5. සුභාසිත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන්ට කථාකළ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු පිළිවදන් දුන්හ.

3. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ´´මහණෙනි, කරුණු සතරෙකින් යුක්තවූ වචනය සුභාෂිත වෙයි. දුර්භාෂිත නොවෙයි, දොස් නැතිද වෙයි, නුවණැත්තන් විසින් වරද නොකියන ලද්දේද වෙයි. කවර සතරකින්ද යත්,

මහණෙනි, මහණතෙම යහපත් වචනයක්ම කියයිද, අයහපත් වචනයක් නොකියයිද, ධර්‍මයම කියයිද, අධර්‍මයක් නොකියයිද, ප්‍රිය වූවක්ම කියයිද, අප්‍රිය වූවක් නොකියයිද, සත්‍යයක්ම කියයිද, අසත්‍යයක් නොකියයිද, මහණෙනි, මේ අංග සතරෙන් සමන්විත වචනය සුභාෂිත වෙයි. දුර්භාෂිත නොවෙයි, දොස් නැතිද වෙයි, නුවණැත්තන් විසින් වරද නොකියන ලද්දේද වෙයි.´´

4. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ශාස්තෘවූ සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත මේ (ගාථාවන් ) වදාළසේක:

´´(බුද්ධාදී) සත්පුරුෂයෝ උතුම් සුභාෂිතයක්ම කියත්. දැහැමිවූවක්ම කියන්නේය. දැහැමි නොවූවක් නොකියන්නේය. එය දෙවෙනි අඞ්ගයයි. ප්‍රියවූවක්ම කියන්නේය, අප්‍රියවූවක් නොකියන්නේය. එය තුන්වෙනි අඞ්ගයයි. සත්‍යයක්ම කියන්නේය, බොරු නොකියන්නේය. එය සතරවෙනි අඞ්ගයයි.´´

5. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අසුනෙන් නැගිට සිවුර ඒකාංශ කොට පොරවා භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ මෙය කීය: ´´ භාග්‍යවතුන් වහන්ස, මට ( කරුණක් ) වැටහෙයි. සුගතයන් වහන්ස, මට වැටහෙයි.´´

6. ´´වඞ්ගීස, තට වැටහේවා, ( ඒ කියව )´´ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

7. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සුදුසු ගාථායෙන් ස්තූති කෙළේය:

´´යම් වචනයක් කරණකොට තමාත් නොතැවෙන්නේද, අනුනුත් නොවෙහෙසෙන්නේද, ඒ මානය ඒකාන්තයෙන් සුභාෂිත නම් වේ. එබඳු වචනම කියන්නේය.

´´යම් වචනයක් ප්‍රියද ඒ ප්‍රිය වචනයම කියන්නේය,යම් හෙයකින් ඒ ලාමක වචන නොගෙන ප්‍රිය බස්ම අනුන්ට කියන්නේය.

´´සත්‍ය වචනය ඒකාන්තයෙන් අමෘත වචනයයි. මේ පුරාණ සිරිතයි. සත්පුරුෂයෝ සත්‍යයෙහිද, තමන්ට හා අනුන්ට අප්‍රිය සහිතද, උභයාත්‍ර්‍ථයෙහිද, ධර්‍මයෙහිද පිහිටියෝයයි කියත්.

´´බුදුරජාණන් වහන්සේ නිවන් පැමිණීම පිණිස, දුක් කෙළවර කිරීම පිණිස, නිර්භයව හේතුවූ යම් බසක් වදාරත්ද ඒ වචනය ( සියලු ) වචනයන් අතුරෙන් ඒකාන්තයෙන් උතුම් වේ.