1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
2. එකල වනාහි පච්චනීකසාත නම් බමුණු තෙම සැවැත්නුවර වෙසෙයි. ඉක්බිති පච්චනීකසාත බමුණාහට මෙබඳු සිතෙක් විය: ´ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඩ වෙසෙන තැන යම් තැනෙකද එතැනට පැමිණෙම් නම් මැනවි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යමක් යමක් වදාරණසේක් නම් උන්වහන්සේගේ ඒ ඒ දෙයට මම විරුද්ධවාදියෙක් වන්නෙමි.´´
3. එකල භාග්‍යවතුන් වහන්සේ අභ්‍යවකාශයෙහි සක්මන් කරනසේක. ඉක්බිති පච්චනීකසාත බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ සක්මන්කරන භාග්‍යවතුන් වහන්සේට අනුව සක්මන් කරමින් ´´ ශ්‍රමණය, ධර්මය කියව´´ යි කීය.
4. ( එවිට භාග්‍යවතුන් වහන්සේ ) ´´විරුද්ධ දේ කීමෙන් සතුටු වන්නාවූ, ලෝභාදියෙන් කිලිටි සිත් ඇති, එකටෙක කිරීම බහුලකොට ඇතියෙකු විසින් ( තථාගතයන්ගේ ) සුභාෂිත ධර්මය හොඳාකාර නොදත හැක්කේය.
´´ යමෙක් චිත්තය සම්බන්ධ අපුසාදයද, බද්ධ වෛරයද අත්හැර එකට එක කිරීම නැති කරන්නේද, හෙතෙම ඒකාන්තයෙන් සුභාෂිතධර්‍මය අවබෝධ කරන්නේය´´ ( යි වදාළසේක. )
5. මෙසේ වදාළ කළ පච්චනීකසාත බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: ´´ පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. ´´යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවකුට හෝ මාර්ගය කියන්නේද, ´ඇස් ඇත්තෝ රූප දකිත්වා´ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්‍රකාශකරන ලද්දේය. පින්වත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත උපාසකයෙකැයි සලකන සේක්වා.´´