9. කොණ්ඩඤඤ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක.

2. ඉක්බිති ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤඤ ස්ථවිරතෙම බොහෝ කලෙකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ පා මුල සිරසින් වැටී මුවින් පා සිඹීමද අතින් පිරිමැදීමද කෙරෙයි. භවත් ගෞතමයන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමි. භවත් සුගතයන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමියි, නමද ප්‍රකාශ කරයි.

3. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: ´´ ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤඤ ස්ථවිරතෙම බොහෝ කලෙකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ පා මුල හිසින් වැටී මුවින් පා සිඹීමද අතින් පිරිමැදීමද කෙරෙයි. භාග්‍යවතුන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමි. සුගතයන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමි, කියා නමද ප්‍රකාශ කරයි. මම ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤඤ තෙරුන් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී සුදුසු ගාථායෙන් ප්‍රශංසා කරන්නෙම් නම් ඉතා මැනව´´ ( යි කියායි.)

4. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අස්නෙන් නැගිට සිව්ර ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ මෙසේ කීය: ´´භාග්‍යවතුන් වහන්ස, මට ( අදහසක් ) වැටහෙයි. සුගතයන් වහන්ස, මට ( අදහසක් ) වැටහෙයි.´´

5. ´´වඞ්ගීසය, තට ඒ වැටහේවා´´ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

6. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම, ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී සුදුසු ගාථාවලින් ප්‍රශංසා කළේය.

´´බුද්ධානුබුද්ධවූ, තියුණු වීය්‍ර්‍ය ඇති, ඒ කොණ්ඩඤ්ඤ ස්ථවිරතෙම සැප විහරණ ඇති, චිත්තවිවේකයන් නිතර ලබන්නේ වෙයි.

´´ශාස්තෘශාසනකාරීවූ ශ්‍රාවකයකු විසින් යම් මාර්‍ග ඵලාවබෝධයක් වෙත පැමිණිය යුතුද, අප්‍රමාදීව හික්මෙන ඒ කොණ්ඩඤ්ඤ තෙරුන් විසින් ඒ සියලු මාර්‍ගඵලාවබෝධයන් වෙත පැමිණෙනලදී.

´´ මහානුභාව ඇති, ත්‍රිවිද්‍යාලාභී, සිත පිළිබඳ සියලු දේ දැනුමෙහි දක්‍ෂවූ, බුදුන් විසින් දුන් ධර්‍ම දායාද ඇති, කොණ්ඩඤ්ඤ ස්ථවිරතෙම ශාස්තෲන් වහන්සේගේ ( සිරි ) පා වඳී.´´

4. බිලඞ්ගික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක.

2. බිලඞ්ගිකභාරවාජ බමුණුතෙම ´භාරවාජ ගෝත්‍රික බමුණෙක් ගිහිගෙන් නික්ම ශ්‍රමණ ගෞතමයන් වෙත පැවිදිවීය,´ යනු ඇසීය. හෙතෙම කිපී නොසතුටුවී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, නිශ්ශබ්දව එකත්පසෙක සිටියේය.

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බිලඞ්ගික නම්වූ භාරවාජ ගෝත්‍රක බමුණාගේ සිත්හි කල්පනාව ස්වකීය සිතින් දැන බිලඞ්ගිකභාරවාජ බමුණාට ගාථායෙක් මෙසේ වදාළසේක:

´´යම් පුද්ගලයෙක් තෙම වරද නැතිවූ, පිරිසිදුවූ, කෙලෙස් නැතිවූ, පුරුෂයෙකුට අපරාධ කෙරේද, ඒ පාපය උඩු සුළඟට දමනලද සියුම් ධූලි මෙන් ඒ අඥානයා කරාම ආපසු එයි.´´

