ ඒ කකුළුවා කැඩුණු, බිඳුණු, කැබැලිවී ගිය අඬුවලින් යලිත් ඒ පොකුණට පෙරමෙන් බසින්නට යම්සේ නොහැකි වන්නේද, එසේම ස්වාමීනි, මා කළ යම් විරුද්ධ දේ ඇද්ද, යම් නුසුදුසු දේ ඇද්ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ විසින් සිඳින ලදය, බිඳින ලදය, සුණුවිසුණු කරන ලදය. ස්වාමීනි, සිව්රු සොයන අපේක්‍ෂා ඇතිව නැවත භාග්‍යවතුන් වහන්සේවෙත පැමිනෙන්නට දැන් මම් නොහැකියෙමි´´ යි කීයේය.

10. ඉක්බිති පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ කලකිරුම හඟවන ගාථා කීය:

´´කවුඩෙක් මේදතෙල් පාට ඇති ගලක් දැක, ´මෙහි මොළොක්බව විඳගත හෙන්නමු නම් ඉතා යෙහෙකැ´ යි ´රස විඳ ගැන්මක් වෙතොත් ඉතා යෙහෙකැ´ යි ඒ හාත්පස ගැවසෙන්නේය. එහෙත් කවුඩා එහි කිසිද රස විඳුමක් නොලැබ එයින් ඉවත්ව යන්නේය. ඒ ගල වෙත පැමිණ රස විඳ ගැන්මක් නොලැබ ඉවත්ව යන කවුඩාසේ කලකිරී ගෞතමයන් වහන්සේගෙන් අපිද ඉවත්ව යම්හ.´

11. ඉක්බිති පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ කලකිරුම හඟවන ගාථා කියා එතැනින් ඉවත්ව භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි බිම පළක් බැඳ නිහඬව, තෙද නැතිව, කරබාගෙන, බිම බලාගෙන, සිතිවිලි සිතමින්, කිසිත් වටහාගත නොහැකිවලී කැබෙල්ලකින් බිම ඉරි අඳිමින් හුන්නේය.

5. ( දෙවෙනි ) පාස සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස අසල ඉසිපතන් මුව වෙනෙහි වෙසෙනසේක. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´ මහණනි´´ භික්‍ෂූන්ට කථාකළසේක. ´ පින්වතුන් වහන්සැ´´ යි ඒ මහණහු භාග්‍යවතුන් ට පිළිවදන් දුන්හ.

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: ´´ මහණෙනි, දෙව්කම් සැපද මිනිස් කම් සැපද යන යම් මලපුඩුකෙනෙක් ඇද්ද ඒ හැම මලපුඩුයෙන් ගැලවුනෙමි. මහණනි, යම් ඒ දෙව්සැප මිනිස්සැප යන මලපුඩු ඇත්නම්, තෙපිද ඒ සියල්ලෙන් මිදුනහුය. එබැවින් මහණනි, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝදෙනාට සුව පිණිස, අනුකම්පා සඳහා, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස, රටින් රට, නුවරින් නුවර, ගමින් ගම සැරිසරවු. එක් පාරින් දෙදෙනෙක් නොයවු. මහණනි, මුල යහපත්, මැද යහපත්, අග යහපත් දහම අරුත් සහිතකොට දෙසවු. අකුරින් පෙදෙන් නොඅඩුකොට සම්පූර්‍ණකොට දෙසවු. සියලු අයුරින් පිරිපුන්, පිරිසුදු සසුන් බඹසර (බ්‍රහ්මච්‍ර්‍යාව ) හෙළිකොට දක්වවු. ප්‍රඥා ඇස වසා සිටි මඳ කෙලෙස් ඇතිසේවූ සත්හු ඇත්තාහ. දහම් නොඅසන බැවින් දහමෙන් ඔහු පිරිහීයෙත්. දහම් දැනගන්නෝ ඇත්තාහ. මහණනි, මමත් දම් දෙසන්නට උරුවෙල් දනව් සේනානි නිගම යම් තැනකද එතැනට යන්නෙමි.´´

3. එවිට පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:

´´ මහණ, දෙව්සැපද, මිනිස්සැපද, යන මේ මලපුඩු ඇද්ද, සියල්ලෙන් ඔබ බඳනා ලද්දෙහි. මහ කෙලෙස් බැම්මෙන්ම ඔබ බඳනා ලදුයෙහි. ඔබ නොමිදෙන්නෙහිය´´ යි කීය.

4. දෙව්සැපද, මිනිස්සැපද යන මලපුඩුයෙන් මම් මිදී ගතිමි. මහ කෙලෙස් බැම්මෙන් මිදුනෙමි. මාරය තෝ නැසුණෙහිය.´´ යි වදාළසේක.

5. එවිට පාපී මාරයා ´භාග්‍යවතුන් වහන්සේ මා හැඳිනගත්හ, සුගතයෝ මා හැඳිනගත්හ´ යි දැන දුක්ව දොම්නස්ව අතුරුදන්විය.

1. තපොකම්ම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කාලයෙහි ( බුදුවූ අළුතම ) උරුවේලා ජනපදයෙහි නෙරංජරා ගං ඉවුරෙහි අජපාල නුගරුක මුල වෙසෙන සේක.

2. එකල වනාහි හුදකලාව චිත්ත විවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට ´´ප්‍රීතියෙන් මම් ඒසා දැඩිවූ දුෂ්කර ක්‍රියායෙන් මිදුනෙම් වෙමි. ඒ අවැඩ පිණිසවූ ( අවැඩ ඇසුරු කළ ) දුෂ්කරක්‍රියායෙන් ඒකාන්තයෙන් මනාව මිදුනෙම් වෙමි. ස්ථිරව එළඹ සිටි සිහි ඇතිව සත්‍යාවබෝධය ලදිමි.´´ යි මෙසේ සිතක් පහළ විය.

3. එකල පවිටුවූ මාර තෙම භාග්‍යවතුන් වහන්සේගේ සිත තම සිතින් දැනගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ගාථායෙන් මෙසේ කීය:

´´යම් තපසෙකින් සත්වයෝ පිරිසිදු වෙත්ද, එසේවූ ඒ දුෂ්කර ක්‍රියා තපසින් ඉවත්ව, අශුධවම හිඳ, ´ශුද්ධයෙමි´ යි සිතන්නේහිය. ශුද්ධයට යන මග වරදවා ගත්තෙහිය.´´

4. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු වසවත් මරු යයි දැන ඔහුට ගාථාවලින් මෙසේ වදාළසේක.

´´යම්කිසි අමර තපසක් ( ශරීරයට දුක් දීමෙහි යෙදීමක් ) වේද, එය අවැඩම පිණිස පවතීයයි. වනයෙහි රිටි පලුපත් ( හබල් සුක්කානම් ) ගෙන නැවක් ගෙන නැවක් පදවන්නට තැත් කිරීමක් මෙන් සියලු අනර්‍ථය ගෙන දෙන්නේයයි දැන,

´´ ශීල – සමාධි – පුඥා යන මාර්‍ගය සත්‍යාවබෝධය පිණිස වඩා පරම ශුද්ධිය ( රහත් බව ) අත්පත් කෙළෙමි. මරුව, තෝ පැරදුනෙහිය.´´

5. එවිට පාපී මාර තෙම, ´භාග්‍යවත්තෙම මා දනී, සුගතතෙමේ මා හඳුන´´ යි සිතා ශෝකීව දොම්නස්ව එහිම අතුරුදහන් විය.