9. සුන්‍දරික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි සුන්‍දරිකා නදී තෙර වැඩවසනසේක.

2. එකල සුන්‍දරිකභාරවාජ බමුණුතෙම සුන්‍දරිකා නදී තෙර ගිනි දෙවියා පුදයි. ගිනි දෙවියා පිදීම සේවනයකරයි.

3. ඉක්බිති සුන්‍දරිකභාරවාජ බමුණුතෙම ගිනි පුදා ගිනි පිදීමෙහි හැසිර හුනස්නෙන් නැගිට ´කවරෙක් මේ ගිනි පුදා ඉතිරි කිරිබත වළඳන්නට සුදුසු වන්නේදැ´ යි හාත්පස සිව්දිග පිළිවෙළින් බැලීය.

4. සුන්‍දරිකභාරවාජ බමුණුතෙම හිස සිට පොරොවාගෙන එක්තරා රුකක් මුල හුන් භාග්‍යවතුන් වහන්සේ දිටීය. දැක, වම් අතින් ගිනි පුදා ඉතිරි කිරිබත ගෙන දකුණතින් කෙණඩිය ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුන්‍දරිකභාරවාජ බමුණාගේ පා ශබ්දයෙන් හිස විවෘතකළසේක.

6. ඉක්බිති සුන්‍දරික බමුණුතෙම ´ මේ තැනැත්තේ නීචයෙක, එසේම මුඩු හිස ඇත්තෙකැ´ යි එතැනින්ම ((වහාම ) ආපසු යනු කැමැත්තේ විය.

7. ඉක්බිති සුන්‍දරිකභාරවාජ බමුණාට මෙබඳු සිතෙක් විය: ´ මෙලොව මුඩු කළ හිස් ඇති බමුණෝද වෙත්. මම ඔහු වෙත පැමිණ, ( ඔහුගේ ) ජාතිය විචාරම් නම් මැනව. ´

8. ඉක්බිති සුන්‍දරිකභාරවාජ බමුණා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, ´පින්වත් තෙම කිනම් ජාති ඇත්තේදැ´ යි ඇසීය.

9. ´´ ජාතිය නොවිචාරව, ( ශීලාදී ගුණ ඇති ) චරණයම විචාරව. ඒකාන්තයෙන් ( දරින් ) ගිනි හටගනී. නීච කුලයෙහි උපන් පුද්ගල තෙමේද, වීය්‍ර්‍යවත් වූයේ, කාරණාකාරණා දන්නේ, ලජ්ජාවෙන් පව් වළක්වා රහත් මුනිවරයෙක් වෙයි.

´´යමෙක් පරමාර්‍ථ සත්‍යයෙන් දැමුනේද, ඉන්‍ද්‍රිය දමනයෙන් යුක්තද, සතරමාර්‍ග වේදයන්ගේ කෙළ පැමිණියේද, වැස නිමවූ මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව ඇත්තේද, එබඳු රහතන් වහන්සේ වෙත පිළියෙළකළ යාග ඇතිව සුදුසු කල පැමිණ යාගය පිළිගත මැනවයි ආරාධනා කළ යුතුයි. හෙතෙම දීමට සුදුස්සා කෙරෙහි යාග කෙරේ.´´

10. යම් හෙයකින් එබඳු ගුණ ඇති, වේද කෙළවරට පැමිණි තථාගතයකු මම දකිම්ද, එහෙයින් මා විසින් මේ යාගය ඒකාන්තයෙන් යහපත්ව කරන ලද්දේ වෙයි. යහපත්සේ හෝම කරන ලදද වෙයි. නුඹ වහන්සේ වැන්නවුන් නොදක්නා හෙයින්ම අන්‍ය අඥාන ජනතෙම යාගයෙන් ඉතිරි කොටස අනුභව කරයි.´´

´´පින්වත් ගෞතමයන් වහන්සේ ( මේ ) වළඳාවා´. පින්වත් තෙම ( නියම ) බමුණෙක.´´

11. ´´බමුණ, ගාථා කියා ලත් කිරිබත ම විසින් නොවැළඳිය යුතුයි. මේ ගාථා කියා ලද දෙය වැළඳීම අර්‍ථ ධර්‍මයන් දන්නාවුන්ගේ සිරිතක් නොවේ. තථාගතයෝ ගාථා කියා ලත් භෝජනය බැහැර කෙරෙත්. බමුණ, ධර්‍මය ඇති කල්හි මේ ආය්‍ර්‍යයන්ගේ පැවැත්මයි.