4. මෙසේ කීකල බිලඞ්ගිකභාරවාජ බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ´´පින්වත් ගෞතමයාණනි ඉතා මැනවි. පින්වත් ගෞතමයාණනි ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට හෝ මාර්‍ගය කියන්නේද, ´ ඇස් ඇත්තෝ රූප දකිත්වා ´ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය. ඒ මම ධර්‍මයද, සංඝයාද සහිත භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමි. පින්වත් ගෞතමයන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලබන්නෙමි. බිලඞ්ගිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලැබීය, උපසම්පදාවද ලැබීය. උපසපන්වී නොබෝ කල් ඇති ආයුෂ්මත් බිලඞ්ගික භාරවාජ තෙම තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේ, යම් අර්‍ථයක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම මනාව සස්නෙහි පැවිදිවෙත්ද, නොබෝ කලකින්ම ඒ නිරුත්තරවූ බ්‍රහ්මචය්‍ර්‍යයාව කෙළවරවූ නිවන මේ ආත්මයෙහිම තෙමේම විශේෂ ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ විසීය. නැවත නැවත ඉපදීම ක්‍ෂයවිය, බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි වැස නිමවන ලදී. කළයුතු දේ කරනලදී. මෙයින් අනික් ආත්මයක් නැතැ ´ යි ( හෙතෙම ) මනාව දත්තේය.

5. ආයුෂ්මත් බිලඞ්ගික භාරවාජ භික්‍ෂුවද රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් විය.

3. අසුරින්‍ද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසනසේක.

2. අසුරින්‍දකභාරවාජ බමුණු තෙම ´භාරවාජගෝත්‍රික බමුණෙක් ගිහිගෙන් නික්ම ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි සසුන්හි පැවිදිවීය´ යනු ඇසීය.

3. හෙතෙම කිපියේ, නොසතුටු වූයේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට අසභ්‍ය පරුෂ වචනවලින් නින්‍දා කරයි.

4. ඒසේ කී කල භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූසේක.

5. ඉක්බිති අසුරින්‍දකභාරවාජ බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ´´ශ්‍රමණය, දිනූයෙහිය, ශ්‍රමණය, දිනූයෙහිය´´ ( කියායි ).

6. ´´අන්‍ධබාල පෘතග්ජන තෙම පරුෂ වචන කියන්නේ ඒ තමාට ජයකැයි ඒකාන්තයෙන් හඟී. එහෙත් නුවණැත්තහුගේ යම් ඉවසීමෙක් වේ නම් ඔහුටම ජයවේ.

´´යමෙක් තෙම පළමු කිපියහුට පෙරළා කිපේ නම් ඒ කරණකොට ඒ පුද්ගලයාම පාපියෙක් වේ. පළමු කිපියහුට පෙරළා නොකිපෙන පුද්ගලතෙම දුකසේ දිනිය හැකි ( ක්‍රෝධ ) යුද්ධය දිනයි.

´´යමෙක් තෙම අණ්‍යයකු කිපෙනු දැක සිහියෙන් යුතුව ඉවසානම් ( ඒ පුද්ගල තෙම ) තමාටද අනුන්ටද යන දෙදෙනාටම යහපතක් සලසයි.

´´තමාගේද අනුන්ගේද යන දෙදෙනාගේම කෙලෙස් නමැති රෝගයට පිළියම් කරන ඒ පුද්ගලයා බාලයෙකැයි ධර්‍මයෙහි අදක්‍ෂවූ අන්‍ධබාල පෘතග්ජනයෝ හඟිත්.´´

7. බුදුන් මෙසේ කීසඳ අසුන්‍දරිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ´´පින්වත් ගෞතමයානන්වහන්ස, යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට හෝ මාර්‍ගය කියන්නේද, ´ ඇස් ඇත්තෝ රූප දකිත්වා ´ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය. මනාව අවබෝධ කෙළේය. ´´

ඒ මම භාග්‍යවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංඝයාද පිහිටකොට යමි. පින්වත් ගෞතමයන් වහන්සෙගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙම්, උපසම්පදාවද ලබන්නෙම් ( නම් යෙහෙකැ )´´ යි කීය,

