14. පදුමපුප්ඵ ( පුණ්ඩරීක ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි.

2. එකල වනාහි ඒ භික්‍ෂුතෙම පිණ්ඩපාතය නිමවා බත් වළඳා පොකුණට බැස පියුමක් සිඹී.  ඉක්බිති වනාහි ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂුව කෙරෙහි අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, ඒ භික්‍ෂුව සංවේග කරනු කැමැත්තේ, ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය.

4. පැමිණ, ඒ භික්‍ෂුවට ගාථායෙන් ( මෙසේ ) කීය:

´´නොදෙන ලද්දාවූ යම් මේ නෙලුම් මලක් සිඹිනෙහිද, ඒ මෙය සොරකම් කිරීම් අතුරෙන් එක් කොට්ඨාසයෙකි, නිදුකාණෙනි, ( එහෙයින් ඔබ ) සුවඳ සොරෙක් වෙහිය.´´,

5. (භික්‍ෂුව මෙසේ කීය:) ´´මම මේ නෙලුම් මල ගෙන නොයමි, නොකඩමි, දුර සිට සිඹිමි, එසේ ඇති කල කවර කාරණයෙකින් සුවඳ සොරායයි කියනු ලැබේද?

´´යම් තවුසෙක් තෙම නෙලුම් අල හාරාද, පියුම් නෙලයිද, මෙසේ අපිරිසිදු කර්‍මාන්ත ඇති ඒ තවුස් තෙම කවර හෙයකින් සුවඳ හොරාය කියා හෝ මල් හොරාය කියා හෝ කියනු නොලැබේද?´´

6. ( දේවතාවා මෙසේ කීය: ) ´´ඒ පුරුෂ තෙම බොහෝ පව් ඇත්තෙකි. හෙතෙම කිරිමවක් හැඳි වස්ත්‍රය ( මල මූත්‍රාදියෙන් ) ගැවසුනාක් මෙන්, කෙලෙසින් කිලිටිවූයේ වෙයි. එබඳු ඒ පවිටා කෙරෙහි මාගේ අවවාදයක් නැත. ( ඔබට නම් ) අවවාදයක් කියන්ට සුදුසු වෙමි.

´´බහුල කෙලෙස් නැත්තාවූ, නිරන්තරයෙන් පිරිසිදු භාවය සොයන්නාවූ පුද්ගලයාගේ කෙසඟක් පමණවූ දෝෂයද වළාපටලයක් පමණ වූවක් මෙන් වැටහේ.´´

7. ( භික්‍ෂූව මෙසේ කීය: ) ´´යක්‍ෂය, තෝ මා ඒකාන්තයෙන් දන්නෙහිය. නැවතද මට අනුකම්පා කරන්නෙහිය. යම් කලෙක මෙබන්දක් දක්නෙහිද, යක්‍ෂය, මට නැවත ද ඒ කියව.´´

8. ( දේවතාවා මෙසේ කීය: ) ´´මහණ, මම ඔබ නිසා ජීවත් නොවෙමි. ඔබගේ මෙහෙකරුවෙක්ද නොවෙමි. යම් කර්‍මයෙකින් සුගතියට යන්නේද, ( ඒ කර්‍මය ) ඔබම දනුව.´´

9. ඉක්බිති ඒ මහණ ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ මහත් සංවේගයට පැමිණියේය.

වනසංයුත්තය නිමියේය.

13. පාකතින්‍ද්‍රිය ( සම්බහුල භික්‍ඛු ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක බොහෝ භික්‍ෂූහු උඩඟු වූවෝ, උස්ව නැඟි මාන නළ ඇත්තෝ, චපල වූවෝ, අසංවර වචන ඇත්තෝ, මුළාවූ සිහි ඇත්තෝ, නුවණ නැත්තෝ, සමාධි නැත්තෝ, නොදැමුණු ඉන්‍ද්‍රිය ඇත්තෝ කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙති.

2. ඉක්බිති ඒ වන ලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂූන්ට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, ඒ භික්‍ෂූන් සංවේග කරනු කැමැත්තේ ඒ භික්‍ෂූන් යම් තැනෙකද එතැනට පැමිණියේය.

පැමිණ, ඒ භික්‍ෂූන්ට ගාථායෙන් ( මෙසේ ) කීය:

´´ගෞතම ශ්‍රාවකවූ භික්‍ෂූහු පෙර සැපවූ ජීවිකා වෘත්ති ඇත්තෝ වූහ. ආසා නැත්තෝව පිඬු සොයන්නෝ වූහ. ( ආශා ) රහිතයෝව සෙනසුන් සොයන්නෝ වූහ.

