1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට එක්තරා වනලැහැබෙක වසනසේක.
2. එකල වනාහි නවකම්මිකභාරවාජ බමුණුතෙම ඒ වනලැහැබෙහි කර්මාන්ත කරවයි. එක්තරා සල් රුකක් මුල පළක් බැඳ ශරීරය ඎජුව පිහිටුවා සිහිය ඉදිරියට එළවා හුන් භාග්‍යවතුන් වහන්සේ නවකම්මිකභාරවාජ බමුණුතෙම දිටීය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය: ´ මම මේ වනලැහැබෙහි කර්මාන්ත කරවමින් සතුටුවෙමි. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කුමක් කරවමින් සතුටුවනසේක්ද?
3. ඉක්බිති නවකම්මිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් ( මෙසේ ) කීය:
´´මහණ, සල් වෙනෙහි නුඹගේ කිනම් කර්මාන්ත කරවනු ලැබෙද්ද? ගෞතමයන් වහන්සේ යම්හෙයකින් මේ වෙනෙහි තනිව සතුට විඳින සේක්ද?´´
4. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ) ´´ මට මේ වෙනෙහි කටයුත්තෙක් නැත. මාගේ (ක්ලේශ ) වනය උදුරා දැමූ මුල් ඇත්තේය. එහෙයින්ම පහවගිය කෙලෙස් කටු ඇත්තේය. ඒ මම කෙලෙස් රහිතව කලකිරීම් පහව ගිය ( රාගාදී ) හුල් ඇත්තෙක්ව, විශේෂයෙන් පහකොට කනිව ප්‍රීතිය විඳිමි.´´
5. මෙසේ වදාළ කළ නවකම්මිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´ පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. ´යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවකුට හෝ මාර්ගය කියන්නේද, ´ඇස් ඇත්තෝ රූප දකිත්වා´ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්‍රකාශකරන ලද්දේය. පින්වත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත් උපාසකයෙකැයි සලකන සේක්වා.´´