8. ඉක්බිති අසුන්‍දරිකභාරවාජ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද හා උපසම්පදාව ලදී. උපසම්පන්නවී නොබෝ කල් ඇති ආයුෂ්මත් අසුරින්‍දකභාරවාජ භික්‍ෂුව වනාහි තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේ, නොබෝ කලෙකින්ම, කුලපුත්‍රයෝ යමක් පිණිස ගිහි ගෙයින් නික්ම මනාව ශාසනයට පැවිදවීම් වශයෙන් පැමිනෙත්ද ඒ අනුත්තර බ්‍රහ්මචය්‍ර්‍යයාගේ කෙළවරවූ නිවන මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් අවබෝධකොට, එයට පැමිණ විසුයේය. ´ ජාතිය ක්‍ෂයවූවා, බඹසර වැස නිමවන ලදී. සියලු මාර්‍ග කෘත්‍යය කරන ලදී. මෙයින් අන් ආත්මයක් නැතැ ´ යි ( හෙතෙම ) නිසැකව දත්තේය.

9. ආයුෂ්මත් අසුන්‍දරිකභාරවාජ තෙමේද රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් විය.

2. අක්කෝස සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප ( නම්වූ ) වේළුවනයෙහි වැඩවසනසේක.

2. අක්කෝසකභාරද්වාජ බමුණුතෙම ( මෙපුවත ) ඇසීය, ´´ භාරවාජ ගෝත්‍රික බමුණුතෙම ගිහිගෙයින් නික්ම ශ්‍රමණ ගෞතමයන්ගේ ශාසනයෙහි පැවිදිවේය ( කියායි. )

3. ( ඔහු එයින් කිපීයේ, නොසතුටු සිතැත්තේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ අසභ්‍ය යහපත් නුවූ පරුෂ බසින් අපහාස කරයි. නින්‍දා කරයි.

4. මෙසේ බැණ වැදුනු කල්හි භාග්‍යවතුන් වහන්සේ අක්කෝසකභාරද්වාජ බමුණාහට මෙය කීය: ´´ බමුණ, මේ කිමැයි හඟිහිද? තාගේ අසල්වැසිවූ, නෑ වූ, සහ ලේ නෑ වූ ආගන්තුකයෝ ( තොප කරා ) එන්නෝ වෙත්ද?´´

5. ´´භවත් ගෞතමයනි, සමහර කලෙක මාගේ නෑ වූ, සහ ලේ නෑ වූ ආගන්තුකයෝ එන්නාහුය.´´

6. ´´බමුණ, මේ කුමැයි හඟිහිද? ඔවුන්ට කෑ යුත්තක් හෝ බුදිය යුත්තක් හෝ රස බැලිය යුත්තක් හෝ දෙන්නෙහිද?´´

7. ´´ගෞතමයිනි, මම සමහර කලෙක ඔවුන්ට කෑ යුත්තක් හෝ බුදිය යුත්තක් හෝ රස බැලිය යුත්තක් හෝ දෙමි.´´

8. ´´බමුණ, ඉදින් වනාහි ඔහු ( ඒ ) නොපිළිගනිත් නම් එය කවරකුහට වේද?´´

9. ´´ගෞතමයිනි, ඉදින් ඔහු ( ඒ ) නෙපිළිගනිත් නම් එය අපටම වෙයි.´´

10. ´´බමුණ, එපරිද්දෙන්ම නුඹ වනාහි ආක්‍රෝශ නොකරන අපට ආක්‍රෝශ කෙළෙහිද, පරුෂ වචන නොකියන අපට පරුෂ වචන කීයෙහිද, නොබණින අපට බැන්නෙහිද, ඒ ආක්‍රෝශාදිය අපි නොපිළිගනිමු, බමුණ, ඒ සියල්ල තටම වෙයි. බමුණ, යමෙක් වනාහි ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ කරයිද, පරුෂ වචන කියන්නහුට පෙරළා පරුෂ වචන කියයිද, බණින්නහුට පෙරළා බණීද, බමුණ, එබඳු තැනැත්තේ එකතුව වළඳන්නේය, කළහු අනුව කරන්නේයයි කියනු ලැබේ. තා බිණූ ඒ ආක්‍රෝශාදිය අපි තා හා ( හවුලේ ) නොබුදිමු. තා අනුව නොකරමු බමුණ, මෙය ( තා කළ දේ ) තටම වෙයි. බමුණ, මෙය ( තා කළ දේ ) තටම වෙයි.´´

