11. සඞ්ගාරව සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල වනාහි සඞගාරව බමුණුතෙම සැවැත් නුවර වෙසෙයි. ( හෙතෙම ) ජලයෙන් ශූද්ධිය ඇත්තේයයි සලකන්නේ ජලයෙන් ශූද්ධිය පතයි. සවස හා උදේ ( උදේ සවස ) ජලයට බැසීමෙහි මහත්සේ යෙදී වෙසෙයි.

3. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම පෙරවරුයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරුගෙන සැවැත් නුවරට පිණ්ඩපාතය පිණිස පිවිසියේය. පිඬු පිණිස හැසිර බතින් පසු පෙරලා පිටත්වූයේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය.. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´ස්වාමීනි, මෙහි සඞගාරව නම් බමුණුතෙම සැවැත් නුවර වෙසෙයි. ( ඔහු ) ජලයෙන් ශූද්ධිය ඇත්තේයයි සිතා ජලයෙහි ශූද්ධිය පතයි. උදේ හා සවස ජලයට බැසීමෙහි යෙදුනේව වෙසෙයි. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සඞගාරව බමුණාගේ නිවෙසට ඔහුට අනුකම්පා උපදවා පැමිණෙන සේක් නම් මැනව,´´ භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව ඉවසා වදාළසේක.

4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන සඞගාරව බමුණාගේ නිවෙස යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ පැනවූ අස්නෙහි වැඩහුන් සේක.

5. ඉක්බිති සඞගාරව බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවිය යුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් සඞගාරව බමුණාහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: ´´ බමුණ, නුඹ ජලයෙන් ශුද්ධිය ඇතිසේ සිතන්නේ ජලායන් ශුද්ධිය පතයිලු, සවස හා උදේ ජලයට බැසීමෙහි යෙදුනේව වෙසේලු, ඒ සැබෑද?´´

6. ´´පින්වත් ගෞතමයන් වහන්ස, ඒ එසේය.´´

7. ´´බමුණ, නුඹ කවර අර්‍ථයක් දකිමින් ජලයෙන් ශුද්ධිය ඇත්තේයයි සිතා ජලයෙන් ශුද්ධිය පතයිද? සවස හා උදේ දියට බැසීමෙහි අනුයුක්තව වෙසේද?´´

8. ´´භවත් ගෞතමයන් වහන්ස, මෙහි මා විසින් දවල් යම් පව් කමෙක් කරන ලද්දේ වේද, එය සවස නෑමෙන් පාකර හරිමි. රාත්‍රියෙහි යම් පව් කමෙක් කරන ලද්දේද, එය උදෑසන නෑමෙන් පාකර හරිමි. භවත් ගෞතමයන් වහන්ස, මම මේ ප්‍රයෝජනය දකිමින් ජලයෙන් ශුද්ධි ඇත්තේයයි සිතා දියෙන් ශුද්ධිය පතමි. සවස හා උදේ දියට බැසීමෙහි නැවත නැවත යෙදී වෙසෙමි.´´

9. ´´බමුණ, ධර්‍මය ගැඹුරු ජලාසයවේ. ශීලය තොටවේ. එය විශේෂයෙන් ප්‍රසන්නය. සාධූන් විසින් හැම කල්හි පසස්නා ලදී. යම් ධර්‍ම ජලාසයක ස්නානය කළ ඥානවන්තයෝ ( ආය්‍ර්‍යයෝ ) වෙත්ද, ඔවුහු නොතෙත්වූ සිරුරු ඇත්තෝවම ( නිර්‍වාණ ) පරතෙරට ඒකාන්තයෙන් යෙත්.´´

10. මෙසේ වදාළ කල සඞ්ගාරව බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´භවත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයෙන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයෙන් වහන්ස, යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වැසුනක් විවෘත කරන්නේ හෝ මංමුළාවකුට මාර්‍ගය කියන්නේ හෝ ´ඇස් ඇත්තෝ රූප දකිත්වා´ යි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය. ඒ ( ඇසූ ) මම භවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මයද සඞ්ඝයාද සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි කෙළවර කොට සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා.´´ භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයෙකු කොට සලකන සේක්වා.´´

