1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වසනසේක.
2. එකල වනාහි එක්තරා භාරවාජගෝත්‍රික බමුණෙකුගේ අතවැසියන්වූ බොහෝ කට්ඨහාරක නම් මානවකයෝ, වනලැහැබ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, ඒ වනලැහැබ්හි පර්‍යඞ්කයක් බැඳ, කය ඎජුව තබා, සිහිය ඉදිරියට එළවා යුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහු.
3. දැක භාරවාජගෝත්‍රික බමුණා යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාරවාජගෝත්‍රික බමුණාට මෙය කීය: ´´ අසුවල් වනලැහැබ්හි ශ්‍රමණයෙක් පළක්බැඳ, කය ඎජුව තබා, සිහිය ඉදිරියෙහි එළවා හුන්නේයයි පින්වත්වූ ඔබ දන්නෙහිද?´´
4. ඉක්බිති භාරවාජගෝත්‍රික බමුණුතෙම ඒ මානවකයන් සමග ඒ වනලැහැබ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ ඒ වනලැහැබ්හි පළක් බැඳ කය ඎජුව තබා, සිහිය ඉදිරියෙහි එළවා වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් මෙසේ කීය:
´´මහණ, ඔබ ( මිනිස් වාසයෙන් ) තොරවූ, ජනයන්ගෙන් හිස්වූ වනයට පැමිණ, ගැඹුරු ස්වභාව ඇති, බොහෝසේ භයංකරවූ මේ වෙනෙහි කම්පා නොවන, නොසැලෙන්නාවූ මනෝඥ ශරීරයකින් යුක්තව, ඉතා යහපත්වූ ධ්‍යාන වඩනසේක.
´´යම් තැනෙක ගී කීම් නැද්ද, යම් තැනෙක වාදනයකුත් නැද්ද, ( එවැනි ) වනයෙහි මුනීන්ද්රයන් වහන්සේ තනිව වන සෙනසුන් ඇසුරුකළසේක්, යම් හෙයකින් තනිවම ප්‍රීතිමත් සිතැතිව වෙනෙහි වාසය කරන්නේද මේ කාරණය පුදුමයක් සේ මට වැටහෙයි.´
´´ලෝකාධිපතියා ( මහා බ්‍රහ්මයා ) හා එක්ව විසීම ඇති බඹලොව පතමින් ඔබ මේ වෙනෙහි වසනසේකැයි මම හඟිමි. ( නොඑසේනම් ) පින්වතුන් වහන්සේ කවර හෙයින් ජනසූන්‍ය වනය ඇසුරුකළසේක්ද? බ්‍රහ්මලෝකයට පැමිණීම පිණිස මෙහි තපස් කරණසේක්ද?´´
5. ( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ) ´´යම්කිසි තණ්හාවක් හෝ ප්‍රාර්ථනාවක් හෝ නොයෙස් ස්වභාවාරම්මනයන්හිවූ නිතර පවත්නා නොයෙක් ප්‍රකාර තණ්හාවක් හෝ සෙසු කෙලෙස් හෝ වේද, අවිද්‍යාව මුල්ව හටගත් නැවත නැවත පැමිණීම් වශයෙන්වූ ඒ සියලුම ක්ලේශයන් මා විසින් සහමුලින් නසන ලද්දාහ.´´
´´බමුණ, ඒ මම තන්හා රහිත වූයෙම්, තණ්හාව ඇසුරු නොකළෙම්, තෘෂ්ණා කරා නොඑළඹෙන්නෙම්, සියලු ධර්මයන්හි පිරිසිදු දැකුම් ඇත්තෙම්, බමුණ, ඒ ඊට වඩා උතුම් දෙයක් නැති, ශාන්තවූ සම්බෝධියට පැමිණ, පහවූ භය ඇත්තෙම් තනිව ධ්‍යානයෙහි යෙදී සිටිමි.´´
6. මෙසේ වදාළකල භාරවාජගෝත්‍රික බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවකුට හෝ මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වා´ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්‍රකාශකරන ලද්දේය. භාග්‍යවතුන්වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගිය උපාසකයෙකුසේ සලකන සේක්වා.´´