11. ´´පින්වත, භවත් ගෞතමයන් ( පිළිබඳව ) රජු සහිත පිරිස් මෙසේ සලකති. ´ශුමණ ගෞතමයෝ රහතෙක´. එසේ වුව පින්වත් ගෞතමයෝ කිපුනාහ. ´´

12. ´´දැමුනාවූ, සමජීවීවූ, සම්‍යක් පුඥාවෙන් දැන අර්හත් ඵල විමුක්ති වශයෙන් මිදුනු, ශාන්තවූ ශ්‍රේෂ්ඨත්වයට පැමිණි, ක්‍රෝධ නැති රහතන් වහන්සේට ක්‍රෝධයෙක් නම් කොයින්ද?

´´යම් පුද්ගලයෙක් පළමු කිපියහුට පෙරළා කිපේද, ඒ ක්‍රෝධය කරණකොට ඒ පුද්ගලයාටම පව් වේ. පළමු කිපියහුට පෙරළා නොකිපෙන පුද්ගලයා දුකසේ දිනිය හැකි යුද්ධය ජයගනී.´´

´´යම් පුද්ගලයෙක් කිපුණු අන්‍යයකු දැක සිහි ඇතිව ඉවසාද, එතෙම තමහටද, පරහටද යන දෙදෙනාටම යහපතක් සලසයි.´´

´´තමාගේද අනුන්ගේද යන දෙදෙනාගේම ක්‍රෝධ ව්‍යාධියට ( ඉවසීම නමැති ) පිළියම් කරන පුද්ගලයා බාලයෙකැයි ධර්‍මයට අදක්‍ෂවූ අන්‍ධ බාල පෘතග්ජනයෝ හඟිත්.´´

13. මෙසේ කී කල අක්කෝසකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ´´භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට හෝ මාර්‍ගය කියන්නේද, ´ ඇස් ඇත්තෝ රූප දකිත්වා ´ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය. ඒ මම භාග්‍යවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, සංඝයාද සමග පිහිටකොට යමි. භවත් ගෞතමයන් වෙතින් පැවිද්ද ලබන්නෙම්, උපසම්පදාවද ලබන්නෙම් නම් යෙහෙක, ´´

14. අක්කෝසකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලැබීය. උපසම්පදාවද ලැබීය. උපසම්පන්නවී නොබෝ කල් ඇති ආයුෂ්මත් අක්කෝසකභාරවාජ තෙම තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේ, යම් අර්‍ථයක් සඳහා කුලපුත්‍රයෝ ගිහි ගෙයින් නික්ම මනාව සස්නෙහි පැවිදිවෙත්ද, නොබෝ කලෙකින්ම ඒ නිරුත්තර බ්‍රහ්මචය්‍ර්‍යයාගේ කෙළවරවූ නිවන මේ ආත්මයෙහිම තමා විශේෂ ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ විසීය. ´ ජාතිය ක්‍ෂයවූවා, බඹසර වැස නිමවන ලදී. සියලු මාර්‍ග කෘත්‍යය කරන ලදී. මෙයින් අන් ආත්මයක් නැතැ ´ යි හෙතෙම නිසැකව දත්තේය. ආයුෂ්මත් භාරවාජ භික්‍ෂුකෙම රහතන් අතුරෙන් එක්තරා කෙනෙක් විය.

1. ධනඤජානි සුත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප ( නම්වූ ) වේළුවනයෙහි වැඩවසනසේක.

2. එකල වනාහි භාරවාජ ගෝත්‍රයෙහිවූ එක්තරා බමුණකුගේ ධනඤජානී නම්වූ බැමිණිය බුදුන් කෙරෙහිද ධර්‍මය කෙරෙහිද සඞඝයා කෙරෙහිද අතිශයින් සතුටුවූවාය.