10. භික්ඛක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. ඉක්බිති භික්ඛක ( සිඟීමෙන් ජීවත්වන ) බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එකැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවියයුතු කථා, සිහිකටයුතු කථා කොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් භික්ඛක බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´මම ආහාර සිඟන්නෙක් වෙමි. පින්වත්වූ ඔබද, ආහාර සිඟන්නෙක් වෙහිය, මෙහි අපගේ කවරනම් වෙනසක් වේද?´´

3. ´´යම් පමණෙකින් අනුන් ( ගෙන් ) සිඟාද, එපමණෙකින් ( ඒ තැනැත්තා ) භික්‍ෂු නම් නොවේ. අකුසලධර්‍මය සමාදන්වීම පමණකිනුදු භික්‍ෂු නම් නොවේ.

´´මේ ලෝකයෙහි යමෙක් කුසලයද, අකුසලයද පහකොට, බ්‍රහ්මචය්‍ර්‍යාව ඇත්තේ, නුවනින් දැන ලොව හැසිරේද, එබඳු තැනැත්තා ඒකාන්තයෙන් භික්‍ෂූයයි කියනු ලැබේ.´´

4. මෙසේ වදාළ කල භික්ඛක බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´භවත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයෙන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයෙන් වහන්ස, යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වැසුනක් විවෘත කරන්නේ හෝ මංමුළාවකුට මාර්‍ගය කියන්නේ හෝ ´ඇස් ඇත්තෝ රූප දකිත්වා´ යි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය. ඒ ( ඇසූ ) මම භවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මයද සඞ්ඝයාද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි කෙළවර කොට සරණ ගිය උපාසකයකු කොට සලකන සේක්වා.´´ මා අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයකු කොට භාග්‍යවතුන් වහන්සේ සලකන සේක්වා.´´

9. මාතුපෝසක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. ඉක්බිති මාතුපොසක බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එකැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාකොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් මාතුපොසක බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´ භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි දැහැමින් ආහාර සොයමි, දිහිමින් ආහාර සොයා මව්පියන් පෝෂණය කරමි. පින්වත් ගෞතමයන් වහන්ස, කිම? මෙසේ කරණ මම යහපත් කටයුතු කරන්නෙක් වෙම්ද?

3. (එවිට භාග්‍යවතුන් වහන්සේ:) ´´ මෙසේ කරන තෝ ඒකාන්තයෙන් යහපත් කටයුතු ඇත්තෙක් වූයෙහිය. බමුණ, යමෙක් දැහැමින් ආහාර සොයයිද, දැහැමින් ආහාර සොයා මව් පියන් පෝෂණය කෙරේද, හෙතෙම බොහෝ පින් රැස් කරයි.

´´යම් මනුෂ්‍යයෙක් මව හෝ පියා හෝ දැහැමින් පෝෂණය කරයිද, මවුපියන් කෙරෙහි ඒ මෙහෙකිරීම හේතුකොට නුවණැත්තෝ ඔහුට මෙලොවද ප්‍රශංසා කරත්. ඔහු මරණින් මතු ස්වර්‍ගයෙහිද ඉපිද සතුටුවේ.´´ යි (වදාළසේක.)

4. මෙසේ වදාළ කළ මාතුපෝසක බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´ පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. ´යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවකුට හෝ මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වා´ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්‍රකාශකරන ලද්දේය. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත උපාසකයෙකුකොට සලකන සේක්වා.´´

8. කට්ඨහාර සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වසනසේක.

2. එකල වනාහි එක්තරා භාරවාජගෝත්‍රික බමුණෙකුගේ අතවැසියන්වූ බොහෝ කට්ඨහාරක නම් මානවකයෝ, වනලැහැබ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, ඒ වනලැහැබ්හි පර්‍යඞ්කයක් බැඳ, කය ඎජුව තබා, සිහිය ඉදිරියට එළවා යුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහු.

