1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. ඉක්බිත් එක්තරා මහත් වස්තුව ඇති බ්‍රාහ්මණයෙක් ජරාවට ගියේ ( දිරුණු වස්ත්‍ර ඇඳගත්තේ) භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවිය යුතු, සිහිකටයුතු, කථාකොට නිමවා එකත්පසෙක යුන්නේය. එකත්පසෙක හුන් ඒ මහාසාර බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: ´´බමුණ, තෝ කුමක් හෙයින් දිරාගියේ දිරාගිය පෙරවීම් ඇත්තෙහිද?´´

3. ´´භවත් ගෞතමයන් වහන්ස, මාගේ පුත්තු සතරදෙනෙක් වෙති. ඔහු භාය්‍ර්‍යාවන්ගේ කීමට ගෙයින් එළවති´´ යි ( කීය. )

4. ´´බමුණ. එසේවීනම් මේ ගාථාවන් ඉගෙන මහජනයා රැස්වූ සභායෙහි පුතුන්ද හුන්කල කියව:

´´ ´මට දාව උපන් යම් කෙනෙකුන් කරණකොට සතුටුවූයෙම්ද, යම් කෙනෙකුන්ගේ අභිවෘද්ධිය පැතූයෙම්ද, ඔවුහු භාය්‍ර්‍යාවන්ගේ කීමට බල්ලෙකු, ඌරෙකු එළවන්නාක් මෙන් මා එළවා දමති.´

´අසත්පුරුෂවූ, ලාමකවූ, රකුසෝ පුත්‍රයන් මෙන් පෙනී සිටිමින් මට ´පියාණනි, පියාණනි´ යි කියත්. ඔවුහු වයසට ගිය මා අත්හරිත්.´

´පරිභෝගයට ( වැඩගැනීමට ) සුදුසු නොවූ, දිරුණු අශ්වයෙක් යම්සේ කෑමෙන් වළකනු ලබන්නේද, බාලයන්ගේ පියවූ මහල්ලා අනුන්ගේ ගෙවල සිඟයි.´

´මේ දණ්ඩම ( සැරයටියම ) මට උතුම්ය. ( ඒ සැරයටිය ) නපුරු ගොනෙකුත් වළක්වයි. තවද නපුරු බල්ලන්ද වළක්වයි.´

´´( ඒ සැරයටිය ) අඳුරෙහි පෙරටුවෙයි. ගැඹුරු ජලයෙහි පිහිට සොයා දෙයි., දණ්ඩෙහි අනුසසින් පැකුළුණු තැනැත්තා නැවත පිහිටා ( කෙළින් ) සිටියි.´ ´´

5. ඉක්බිති මහාසාර බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ගාථාවන් ඉගෙන මහජනයා රැස්වූ සභායෙහි පුතුන්ද හුන්කල කීය:

4. ´´බමුණ. එසේවීනම් මේ ගාථාවන් ඉගෙන මහජනයා රැස්වූ සභායෙහි පුතුන්ද හුන්කල කියව:

´´මට දාව උපන් යම් කෙනෙකුන් කරණකොට සතුටුවූයෙම්ද, යම් කෙනෙකුන්ගේ අභිවෘද්ධිය පැතූයෙම්ද, ඔවුහු භාය්‍ර්‍යාවන්ගේ කීම් ගෙන බල්ලෙකු, ඌරෙකු එළවන්නාක් මෙන් මා එළවති.

´´අසත්පුරුෂවූ, ලාමකවූ, රකුසෝ පුත්‍ර වේශයෙන් සිට මට ´පියාණනි, පියාණනි´ යි කියත්. ඔවුහු වයසට ගිය මා අත්හරිත්.

´´පරිභෝගයට ( වැඩගැනීමට ) නුසුදුසු දිරූ අශ්වයෙක් යම්සේ කෑමෙන් පහකරනු ලබන්නේද, බාලයන්ගේ පියවූ මහල්ලා අනුන්ගේ ගෙවල සිඟයි.

´´අකීකරුවූ මාගේ පුත්‍රයන්ට වඩා ( සැරයටිය ) නපුරු ගොනෙකුත් වළක්වයි. තවද බල්ලෙකුද වළක්වයි. ( ඔවුහු එසේ නොවළහති. )

´´( ඒ සැරයටිය ) අඳුරෙහි පෙරටුවෙයි. ගැඹුරු ජලයෙහි පිහිට (පතුල ) සොයා දෙයි. පැකුළුණු තැනැත්තේ දණ්ඩෙහි ආනුභාවයෙන් නැවත නැගිට සිටියි.´´

6. ඉක්බිති ඒ බමුණු මහසල් පුත්‍රයෝ ගෙට ගෙනගොස් නාවා වෙන වස්ත්‍ර දෙකක් හැන්දවූහ. ඉක්බිති ඒ බ්‍රාහ්මණ මහාසාල තෙම එක් වස්ත්‍ර යුග්මයක් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවිය යුතවූ, සිහිකටයුතුවූ, කථාකොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ඒ බමුණු මහසල් තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´පින්වත් ගෞතමයන් වහන්ස, අපි බමුණම්හ, ආචාය්‍ර්‍යයන්හට ආචාය්‍ර්‍ය ධනය සොයන්නම්හ. මාගේ ආචාය්‍ර්‍යවූ භවත් ගෞතමයන් වහන්සේ ඇදුරු කොටස ( ගුරුවරයාට අයිති කොටස ) පිළිගන්නා සේක්වා.´´ භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා උපදවා පිළිගත්සේක.

ඉක්බිති ඒ බ්‍රාහ්මණ මහාසාල තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වැසුනක් විවෘත කරන්නේ හෝ මංමුළාවකුට මාර්‍ගය කියන්නේ හෝ ´ඇස් ඇත්තෝ රූප දකිත්වා´ යි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය. ඒ ( ඇසූ ) මම භවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මයද සඞ්ඝයාද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා දිවිහිම් කොට සරණ ගිය උපාසකයකු සේ සලකන සේක්වා.´´