´´ලෝකයෙහි අනිත්‍ය බව දැන දුක් කෙළවර කළාහුය.

´´මම සංඝයාට ඇඳිලිකොට කියමි. ඇතැම් මහණ කෙනෙක් ගමෙහි ගම්මුදලියන් මෙන් තමා පෝෂ්‍ය කිරීමට අපහසු වූවෙක් කොට, කකා ක්ලේශයන්ගෙන් මුසපත්ව, අනුන්ගේ ගෙවල්වල නිදත්. ඔහු ( ආචාය්‍ර්‍ය උපාධ්‍යායන් විසින් ) බැහැර කරන ලද්දාහුය. පිහිට රහිතයෝය, ඔවුහු මළවුන් මෙනි.

´´යම් මහණ කෙනෙක් ප්‍රමාදව වෙසෙත්ද, ඔවුන් සඳහා මා විසින් මෙය කියන ලද්දේය. යම් මහණකෙනෙක් අප්‍රමාදව වෙසෙත්ද, උන්වහන්සේට මම නමස්කාර කරමි.´´

4. ඉක්බිති ඒ භික්‍ෂූහු ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ මහත් සංවේගයට පැමිණියෝය.

12. මජ්ඣන්තික ( සණික ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වසයි.

2. ඉක්බිති ඒ වනලැහැබ අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය.

3. පැමිණ, ඒ භික්‍ෂුව සමීපයෙහි මේ ගාථාව කීය:

´´ඉර මුදුන් කාලය පැමිණි කල්හි පක්‍ෂීන් සන්සුන්ව හුන් විට මහ වනය මහ හඬ පතුරුවන්නක් මෙනි. එය මට බියක් සේ වැටහෙයි.´´

4. ( භික්‍ෂුව මෙසේ කීය:) ´´ඉර මුදුන් කාලය පැමිණි කල්හි, පක්‍ෂීන් සන්සුන්ව හුන් විට මහා වනය ශබ්ද කරන්නාක් මෙනි. ඒ මට හිතට මහත් සතුටක් සේ වැටහෙයි.´´

11. අයෝනිසෝ ( විතක්කිත ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල වනාහි ඒ මහණතෙම දහවල් විවේකයට ගියේ ලාමක අකුසල විතර්‍කයන් සිතයි. ඒ කවරේද? කාමයන් පිළිබඳ කල්පනාය, ව්‍යාපාදය පිළිබඳ කල්පනාය, විහිංසාව පිළිබඳ කල්පනාය යනුයි.

2. ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂුවට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, ඒ භික්‍ෂුව සංවේග කරනු කැමැත්තේ, ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය.

3. පැමිණ ඒ භික්‍ෂුවට ගාථායෙන්  මෙසේ කීය:

´´නුනුවණින් මෙනෙහි කිරීම නිසා පාප විතර්කයන් විසින් පෙළනු ලබන්නෙහිය, මේ අනුවණ කමින් මෙනෙහි කිරීම බැහැර කරව, නුවණින් මෙනෙහි කිරීමෙන් කල්පනා කරව.

´´ශාස්තෲන්වහන්සේද, ධර්‍මයද, සඞ්ඝයාද මෙනෙහි කොට ඒකාන්තයෙන්ම ප්‍රීතියටද බලවත් ප්‍රීතියට හා සැපයටද, පැමිණෙන්නෙහිය. එයින් ප්‍රීතිය බහුල කොට ඇත්තෙක්ව දුක් කෙළවර කරන්නෙහිය.´´

4. ඉක්බිති ඒ මහණතෙම ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ මහත් සංවේගයට පැමිණියේය.

10. සජ්ඣාය ( ධම්ම ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි.

2. ඒ භික්‍ෂුව වනාහි පෙර ඉතා බොහෝ වේලා ( ධර්‍මය ) සජඣායනා කිරීමෙහි යෙදී වාසය කෙළේය. නමුත් හෙතෙම පසු කලෙක උත්සාහය අඩු වූයේ නිශ්ශබ්ද වූයේ ඵලසමවත් සුවයෙන් කල් යවයි.

3. ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂුවගෙන් ධර්‍මයක් නොඅසන්නේ ඒ භික්‍ෂුව යම් තැනකද එතැනට පැමිණියේය.