3. දැක භාරවාජගෝත්‍රික බමුණා යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාරවාජගෝත්‍රික බමුණාට මෙය කීය: ´´ අසුවල් වනලැහැබ්හි ශ්‍රමණයෙක් පළක්බැඳ, කය ඎජුව තබා, සිහිය ඉදිරියෙහි එළවා හුන්නේයයි පින්වත්වූ ඔබ දන්නෙහිද?´´

4. ඉක්බිති භාරවාජගෝත්‍රික බමුණුතෙම ඒ මානවකයන් සමග ඒ වනලැහැබ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ ඒ වනලැහැබ්හි පළක් බැඳ කය ඎජුව තබා, සිහිය ඉදිරියෙහි එළවා වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් මෙසේ කීය:

´´මහණ, ඔබ ( මිනිස් වාසයෙන් ) තොරවූ, ජනයන්ගෙන් හිස්වූ වනයට පැමිණ, ගැඹුරු ස්වභාව ඇති, බොහෝසේ භයංකරවූ මේ වෙනෙහි කම්පා නොවන, නොසැලෙන්නාවූ මනෝඥ ශරීරයකින් යුක්තව, ඉතා යහපත්වූ ධ්‍යාන වඩනසේක.

´´යම් තැනෙක ගී කීම් නැද්ද, යම් තැනෙක වාදනයකුත් නැද්ද, ( එවැනි ) වනයෙහි මුනීන්‍ද්‍රයන් වහන්සේ තනිව වන සෙනසුන් ඇසුරුකළසේක්, යම් හෙයකින් තනිවම ප්‍රීතිමත් සිතැතිව වෙනෙහි වාසය කරන්නේද මේ කාරණය පුදුමයක් සේ මට වැටහෙයි.´

´´ලෝකාධිපතියා ( මහා බ්‍රහ්මයා ) හා එක්ව විසීම ඇති බඹලොව පතමින් ඔබ මේ වෙනෙහි වසනසේකැයි මම හඟිමි. ( නොඑසේනම් ) පින්වතුන් වහන්සේ කවර හෙයින් ජනසූන්‍ය වනය ඇසුරුකළසේක්ද? බ්‍රහ්මලෝකයට පැමිණීම පිණිස මෙහි තපස් කරණසේක්ද?´´

5. ( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ) ´´යම්කිසි තණ්හාවක් හෝ ප්‍රාර්ථනාවක් හෝ නොයෙස් ස්වභාවාරම්මනයන්හිවූ නිතර පවත්නා නොයෙක් ප්‍රකාර තණ්හාවක් හෝ සෙසු කෙලෙස් හෝ වේද, අවිද්‍යාව මුල්ව හටගත් නැවත නැවත පැමිණීම් වශයෙන්වූ ඒ සියලුම ක්ලේශයන් මා විසින් සහමුලින් නසන ලද්දාහ.´´

´´බමුණ, ඒ මම තන්හා රහිත වූයෙම්, තණ්හාව ඇසුරු නොකළෙම්, තෘෂ්ණා කරා නොඑළඹෙන්නෙම්, සියලු ධර්‍මයන්හි පිරිසිදු දැකුම් ඇත්තෙම්, බමුණ, ඒ ඊට වඩා උතුම් දෙයක් නැති, ශාන්තවූ සම්බෝධියට පැමිණ, පහවූ භය ඇත්තෙම් තනිව ධ්‍යානයෙහි යෙදී සිටිමි.´´

6. මෙසේ වදාළකල භාරවාජගෝත්‍රික බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවකුට හෝ මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වා´ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශකරන ලද්දේය. භාග්‍යවතුන්වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගිය උපාසකයෙකුසේ සලකන සේක්වා.´´

7. නවකම්මික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට එක්තරා වනලැහැබෙක වසනසේක.

2. එකල වනාහි නවකම්මිකභාරවාජ බමුණුතෙම ඒ වනලැහැබෙහි කර්‍මාන්ත කරවයි. එක්තරා සල් රුකක් මුල පළක් බැඳ ශරීරය ඎජුව පිහිටුවා සිහිය ඉදිරියට එළවා හුන් භාග්‍යවතුන් වහන්සේ නවකම්මිකභාරවාජ බමුණුතෙම දිටීය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය: ´ මම මේ වනලැහැබෙහි කර්‍මාන්ත කරවමින් සතුටුවෙමි. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කුමක් කරවමින් සතුටුවනසේක්ද?

