7. නාගදත්ත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් නාගදත්ත ස්ථවිරතෙම කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි.

2. එකල වනාහි ආයුෂ්මත් නාගදත්ත ස්ථවිරතෙම ඉතා කල් ඇතිව ගමට පිඬු පිණිස පිවිසෙයි. ඉතා දවල් ඉන් නික්මයෙයි.

3. ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවෙක් ආයුෂ්මත් නාගදත්ත තෙරුන්ට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, ආයුෂ්මත් නාගදත්තයන් සංවේග කරනු කැමැත්තේ නාගදත්ත තෙරුන් යම් තැනෙකද එතැනට පැමිණියේය.

4. පැමිණ, ආයුෂ්මත් නාගදත්තයන්ට ගාථායෙන් ( මෙසේ ) කීය:

´´නාගදත්තය, අලුයම්කලම පිඬු පිණිස ගොස්, ඉතා දවල් ආපසු පැමිණ, ගිහියන් හා ගැටුනේ, සමාන සුව දුක් ඇත්තෙක්ව, කාලවේලාදිය ඉක්මවා හැසිරෙන්නෙහිය,

´´ඉතා බුහුටිවූ, කුලයන්හි බැඳුනාවූ, ඒ නාගදත්ත ගැන බය ඇත්තෙමි. බලවත්වූ, මරණයට රජවූ, මාරයාගේ වශයට ( හෙතෙම ) නොපැමිණේවා.´´

5. ඉක්බිති ආයුෂ්මත් නාගදත්ත ස්ථවිරතෙම ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ මහත් සංවේග බවට පැමිණියේය.

6. අනුරුද්ධ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි.

2. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ පෙර ආත්ම භාවයෙහි භාය්‍ර්‍යාව වූ ජාලිනී නම් වූ එක්තරා තව්තිසා වැසි දෙව්දුවක් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් යම් තැනෙකද එතැනට පැමිණියේය.

3. පැමිණ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට ගාථායෙන් ( මෙසේ ) කීවාය:

´´ඔබ පෙර යම් දෙව් ලොවක වුසූයෙහි ද එහි සිත පිහිටුවා, ( එවිට ) සියලු කාමයන් සර්‍වප්‍රකාරයෙන් සමෘද්ධවූ තව්තිසා දෙවියන් කෙරෙහි දෙවඟනන් විසින් පෙරටු කරන ලදුව, පිරිවරණ ලදුව ( ඔබ ) බබළන්නෙහිය.

4. ( අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ මෙසේ කීය. ) දිව්‍යඞ්ගනාවෝ දුකට පැමිණියාහුය, පඤ්චස්කන්‍ධයෙහි පිහිටියාහුය. දිව්‍යඞ්ගනාවන් විසින් පතනලද ඒ සත්ත්‍වයෝද දුකට පැමිණියාහුය.

5. ( දෙව් දූ මෙසේ කීවාය: ) ´´යම් කෙනෙක් ඉසුරු ඇත්තාවු, තාවතිංස දිව්‍ය පුරුෂයන්ගේ වාසස්ථානවූ, නන්‍දන නම් වූ උද්‍යානවනය නොදකිත් ද, ඔවුහු සැපය නොදකිත්.´´

6. ( අනුරුද්ධ ස්ථවිරයෝ මෙසේ කීය: ) ´´අඥානවූ නුඹ රහතුන්ගේ වචනය නියම ලෙසින් නොදන්නෙහිය. සියලු සංස්කාරයෝ අනිත්‍යයෝය, ඉපදීම හා නැසීම ස්වභාවකොට ඇත්තෝය, ඉපිද නැතිවෙත්. ඒ සංස්කාරයන්ගේ සංසිඳීමය කියන ලද නිවන සැපය.

´´ජාලිනිය, දේවකායෙහි නැවත මාගේ විසීමෙක් නැත. ඒ ඒ තන්හි ඉපදීමයයි කියන ලද සංසාරය නිමවන ලදී. දැන් නැවත ඉපදීමක් මට නැත.´´

5. ආනන්‍ද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි.

2. එකල වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම බොහෝ වේලා ගිහියන් සැනසීමෙහි යෙදී වෙසෙයි.

