1. නිකඛන්ත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අලව් නුවර අග්ගාළව චෛත්‍යයෙහි නිග්‍රොධමූලයෙහි වෙසෙන ස්වකීය උපාධ්‍යාය කප්ප තෙරුන් සමග වෙසෙයි.

2. එකල වනාහි ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අලුත පැවිදිවූයේ විහාරය රක්නා පිණිස නවතා යන ලද නවකයෙක් ( අලුත් පැවිද්දෙක් ) විය.

3. ඉක්බිති බොහෝ ස්ත්‍රීහු සැරසීගෙන විහාරය බලනු කැමැත්තාහු ආරාමයට පැමිණියහ.

4. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසයන්ට ඒ ස්ත්‍රීන් දැක අනභිරතිය ( කුසල් කිරීමෙහි නොකැමැත්ත ) උපන. රාගය ඔහුගේ කුසල් සිත නැසීය.

5. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසයන්ට මෙබඳු සිතෙක් විය: යම්බඳුවූ මට නොකැමැත්ත උපදීද, රාගය තෙමේ ( මාගේ ) කුසල චිත්තය නැසීද, එබඳුවූ මට ඒකාන්තයෙන් අලාභයෙක්ම විය. මට ඒකාන්තයෙන් ලාභයෙක් නම් නොවීය. මා විසින් ඒකාන්තයෙන් නපුරක්ම ලබනලද. ඒකාන්තයෙන් යහපතක්නම් නොලද්දේය. අන්‍යයෙක් මාගේ නොඇල්ම දුරුකොට ඇල්ම උපදවන්නේය යන්නක් කොයින් ලැබිය හැකිද? යම් හෙයකින් මමම මාගේ නොඇල්ම දුරුකොට ඇල්ම උපදවම් නම් ඒ ඉතා මැනව´´ ( කියායි. )

6. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම තමාම තමාගේ නොඇල්ම දුරුකොට ඇල්ම උපදවා ඒ වේලෙහි ගාථාවෙන් මෙසේ කීය:

´´ ගිහිගෙන් නික්මුනාවූ, පැවිද්දට පැමිණියාවූ මා කරා මාරයා වෙතින් නැගුණු බිය සැක නැති ඒ විතර්‍කයෝ ( කල්පනා ) ඒකාන්තයෙන් දිව එති.

´´උතුම් කුලපුත්‍රවූ, මහත් දුනුගත්තාවූ, දුනු ශිල්පයෙහි මොනවට පුහුණුවූ, උත්තම ප්‍රමාණයෙහි අතිවිශාල දුනු දරන්නාවූ, ( නිර්භීත ධනුර්ධරයන් ) දහසක් දෙන ( ඔවුන්ගේ ඊතල ) හාත්පස විසුරුවත්ද,

´´ඒ නමුත් ඊටත් වඩාවූ ස්ත්‍රීන් පැමිණියත් ඔවුහු මා නොපෙළන්නාහුය. මම ස්වකීය ධර්‍මයෙහි පිහිටියේ වෙමි.

´´සූය්‍ර්‍යබන්ධුවූ සර්‍වඥයන් වහන්සේගේ හමුයෙන්ම මේ නිර්‍වාණ ගමන් මාර්‍ගය මා විසින් අසන ලද්දෙමි. එහි මාගේ සිත ඇලුනේවේ.

´´පවිටු මාරය, ඉදින් මෙසේ වාසය කරන්නාවූ මා කරා තෝ පැමිණෙහිද? මා ගිය මගවත් යම්සේ තෝ නොදක්නෙහිද, එසේ කරන්නෙමි.´´