1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් නාගදත්ත ස්ථවිරතෙම කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි.
2. එකල වනාහි ආයුෂ්මත් නාගදත්ත ස්ථවිරතෙම ඉතා කල් ඇතිව ගමට පිඬු පිණිස පිවිසෙයි. ඉතා දවල් ඉන් නික්මයෙයි.
3. ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවෙක් ආයුෂ්මත් නාගදත්ත තෙරුන්ට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, ආයුෂ්මත් නාගදත්තයන් සංවේග කරනු කැමැත්තේ නාගදත්ත තෙරුන් යම් තැනෙකද එතැනට පැමිණියේය.
4. පැමිණ, ආයුෂ්මත් නාගදත්තයන්ට ගාථායෙන් ( මෙසේ ) කීය:
´´නාගදත්තය, අලුයම්කලම පිඬු පිණිස ගොස්, ඉතා දවල් ආපසු පැමිණ, ගිහියන් හා ගැටුනේ, සමාන සුව දුක් ඇත්තෙක්ව, කාලවේලාදිය ඉක්මවා හැසිරෙන්නෙහිය,
´´ඉතා බුහුටිවූ, කුලයන්හි බැඳුනාවූ, ඒ නාගදත්ත ගැන බය ඇත්තෙමි. බලවත්වූ, මරණයට රජවූ, මාරයාගේ වශයට ( හෙතෙම ) නොපැමිණේවා.´´
5. ඉක්බිති ආයුෂ්මත් නාගදත්ත ස්ථවිරතෙම ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ මහත් සංවේග බවට පැමිණියේය.