1. කසි සූත්‍රය.

1. කසි සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධ දනවියෙහි දක්‍ෂිණාගිරියෙහි එකනාලා බමුණුගම වසනසේක.

2. එකල වනාහි කසීභාරවාජ බමුණා විසින් වපුරන කාලයේ පන්සියයක් පමණ නගුල් යොදන ලද්දේ විය.

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව, පාත්‍ර සිවුරු ගෙන කසීභාරවාජ බමුණාගේ කර්‍මාන්ත ස්ථානය යම් තැනෙකද එතැනට වැඩිසේක.

4. එකල කසීභාරවාජ බමුණාගේ ( අහර ) වැළඳවීමෙක් විය.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ වළඳවන ස්ථානය යම් තැනෙකද එතැනට වැඩිසේක. වැඩ එකත්පසෙක සිටිසේක.

6. කසීභාරවාජ බමුණුතෙම පිඬු පිණිස වැඩ සිටි දිටීය. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´ ශ්‍රමණය, මම් වනාහි ( සී ) සෑමද කරමි. වැපිරීමද කරමි. ( සී ) සෑම කොටද, වැපිරීම කොටද වළඳමි. ශ්‍රමණය, නුඹත් සෑමද කරව, වැපිරීමද කරව. සෑමද කොට වැපිරීමද කොට වළඳව´´ ( යි කීය. )

7. ´´බමුණ, මමත් සෑමද කරමි, වැපිරීමද කරමි. සෑමද කොට වැපිරීම්ද කොට වළඳමි´´ ( යි වදාළසේක. )

8. ´´පින්වත් ගෞතමයන්ගේ වියදණ්ඩක් හෝ නගුලක් හෝ හීවැලක් හෝ කෙවිටක් හෝ ගොනුන් හෝ අපි නොදකිම්හ. එසේ නමුත් භවත් ගෞතමතෙම මෙසේ කියයි: ´ බමුණ, මමත් සෑමද කරමි, වැපිරීමද කරමි. සෑමද කොට වැපිරීම්ද කොට වළඳමි´´

9. ඉක්බිති කසීභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවක් කීය:

´´ ´ගොවියෙක්මි´ යි ඔබ ප්‍රතිඥා කරන්නෙහිය. ඔබගේ ( සී ) සෑමක් නොදක්නෙමි. අප විසින් විචාරන ලද ඔබ ගොවියෙක් දැයි කියව, ඔබගේ සීය කෙසේ දැන ගන්නෙමුද?´´

10. ශ්‍රද්ධාව මගේ බීජය වෙයි. තපස වැස්සය, ප්‍රඥාව මගේ සීයට වියගහ හා නගුලය. ලජ්ජාව ( හා භය ) ද මාගේ නගුල් කඳය. සමාධිය රැහැන් හෙවත් ලණුය. මාගේ සිහිය සීවැල හා කෙවිටය.

´´කාය සුචරිතයෙන්, වාක් සුචරිතයෙන් රක්නා ලද්දේ වෙයි. ආහාරයෙහි ගන්නා ලද සංවර නමැති ගවයා වූයෙම්, උදරයෙහි සංවර වූයෙම් සත්‍යයෙන් නෙලීම කෙරෙමි. අර්හත් ඵල විමුක්තිය මාගේ (සීසෑමෙන් ) මිදීමයි.

´´බර ඉසිලීමට සමර්‍ථවූ මාගේ වීය්‍ර්‍යය නිර්‍වාණයට අභිමුඛව ගමන්කරමින් යම් තැනකට පැමිණ ශෝක නොකරන්නේද, එතැනට නොනවතිමින් යෙයි.´´

´´මෙසේ මේ සීය සාන ලදී. ඒ සීය අමෘත ඵල ඇතිවේ. මේ සීය සා, සකල සංසාර දුඃඛයෙන් මිදේ.´´

11. ´´පින්වත් ගෞතමතෙම වළඳාවා. පින්වත් ගෞතමතෙම ගොවියෙක්නම් වෙයි. යම් හෙයකින් අමා ඵල දෙන්නාවූ යම්බඳු සීයක් පින්වත් ගෞතමතෙම සායිද, එහෙයිනි´´ යි ( කීය. )

12. ´´බමුණ, මා ගාථා කියා ලත් කිරිබත් වැළඳියයුතු නොවේ. ( අර්‍ථධර්‍මයන් ) අර්‍ථ ධර්‍ම දෙක දන්නාවූ ( සර්‍වඥවරයන්ගේ ) මේ ( ගාථා කියා ලද දෙය වැළඳීම ) සිරිතක් නොවේ. බුදුවරයෝ ගාථා කියා ලැබූ භෝජනය බැහැර කෙරෙත්. බමුණ, ධර්‍මය පවත්නා කල, මේ ඔවුන්ගේ පැවැත්මයි.

´´සියලු ගුණයෙන් යුතු මහාර්ෂිවූ, සන්සුන් පසුතැවීම් ඇති, රහතන් වහන්සේ අන්‍යවූ ආහාරයකින් පානයකින් උපස්ථානකරව. ඔහු වනාහි පින් කැමැත්තාහට කෙතක්වේ.´´ ( යි වදාළසේක. )

13. මෙසේ වදාළ කල්හි කසීභාරවාජ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, යටිකුරු කරන ලද්දක් හෝ උඩුකුරු කරන්නේ හෝ වැසුනක් විවෘත කරන්නේ හෝ මංමුළාවූවකුට මාර්‍ගය කියන්නේ හෝ ´ ඇස් ඇත්තෝ රූප දකිත්වා´ යි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය. ඒ ( ඇසූ ) මම භවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මයද, සංඝයාද සරණකොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි කෙළවරකොට සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා.´´