4. පැමිණ ඒ භික්‍ෂුවට ගාථායෙන් මෙසේ කීය:

´´මහණ, නුඹ භික්‍ෂූන් සමග වෙසෙමින් කවර හෙයෙකින් ධර්‍මපදයන් සජඣායනා නොකරන්නෙහිද? ධර්‍මය අසා ප්‍රසාදය ලබයි. මේ ආත්මභාවයෙහිම ප්‍රශංසාවද ලබයි.´´

5. ( භික්‍ෂුව මෙසේ කීවේය. ) ´´යම්තාක් ආය්‍ර්‍ය මාර්‍ගයෙන් ( නිවන් අවබෝධයට ) නොපැමිණියෙමුද (ඒ තාක් ) පෙර ධර්‍මපදයන්හි ආශාව මා තුළ වූයේය. යම් හේතුවකින් ( දැන් ) ආය්‍ර්‍යමාර්‍ගයෙන් යුක්ත යෙම්ද, (එහෙයින් ධර්‍මය සජඣායනා නොකරම්හ,) ඇසින් දුටු රූපයක් හෝ කණින් ඇසූ ශබ්දයක් හෝ කයින් ස්පර්‍ශකළ ස්පර්‍ශයක් හෝ වේද, ( ඒ සියල්ලම අනිත්‍යාදී වශයෙන් ) දැන බැහැරලීම ආය්‍ර්‍යයෝ කියත්.´´

9. වජ්ජිපුත්ත ( වේසාලී ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා වජ්ජි පුත්‍රක භික්‍ෂුවක් විසාලා නුවර අසල යම් කිසි වනලැහැබෙක වෙසෙයි. එකල විසාලා නුවර නැකැත් කෙළියෙක් වෙයි.

2. ඉක්බිති ඒ මහණතෙම විසාලානුවර තූය්‍ර්‍යයන්ගේ ගයන වයන ශබ්දය අසා හඬමින්, ඒ වේලායෙහි මේ ගාථාවන් කීය:

´´අපි ආරණ්‍යයෙහි තනිව වනෙහි දමන ලද දර කෑල්ලක් මෙන් මෙවැනි රාත්‍රියෙහි වාසය කරම්හ. අපට වැඩි අවාසනා වන්තවූ අන් කවරෙක් නම් වේද?´´

3. ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවෙක් ඒ භික්‍ෂුවට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ සංවේග කරනු කැමැත්තේ, ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය.

4. පැමිණ ඒ භික්‍ෂුවට ගාථාවෙන් ( මෙසේ ) කීය.

´´නුඹ ආරණ්‍යයෙහි තනිව, වෙනෙහි දමන ලද දර කෑල්ලක් මෙන් වෙසෙහිය. ස්වර්‍ගයට යන්නහු පතන්නාවූ නිරිසතුන්මෙන් එසේවූ යුෂ්මතුන්ද බොහෝ දෙනෙක් පතත්.

5. ඉක්බිති ඒ භික්‍ෂුතෙම ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ සංවේගයට පැමිණියේය.

8. කුලඝරණී ( ඕගාළ්හ ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල ඒ මහණතෙම එක්තරා කුලයෙක ඉතා ඇතුලත් බවට පැමිණියේව වෙසෙයි.

2. ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් යම් දේවතාවෙක් ඒ භික්‍ෂුවට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ ඒ භික්‍ෂුව සංවේග කරනු කැමැත්තේ, ඒ කුලයෙහි යම් කුල ගැහැණියක් ඇද්ද ඇගේ වේශය මවා ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය.

3. පැමිණ ඒ භික්‍ෂුවට ගාථායෙන් ( මෙසේ ) කීය:

´´ගංතෙරවලද, විඩා සංසිඳුවන තැනද, සභාවලද, වීථිවලද ජනයෝ ´ මා ´ යිද ´ තා ´ යිද (එකිනෙකා ගැන) කථා කෙරෙත්. ඒ කුමන කරුණෙකින්ද?

4. ( භික්‍ෂුව මෙසේ කීය: ) ´´තාපසයන් විසින් ඉවසිය යුතුවූ මේ ස්වාභාවයට විරුද්ධ ශබ්දයෝ ලොව බොහෝ වෙති. ඒ කාරණයෙන් දුර්මුඛ නොවිය යුතුයි. තාපසයා ඒ අනුන් කී බසින් කිලිටි නොවේ.

´´ යම් තාපසයෙක් වෙනෙහි වෘක මෘගයකු මෙන් සුලු ශබ්දයෙන්ද තැතිගන්නේද, හෙතෙම සැහැල්ලු සිත් ඇත්තෙකැයි කියත්. සැහැල්ලු සිත් ඇති මහණහුගේ සීලය සම්පූර්‍ණ නොවේ.´´