3. ඉක්බිති නවකම්මිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් ( මෙසේ ) කීය:

´´මහණ, සල් වෙනෙහි නුඹගේ කිනම් කර්‍මාන්ත කරවනු ලැබෙද්ද? ගෞතමයන් වහන්සේ යම්හෙයකින් මේ වෙනෙහි තනිව සතුට විඳින සේක්ද?´´

4. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ) ´´ මට මේ වෙනෙහි කටයුත්තෙක් නැත. මාගේ (ක්ලේශ ) වනය උදුරා දැමූ මුල් ඇත්තේය. එහෙයින්ම පහවගිය කෙලෙස් කටු ඇත්තේය. ඒ මම කෙලෙස් රහිතව කලකිරීම් පහව ගිය ( රාගාදී ) හුල් ඇත්තෙක්ව, විශේෂයෙන් පහකොට කනිව ප්‍රීතිය විඳිමි.´´

5. මෙසේ වදාළ කළ නවකම්මිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´ පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. ´යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවකුට හෝ මාර්‍ගය කියන්නේද, ´ඇස් ඇත්තෝ රූප දකිත්වා´ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්‍රකාශකරන ලද්දේය. පින්වත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත් උපාසකයෙකැයි සලකන සේක්වා.´´

6. පච්චනීක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල වනාහි පච්චනීකසාත නම් බමුණු තෙම සැවැත්නුවර වෙසෙයි. ඉක්බිති පච්චනීකසාත බමුණාහට මෙබඳු සිතෙක් විය: ´ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඩ වෙසෙන තැන යම් තැනෙකද එතැනට පැමිණෙම් නම් මැනවි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යමක් යමක් වදාරණසේක් නම් උන්වහන්සේගේ ඒ ඒ දෙයට මම විරුද්ධවාදියෙක් වන්නෙමි.´´

3. එකල භාග්‍යවතුන් වහන්සේ අභ්‍යවකාශයෙහි සක්මන් කරනසේක. ඉක්බිති පච්චනීකසාත බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ සක්මන්කරන භාග්‍යවතුන් වහන්සේට අනුව සක්මන් කරමින් ´´ ශ්‍රමණය, ධර්‍මය කියව´´ යි කීය.

4. ( එවිට භාග්‍යවතුන් වහන්සේ ) ´´විරුද්ධ දේ කීමෙන් සතුටු වන්නාවූ, ලෝභාදියෙන් කිලිටි සිත් ඇති, එකටෙක කිරීම බහුලකොට ඇතියෙකු විසින් ( තථාගතයන්ගේ ) සුභාෂිත ධර්‍මය හොඳාකාර නොදත හැක්කේය.

´´ යමෙක් චිත්තය සම්බන්‍ධ අපුසාදයද, බද්ධ වෛරයද අත්හැර එකට එක කිරීම නැති කරන්නේද, හෙතෙම ඒකාන්තයෙන් සුභාෂිතධර්‍මය අවබෝධ කරන්නේය´´ ( යි වදාළසේක. )

5. මෙසේ වදාළ කළ පච්චනීකසාත බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: ´´ පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. ´´යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවකුට හෝ මාර්‍ගය කියන්නේද, ´ඇස් ඇත්තෝ රූප දකිත්වා´ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශකරන ලද්දේය. පින්වත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත උපාසකයෙකැයි සලකන සේක්වා.´´

5. මානත්‍ථද්ධ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල වනාහි මානත්‍ථද්ධ නම් බමුණෙක් සැවැත්නුවර වෙසෙයි. හෙතෙම මව් නොවඳී. පියා නොවඳී. ආචාරීන් නොවඳී. වැඩිමහල් සහෝදරයා නොවඳී.

3. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහ පිරිසක් විසින් පිරිවරන ලදුව ධර්‍මදේශනා කරනසේක. ඉක්බිති මානත්‍ථද්ධ බමුණාට මෙබඳු සිතෙක් විය: ´´ මේ ශ්‍රමණ ගෞතම තෙම මහ පිරිසක් පිරිවරන ලදුව ධර්‍මදේශනා කරනසේක. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිනෙම්නම් ඒ යෙහෙක. ඉදින් මට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කථා කළසේක් නම් මමත් උන්වහන්සේට කථාකරමි. ඉදින් කථා නොකළසේක් නම් මමත් කථා නොකරමි´´ කියායි.

