9. මාතුපෝසක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. ඉක්බිති මාතුපොසක බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එකැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාකොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් මාතුපොසක බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´ භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි දැහැමින් ආහාර සොයමි, දිහිමින් ආහාර සොයා මව්පියන් පෝෂණය කරමි. පින්වත් ගෞතමයන් වහන්ස, කිම? මෙසේ කරණ මම යහපත් කටයුතු කරන්නෙක් වෙම්ද?

3. (එවිට භාග්‍යවතුන් වහන්සේ:) ´´ මෙසේ කරන තෝ ඒකාන්තයෙන් යහපත් කටයුතු ඇත්තෙක් වූයෙහිය. බමුණ, යමෙක් දැහැමින් ආහාර සොයයිද, දැහැමින් ආහාර සොයා මව් පියන් පෝෂණය කෙරේද, හෙතෙම බොහෝ පින් රැස් කරයි.

´´යම් මනුෂ්‍යයෙක් මව හෝ පියා හෝ දැහැමින් පෝෂණය කරයිද, මවුපියන් කෙරෙහි ඒ මෙහෙකිරීම හේතුකොට නුවණැත්තෝ ඔහුට මෙලොවද ප්‍රශංසා කරත්. ඔහු මරණින් මතු ස්වර්‍ගයෙහිද ඉපිද සතුටුවේ.´´ යි (වදාළසේක.)

4. මෙසේ වදාළ කළ මාතුපෝසක බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´ පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. ´යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවකුට හෝ මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වා´ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්‍රකාශකරන ලද්දේය. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත උපාසකයෙකුකොට සලකන සේක්වා.´´