3. එකල්හි ඒ වනලැහැබ අරක්ගත් දේවතාවෙක් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට අනුකම්පා කරන්නේ, හිතවැඩ කැමැත්තේ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් සංවේග කරනු කැමැත්තේ, උන්වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට ගාථායෙන් කීය:

´´රුක්මුල් සෙනසුන්හි විසීමට පැමිණ, නිර්‍වාණය හෘදයෙහි බහාගෙන වසන්නාවූ නුඹ වහන්සේට (ගිහියන් සමග කරන ) මේ බිලි බිලි කථාව කුමක් කරන්නේ ද? ගෞතම ශ්‍රාවකයන් වහන්ස, පුමාද නැත්තෙක් වව. භාවනාවෙහි යෙදෙව.´´

4. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ මහත් සංවේග බවට පැමිණියේය.

4. සම්බහුලා ( චාරිකා ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක බොහෝ භික්‍ෂුහු කොසොල් රට එක්තරා වනලැහැබෙක වසත්.

2. ඉක්බිති ඒ භික්‍ෂූහු වස් වැසුවා තුන් මාසය ඇවෑමෙන් චාරිකාවට ( ගමන් කිරීමට ) ගියහ.

3. ඉක්බිති ඒ වන ලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂූන් නොදක්නේ, ඒ වේලාවෙහි මේ ගාථාව කීය:

´´හිස්වූ බොහෝ ආසන දැක මට අද නොඇල්මක් මෙන් වැටහෙයි. විසිතුරු ධර්‍ම කථා ඇත්තාවූ, බහුශ්‍රුතවූ ඒ මේ ගෞතම ශ්‍රාවකයෝ කොයි වැඩියෝ ද?´´

4. මෙසේ කීකල අනික් දේවතාවෙක් ඒ දේවතාවාට ගාථායෙන් පිළිතුරු කීය:

´´( ඇතැම් කෙනෙක් ) මගධ දනව්වට ගියෝය. ( ඇතැම් කෙනෙක් ) කොසොල් දනව්වට ගියෝය. ඇතැම් කෙනෙක් වැදෑ රටට ගියෝය. භික්‍ෂූහු එකම ස්ථානයෙක ඇල්මක් නැතිව හැසිරෙන්නාහු ගෙවල් නැති මුවන් මෙන් වෙසෙත්.´´

3. කස්සපගොත්ත ( චේත ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍ර තෙම කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි.

2. එසමයෙහි වනාහි ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍ර තෙම දහවල් විවේකයට ගියේ එක්තරා වැද්දෙකුට ( මුවන් මරන්නෙකුට ) අවවාද කරයි.

3. ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවා ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍රයාහට අනුකම්පා කරන්නේ, වැඩ කැමැත්තේ, ආයුෂ්මත් කාශ්‍යප ගෝත්‍රයන් උනන්දු කරවනු කැමැත්තේ, කාශ්‍යපගෝත්‍රයන් යම් තැනකද එතැනට පැමිණියේය.

4. පැමිණ ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍රට ගාථායෙන් ( මෙසේ ) කීය:

´´පර්‍වත දුර්‍ගයෙහි ( යෑමට අපහසු තැනෙහි ) හැසිරෙන්නාවූ, නුනුවණ නැත්තාවූ කාරණාකාරණා දැනීමෙහි සමත්‍ර්‍ථනොවූ මුව වැද්දෙකුට නොකල්හි අවවාද කරන්නාවූ මහණතෙම අඥානමෙන් මට වැටහේ.

´´හෙතෙම අසයි, එහි අත්‍ර්‍ථය නොදනී, බලයි, එහෙත් නොදකී. බණ කියන කල්හි ඒ අඥානතෙම අත්‍ර්‍ථය අවබෝධ නොකෙරෙයි.

´´කාශ්‍යපය, තෝ ඉදින් පහන් ( ආලෝක ) දසයක් දරන්නෙහි නමුත් හෙතෙම ( හේතු ) රූපයන් නොදකීමය. යම් හේතුවකින් ඕහට ( ප්‍රඥා ) ඇස නැද්ද, එහෙයිනි.´´

5. ඉක්බිත් ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍ර තෙම ඒ දේවතාවා විසින් උනන්දු කරන ලද්දේ සංවේගයට පැමිණියේය.

2. උපට්ඨාන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි.

2. එකල වනාහි ඒ භික්‍ෂුව දහවල් විවේකයට ගියේ නිදයි. ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් යම් දේවතාවෙක්

වූයේද, හෙතෙම ඒ භික්‍ෂුවට අනුකම්පා සහිතවූයේ, හිත කැමැත්තේ, ඒ භික්‍ෂුව උනන්දු කරනු කැමැත්තේ, ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය.