4. ඉක්බිති මානත්‍ථද්ධ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ නිශ්ශබ්දව එකත්පසෙක සිටියේය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට කිසිත් නොවදාළසේක. ඉක්බිති මානත්‍ථද්ධ බමුණුතෙම ´මේ ශ්‍රමණ ගෞතමයා කිසිවක් නොදන්නේය´ යි එතැනින්ම නැවත පෙරළා එනු කැමැත්තේ විය.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මානත්‍ථද්ධ බමුණාගේ සිත තම සිතින් පිරිසිඳ දැන මානත්‍ථද්ධ බමුණාහට ගාථාවක් වදාළසේක:

´´බමුණ, මෙලොව වැඩ කැමති ජනයාට මානය නොමැනවි. යම් අර්‍ථයක් කරණකොට ආයෙහිනම් එයම ප්‍රකාශ කරන්න.´´

6. ඉක්බිති මානත්‍ථද්ධ බමුණුතෙම ´මාගේ සිත ශ්‍රමණ ගෞතම තෙම දනී´ යි එතැන්හිම භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුවින් සිඹී, අතින් පිරිමදී, තමාගේ නමද ප්‍රකාශ කරයි. ´´ භවත් ගෞතමයන් වහන්ස, මම මානත්‍ථද්ධ නමි, පින්වත් ගෞතමයන් වහන්ස, මම මානත්‍ථද්ධ නමි,´´ යි කියායි.

7. ඉක්බිති ඒ පිරිස අද්භූත සිත් ඇතිව ´´පින්වත් ගෞතමයන් වහන්ස, පුදුමයෙකි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා පුදුමයෙකි. මේ මානත්‍ථද්ධ බමුණුතෙම මව් නොවඳී. පියාත් නොවඳී. ආචාය්‍ර්‍යයන්ද නොවඳී. වැඩිමහල් සොහොයුරා නොවඳී. එසේද වුව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි මෙබඳුවූ මහත්ම ගෞරවයක් කරයි´´ (කියායි. )

8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මානත්‍ථද්ධ බමුණාහට මෙය වදාළසේක: බමුණ, ( දැන් ) ඇත. නැගිටිනු. ස්වකීය ආසනයෙහි හිඳිනු. යම් හේතුවකින් මා කෙරෙහි තාගේ සිත පැහැදුනේද එහෙයිනි.´´

9. ඉක්බිති මානත්‍ථද්ධ බමුණුතෙම සිය අසුනෙහි හිඳ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:

´´කවුරුන් කෙරෙහි මානය නොකරන්නේද? කවුරුන් කෙරෙහි ගෞරව සහිතයෙක් වන්නේද? කවරෙක් ( මා ) විසින් පිදිය යුත්තාහුද? කවරෙක් මනාකොට පිදිය යුත්තෝ වෙත්ද?´´

10. ( එවිට භාග්‍යවතුන් වහන්සේ ) ´´මවු කෙරෙහිද, පියා කෙරෙහිද, තවද වැඩිමහල් සහෝදරයා කෙරෙහිද, සිව්වැනිව ගුරුවරයා කෙරෙහිදැයි යන මොවුන් කෙරෙහි මානය නොකරන්නේය. ඔවුන් කෙරෙහි ගෞරව සහිතයෙක් වන්නේය. ඔහු මේ පුද්ගලයාගේ ගෞරවයට සුදුසු වන්නෝය. ඔහු යහපත්කොට පිදියයුත්තෝ වෙති.

´´සිහිල්වූ, කළාවූ කටයුතු ඇති, ( කාමාදී ) ආශ්‍රව කෙලෙස් නැති, අනුත්තරවූ ඒ රහතුන් (මානයෙන්) තද නොවී මානය සම්පූර්‍ණයෙන් නසා, නමදුව´´ (යි වදාළසේක. )

11. මෙසේ වදාළ සඳ මානත්‍ථද්ධ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: ´´භවත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයෙනි, ඉතා මැනවි. යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වැසුනක් විවෘත කරන්නේ හෝ මංමුළාවකුට මාර්‍ගය කියන්නේ හෝ ´ඇස් ඇත්තෝ රූප දකිත්වා´ යි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය. ඒ ( ඇසූ ) මම භවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මයද සඞ්ඝයාද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත උපාසකයෙකැයි සලකන සේක්වා.´´