7. පවාරණ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්‍වාරාමයෙහි මිගාරමාතු ප්‍රාසාදයෙහි සියලුදෙනම රහත්වූ පන්සියයක් පමණ භික්‍ෂූන්ගෙන් යුත් මහත් භික්‍ෂු සංඝයා සමග වැඩවසන සේක.

2. එකල භාග්‍යවතුන් වහන්සේ එදිනට පැමිණි පසළොස්වක් පොහෝ දිනයෙහි වස් පවාරණය පිණිස භික්‍ෂු සඞ්ඝයා විසින් පිරිවරනලදසේක් එළිමහනෙහි වැඩහුන්සේක.

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූ සංඝයා බලා භික්‍ෂූන්ට කථාකළසේක. ´´ මහණෙනි, දැන් ඉතින් තොපගෙන් විචාරමි. මාගේ කායික හෝ වාචසික කිසිවකට තෙපි ගරහව්ද?´´

4. මෙසේ වදාළ කල ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම අස්නෙන් නැගිට සිවුර ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ ට මෙසේ කීය: ´´ ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගේ කායිකවූ හෝ වාචසිකවූ හෝ කිසිවක් නොගරහමු. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි නොයිපදවූ, ඇති මාර්‍ගය ඉපිදවූසේක. ( කලින් නොතිබූ ) මාර්‍ගය ඇතිකළසේක. අන් කෙනෙකු නොදෙසූ මාර්‍ගය දෙසූසේක. මාර්‍ගය දත්සේක. මාර්‍ගය අවබෝධ කළ සේක. මාර්‍ගයෙහි දක්‍ෂසේක. ස්වාමීනි, දැන් ශ්‍රාවකයෝ ( ඔබ ) දැක්වූ මාර්‍ගයට අනුව යමින් වෙසෙත්. ( ඔවුහු ) ඒ මාර්‍ගය ( ඔබට ) පසුව ලබාගත්තෝ වෙති. ස්වාමීනි, මමත් භාග්‍යවතුන් වහන්සේ අතින් විචාරමි. කායිකවූ හෝ වාචසිකවූ හෝ මාගේ කිසිවකට භාග්‍යවතුන් වහන්සේ ගරහත්ද?´´

5. ´´ ශාරීපුත්‍රය, තාගේ කායිකවූ හෝ වාචසිකවූ හෝ කිසිවකට මම නොගරහමි. ශාරීපුත්‍රය, තෝ පණ්ඩිතයෙහිය. ශාරීපුත්‍රය, තෝ මහාප්‍රාඥවෙහිය, ශාරීපුත්‍රය, තෝ පැතිරසිටි ප්‍රඥා ඇත්තෙහිය. ශාරීපුත්‍රය, තෝ බබළන ප්‍රඥා ඇත්තෙහිය.

ශාරීපුත්‍රය, තෝ ජවන ( වහා ක්‍රියා කරන ) පුඥා ඇත්තෙහිය. ශාරීපුත්‍රය, තෝ තීක්‍ෂණ ප්‍රාඥයෙහිය, ශාරීපුත්‍රය, තෝ නිර්‍වෙධික ( විනිවිද යන ) ප්‍රඥා ඇත්තෙහිය. ශාරීපුත්‍රය, සක්විති රජුගේ වැඩිමහල් පුත් තෙම පියා විසින් පවත්වන ලද ( ආඥා ) චක්‍රය මනාව ( ඔහු ) අනුව පවත්වන්නේ යම්සේද, ශාරීපුත්‍රය, එසේම මා විසින් පවත්වනලද ධර්‍මචක්‍රය තෝ යහපත්ලෙස ( මා ) අනුව පවත්වන්නෙහිය.´´

6. ´´ස්වාමීනි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ මාගේ කය හෝ වචනය පිළිබඳ කිසිවකට නොගරහනසේක් නම්, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ පන්සියයක් භික්‍ෂූන්ගේ කායිකවූ හෝ වාචසිකවූ හෝ කිසිවකටත් නොගරහනසේක්ද?´´

7. ´´ශාරීපුත්‍රය, මම මේ පන්සියයක් භික්‍ෂූන්ගේද කායිකවූද වාචසිකවූද කිසිවකට නොගරහමි. ශාරීපුත්‍රය, මේ පන්සියයක් භික්‍ෂූන් අතුරෙන් සැට දෙනෙක් ත්‍රිවිද්‍යාලාභීහුය, සැට දෙනෙක් ෂඩභිඥා ලාභීහුය, සැට දෙනෙක් උභතො විමුක්තියහ. ( අරූප සමාපත්ති අර්‍හත් මාර්‍ග යන දෙයාකාරයෙන් මිදුණාහු ), නැවත අන්‍යයෝ ප්‍රඥාවිමුක්තයහ´´ ( ප්‍රඥාවෙන් මිදුනාහු. )

8. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අස්නෙන් නැගිට සිව්ර ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ ( වැඳ ) භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´භාග්‍යවතුන් වහන්ස, මට අදහසක් වැටහේ. සුගතයන් වහන්ස, මට ( අදහසක් ) වැටහේ.´´

9. ´´වඞ්ගීස, තොට ඒ වැටහේවා´´ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

10. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සුදුසු ගාථාවලින් ප්‍රශංසා කළේය.

´´සංයෝජන වූද, බන්‍ධන වූද, කෙලෙස් සිඳදැමූ, දුක් නැත්තා වූ, මතු ඉපදීම නැතැකළා වූ, ඎෂි වූ, පන්සියයක් භික්‍ෂූහු අද පසළාස්වක පොහෝ දින විශුද්ධිය පිණිස රැස්වූහ.

´´සක්විති රජ තෙම ඇමති ගණයා විසින් පිරිවරණ ලදුව සාගරය කෙළවරකොට ඇති මේ පෘථිවිය හාත්පස යම් සේ පිළිවෙලින් ගමන් කෙරේද,

´´එසේම ත්‍රිවිද්‍යාලාභීවූ, (කෙලෙස් ) මරුන් නැසූ ශ්‍රාවකයෝ දිනන ලද ( රාග ෙවෂ මෝහ ) යුද්ධ ඇති, නිරුත්තර, ( තමාට වඩා උසස් කෙනෙක් නැති ) සත්‍වාහයන් ( නම් වූ භාග්‍යවතුන් ) වහන්සේ ආශ්‍රය කෙරෙත්.

´´මේ සියල්ලෝම භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍රයෝ වෙති. මේ පිරිස්හි ඇතුළ හිස් දුශ්ශීලයෙක් නැත. තණ්හා හුල නසන්නාවූ සූය්‍ර්‍යබන්‍ධුවූ සර්‍වඥයන් වහන්සේ වඳිමි.´´