3.. පැමිණ, ඒ භික්‍ෂුවට ගාථායෙන් ( මෙසේ ) කීය:

´´මහණ, නැගිටුව, කිම නිදන්නෙහි ද? නින්දෙන් තට කිනම් ප්‍රයෝජනයෙක් ද? ක්ලේශාතුරවූ, තෘෂ්ණා නමැති හුලින් හෘදය විදින ලද්දාවූ, වෙහෙසෙන්නාවූ, යුෂ්මත්හුට කවර නින්දක් ද?

´´යම් බඳු ශ්‍රද්ධායෙකින් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වූයෙහි ද, ඒ ශ්‍රද්ධාවම වඩා නින්දට වසඟ නොවව.´´

4. ´´යම් කාමයන්හි නුවණ මඳ වූ පෘතග්ජන තෙමේ මුසපත් වූයේ ද, එම කාමයෝ අනිත්‍යයෝය. නස්නා සුලුයහ. බන්‍ධනයන් කෙරෙන් මිදුනාවූ, තණ්හාවෙන් නොබැඳුනාවූ, ආශාවයන් නැතිකළ ( රහත් ) පැවිද්දෙකු ( වූ මා ) කවර හෙයකින් තවන්නේ ද?

´´ඡන්‍දරාගය වැනසීම නිසාද, අවිද්‍යාව ඉක්මවූ බැවින්ද, ඒ ඥානය අතිශයින් පිරිසිදුය, ( එබඳු නුවණැති ) පැවිද්දකු කවර හෙයකින් තවන්නේ ද?

´´විද්‍යායෙන් අවිද්‍යාව බිඳ, ( කාමාදී ) ආශ්‍රවයන් ක්‍ෂය කිරීම් හේතුවෙන් ශෝක නැත්තා වූ, උපායාස ( තද ශෝක ) නැත්තාවූ පැවිද්දකු කවර හෙයකින් ( නිදිව ) තවන්නේ ද? ( නොතවන්නේමය. )

´´සම්පූර්‍ණ වීය්‍ර්‍ය ඇති, නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති, දැඩි පරාක්‍රමයෙන් යුත්, නිවන් පතන්නාවූ පැවිද්දකු කවර හෙයකින් නිදීම තවන්නේ ද?´´

1. විවේක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි.

2. එකල වනාහි ඒ භික්‍ෂුව දහවල් විවේකයට ගියේ ලාමකවූ පාප චේතනාවන් සිතයි.

3. ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් යම් දේවතාවෙක් වූයේද, ඒ භික්‍ෂුව කෙරෙහි අනුකම්පා ඇත්තේ, ඔහුට වැඩ කැමැත්තේ, ඒ භික්‍ෂුව උනන්දු කරනු කැමැත්තේ, ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය.

4. පැමිණ, ඒ භික්‍ෂුවට ගාථායෙන් ( මෙසේ ) කීය:

´´( ත්‍රිවිධ ) විවේකය පතමින් ඔබ මේ වනයට පිවිසියෙහිය. එහෙත් ඔබගේ සිත බාහිරවූ අරමුණු කෙරෙහි හැසිරෙයි. ජනයකුවූ ඔබ ( අන්‍ය ) ජනයා කෙරෙහි ( ඇති ) ඡන්‍ද රාගය නසව. ඉන්පසු පහවූ රාග ඇත්තෙක්ව සුවෙන් කල් යවව.

´´( කර්‍මස්ථාන භාවනා පිරීමෙහි ) නොකැමැත්ත බැහැර කරව. සිහි ඇති වෙව. සිහි ඇතිව විසීම සත්පුරුෂයන්ගේ ධර්‍මයයි. කෙලෙස් ධූවිලි සහිත ආශාව තරණයට දුෂ්කරය. මේ කාමරාගය තා අපායට නොහෙළාවා.

´´පස් තැවැරුණු පක්‍ෂියෙක් ( පියාපත් ) සොලොවමින් ශරීරයෙහි ඇලුනු දූවිලි යම්සේ ඉවත හෙළාද, එසේම කෙලෙසුන් තැවීමේ වීය්‍ර්‍යඇති සිහි ඇති මහණතෙම ඇලුනු ( කෙලෙස් ) ධූලි ඉවත හෙළයි.´´

5. ඉක්බිති ඒ භික්‍ෂුතෙම ඒ දේවතාවා විසින් උනන්දු භාවයට පමුණුවනු ලදුයේ උනන්දුභාවයට පැමිණියේය