8. පරෝසහස්ස සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි එක්දහස් දෙසිය පණසක් පමණ වූ භික්‍ෂු සංඝයා සමග වැඩවසන සේක.

2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ නිවන් පිළිබඳ ධර්‍ම කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වනසේක. ඔවුන් එහි අවබෝධ කරවන සේක. තෙද ගන්වන සේක. සතුටු කරවන සේක. ඒ භික්‍ෂූහුද අත්‍ර්‍ථවත් කොට මෙනෙහි කොට, මුළු සිත එහි යොමු කොට, කන් යොමා ධර්‍මය අසත්.

3. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ට මෙබඳු අදහසෙක් විය: ´´ මේ භාග්‍යවතුන් වහන්සේ නිවන් පිළිබඳ කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක, ඔවුන්ට අවබෝධ කරවන සේක, තෙද ගන්වන සේක, සතුටු කරවන සේක, ඒ භික්‍ෂූහු ද අත්‍ර්‍ථවත් කොට මෙනෙහි කොට, සිතට ඇතුළු කොට, කන් යොමා ධර්‍මය අසති. මම භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සුදුසු ගාථායෙන් ප්‍රශංසා කරන්නෙම් නම් මැනවැ´´ ( යි කියායි. )

4. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අස්නෙන් නැගිට සිව්ර ඒකාංශකොට ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´භාග්‍යවතුන් වහන්ස, මට ( අදහසක් ) වැටහෙයි. සුගතයන් වහන්ස, මට ( අදහසක් ) වැටහෙයි.´´

5. ´´වඞ්ගීසය, තට වැටහේවා´´ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

6. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සුදුසු ගාථාවලින් ප්‍රශංසාකළේය.

´´දහසකට අධිකවූ භික්‍ෂු සඞ්ඝ තෙම භයෙන් මිදුනු නිර්‍මලවූ, නිර්‍වාණධර්‍මය දේශනා කරන සුගතයන් වහන්සේ ආශ්‍රය කෙරෙයි.

´´සම්මාසම්බුදුන් විසින් දේශනා කළ නිර්‍මල ධර්‍මය ( ඔවුහු ) අසත්. භික්‍ෂු සඞඝයා විසින් පෙරටුකොට පිහිටුවාගත් සම්බුද්ධයන් වහන්සේ ඒකාන්තයෙන් හොබනාසේක.

´´භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ( පව් නොකරන හෙයින් ) නාග නම් වන සේක. ඎෂීන් අතුරෙන් ශ්‍රේෂ්ඨතම ඎෂි වන සේක, මහා මේඝයක් මෙන් ශ්‍රාවකයන් වැස්සෙන් තෙමන සේක.

´´මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේගේ ශ්‍රාවකවූ වඞ්ගීස තෙම ශාස්තෲන් වහන්සේ දකිණු කැමැත්තෙන් දිවා විහරණයෙන් නික්ම අවුත් සිරිපා වඳී. ´´

7. ´´කිමෙක්ද වඞ්ගීස, තා විසින් මේ ගාථා පෙර කල්පනා කොට කරනලද්දාහු ද නොහොත් ඒ හිටිවනම තාගේ සිතට නැගුනාහු ද?´´

8. ´´ස්වාමීනි, මේ ගාථා මා විසින් පෙර නොසිතන ලද්දෝය. ප්‍රස්තාවට සුදුසු සේම මට වැටහී ගියහ.´´

9. ´´වඞ්ගීසය, එසේ වී නම් පෙර නොසිතන ලද ගාථාවෝ තව බොහෝ සෙයින් තට වැටහෙත්වා.´´

10. ´´එසේය, ස්වාමීනි,´´ යි භාග්‍යවතුන් වහන්සේට ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම උත්තර දී පෙර නොසිතන ලද තව බොහෝ වූ ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රශංසා කළේය.

´´මාරයාගේ උමං මාර්ගයන් මැඩ, ඛීලයන් ( බාධාවන් ) බිඳ ඔබ වහන්සේ හැසිරෙණ සේක. ( කෙලෙස් ) බැඳුම් මුදන ( රාගාදීන්ගේ ) ආශ්‍රයෙක් නැති, කොටස් වශයෙන් ධර්‍මය බෙදන්නාවූ ඒ තථාගතයන් වහන්සේ බලව්. ´´( කාමාදී ) ඕඝය ( සැඩපහර ) එතරකරන පිණිස නොයෙක් ආකාර මාර්‍ගය ඔබ වදාළසේක. උන්වහන්සේ විසින් වදාරණ ලද ඒ අමෘතයෙහි ඔවුහු ධර්‍ම දර්ශීව, රාගාදියෙන් ගෙනයා නොහැක්කේව සිටිත්.

´´ඥානාලෝතය පහළකළ ධර්‍මය අවබෝධ කොට, සකල දෘෂ්ටිස්ථානයන්ගේ ඉක්මවීම (නම් නිර්‍වාණය ) දුටුසේක. දැනද ප්‍රත්‍යක්‍ෂ කොටද, ඒ උත්තම ධර්‍මය පස්වග මහණුන්ට දෙසූ සේක.

´´මෙසේ සුදේසිත ධර්‍මය දන්නවුන්ගේ එහි කවර ප්‍රමාදයෙක් ද? එහෙයින් ඒ තථාගතයන්ට වඳිමින් හැම කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි අප්‍රමාදීව පිළිවෙළින් හික්මෙන්නේය.´´