3. ඉක්බිති ධනඤජානී බැමිණිය භාරවාජ ගෝත්‍රයෙහිවූ බමුණාහට බත් ලඟට පමුණුවන්නී ´´ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුරජානන් වහන්සේට නමස්කාරය වේවා´´ ´´ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුරජානන් වහන්සේට නමස්කාරය වේවා´´ ´´ භාග්‍යවත්වූ අර්හත්වූ සම්‍යක් සම්බුදුරජානන් වහන්සේට නමස්කාරය වේවා´´ තුන් වරක් වැරෙන් ප්‍රීති වාක්‍ය කීවාය.

4. මෙසේ කී කල්හි භාරවාජ ගෝත්‍රයෙහිවූ බමුණුතෙම ධනඤජානී බැමිණියට මෙය කීය: ´´මේ වසලිය මෙපරිද්දෙන් වනාහි එතැන මෙතැන ඒ මුඩු මහණහුගේ ගුණ කියයි. වසලිය, දැන මම තීගේ ඒ ශාස්තෲවරයාට වාදයක් ආරෝපනය කරන්නෙමි.´´

5. ´´ බ්‍රාහ්මණය, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, දෙවි මිනිසුන් සහිත ප්‍රජාව කෙරෙහි යමෙක් ඒ භාග්‍යවත්වූ අර්හත්වූ සම්‍යක් සම්බුදුරජානන් වහන්සේට වාදාරෝපනය කරන්නේනම්, එවැන්නකු මම නොදකිමි. එසේවුව, බමුණ, තෝ යව, ගොස් දැනගනුව´´ යි ( ඕ තොම කීවාය.)

6. ඉක්බිති භාරවාජ ගෝත්‍රික බමුණුතෙම කිපීයේ, නොසතුටු සිත් ඇත්තේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කෙළේය. සතුටුවියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේය.

7. එකත්පසෙක හුන් භාරවාජ ගෝත්‍රික බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙකින් ( මෙසේ ) කීය:

´´ ගෞතමයෙනි, කුමක් නසා සුවසේ සයනය කෙරේද? කුමක් නසා ශෝක නොකෙරේද? කිනම් එකම ධර්‍මයක්හුගේ විනාශය නුඹ රුස්නහුද?´´

8. ´´බමුණ, ක්‍රෝධය නසා සුවසේ සයනය කෙරෙයි. ක්‍රෝධය නසා ශෝක නොකෙරෙයි. විෂයට (දුක් විපාකයට ) මුල්වූ මිහිරි අග ඇති ක්‍රෝධය නැසීම ( බුද්Ȁdධාදී ) ආය්‍ර්‍යයෝ පුශංසා කරත්. ක්‍රෝධය, නසා ඒකාන්තයෙන් ශෝක නොකෙරේ.´´

9. මෙසේ කීකල භාරවාජ ගෝත්‍රික බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, පින්වත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට හෝ මාර්‍ගය කියන්නේද, ´ ඇස් ඇත්තෝ රූප දකිත්වා ´ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය. ඒ මම භාග්‍යවත්වූ ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංඝයාද පිහිටකොට යමි. මම පින්වත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙම්, උපසම්පදාව ලබන්නෙම් ( නම් යෙහෙකැ )´´ යි කීය.

10. ඉක්බිති භාරවාජ ගෝත්‍රික බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද හා උපසම්පදාව ලදී. උපසපන්වී නොබෝ කල් ඇති ආයුෂ්මත් භාරවාජ භික්‍ෂුව වනාහි තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිත් ඇත්තේ, නොබෝ කලෙකින්ම, කුලපුත්‍රයෝ යමක් පිණිස ගිහි ගෙයින් නික්ම මනාව ශාසනයට පැවිදිවීම් වශයෙන් පැමිනෙත්ද, ඒ අනුත්තර බ්‍රහ්මචය්‍ර්‍යයාගේ කෙළවරවූ නිවන මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ විසුයේය. ´ ජාතිය ක්‍ෂයවූවා, බඹසර වැස නිමවන ලදී. සියලු මාර්‍ග කෘත්‍යය කරන ලදී. මෙයින් අන් ආත්මයෙක් නැතැ ´ යි ( හෙතෙම ) නිසැකව දත්තේය. ආයුෂ්මත් භාරවාජ භික්‍ෂුකෙම රහතන් අතුරෙන් එක්තරා කෙනෙක් විය.