´´සියලු ගුණයෙන් යුතු, මහර්ෂීවූ, ක්‍ෂයකළ සියලු කෙලෙස් ඇති, සන්සුන් සියලු පසුතැවීම් ඇති, රහතන් වෙත ගොස්, මෙයින් අන්‍යවූ ආහාරයෙන්ද පානයෙන්ද උපස්ථානකරව. ඒ ආය්‍ර්‍ය සමූහයා පින් කැමැත්තෝහට පින් කෙතක් වේ.´´

12. ´´එසේනම් පින්වත් ගෞතමයන් වහන්ස, කාහට මේ යාගයෙන් ඉතිරි කොටස දෙම්ද?´´

13. ´´බ්‍රාහ්මණය, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත, දෙව් මිනිසුන් සහිත, ප්‍රජා සංඛ්‍යාත ලෝකයෙහි යමකු මේ යාගයෙන් ඉතිරි කොටස වැළඳුයේ, මනාව දිරීමට යන්නේද, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ හැර එබඳු වූවකු නොදකිමි. ඒ නිසා බමුණ, එය තණ නැති බිමක හෝ දමව, ප්‍රාණීන් නැති දියක හෝ පාකොට හරුව´´ ( යි වදාළසේක. )

14. ´´ඉක්බිති සුන්‍දරිකභාරවාජ බමුණුතෙම ඒ යාගයෙන් ඉතිරි කොටස ප්‍රාණීන් නැති දියෙහි පාකොට යැවීය.

15. ඉක්බිති ඒ යාගයෙන් ඉතිරි කොටස දියෙහි බහාලන ලද්දේ චිටි චිටි චිටි චිටි යන ශබ්දයෙන් ශබ්ද කරයි, දුම් නගියි, හාත්පසින් දුම් දමයි. දහවල් මනාව රත්වූ නගුල දියෙහි දමන ලද්දේ යම්සේ චිටි චිටි චිටි චිටි යන ශබ්ද කරයිද , දුම් දමයිද, එසේම යාගයෙන් ඉතිරි කිරිබත දියෙහි ලන ලද්දේ චිටි චිටි චිටි චිටි යන ශබ්දයෙන් ශබ්ද කරයි, දුම් දමයි, හාත්පසින් දුම් දමයි.

16. ඉක්බිති සුන්‍දරිකභාරවාජ බමුණුතෙම සංවේගයට පැමිණියේ, ලොමුඩැහැගත්තේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, එකත්පසෙක සිටියේය.

17. එකත්පසෙක සිටි සුන්‍දරිකභාරවාජ බමුණාහට භාග්‍යවතුන් වහන්සේ ගාථාවලින් ( මෙසේ ) වදාළසේක:

´´බමුණ, දර දවමින් ශුද්ධියක් වේයයි නොසිතව, ආය්‍ර්‍ය ධර්‍මයෙන් බැහැර පිරිසිදුබව යමෙක් කැමති වේද එයින් ශුද්ධියක් වේයයි ආය්‍ර්‍යයෝ නම් නොකියත්.

´´බමුණ, මම දර දැවීම හැර, ( ඥාන ) ගින්න දල්වමි. අර්හත්වූ මම නිති දැල්වූ ( ඥාන ) ගින්න ඇතිව, නිති දමනය කරන ලද සිතැතිව බ්‍රහ්මචයන්ර්‍‍ාවෙහි හැසිරෙමි.

´´බමුණ, තාගේ මානය, තවුස් පිරිකර දරවේ. ක්‍රෝධය දුමවේ. බොරුකීම අලුවේ, දිව හෝම හැන්දවේ. සත්ත්‍වයන්ගේ හෘදය ගිනි මොලවන තැනවේ. පුද්ගලයාගේ මනාව දමනය කළ සිත යාග ගින්නවේ.

´´බමුණ, ධර්‍මය ජලාසයවේ. ශීලය තොටවේ. එය නොකැළඹෙන හෙයින් විශේෂයෙන් ප්‍රසන්නය. සත්පුරුෂයන් විසින් සත්පුරුෂයන්ට ප්‍රශංසා කරනු ලැබේ. යම්තැනෙක ස්නානයකළ ආය්‍ර්‍යයෝ නොතෙත් සිරුරු ඇත්තෝව, නිර්‍වාණ පරතෙරට ඒකාන්තයෙන් යෙත්නම් මාගේ දහම් විල එබඳුවූවකි.

´´බමුණ, සත්‍යයද, හික්මීමද, ධර්‍මයද යන මොවුහු බ්‍රහ්මචය්‍ර්‍යාවයි. ශාස්වත උච්ඡේද දෘෂ්ටි දෙකම මධ්‍යයෙහි සිටියාවූ ( මේ ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගය ) උතුම් පැමිණීමයි. එහෙයින් තෝ ඎජුවූ රහතුන්ට නමස්කාර කරව. ( එසේ කරන ) ඒ පුද්ගලයා ධර්‍මසාරීයයි මම කියමි´´ යි ( වදාළසේක, )

18. මෙසේ කී කල සුන්‍දරිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ´´පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට මාර්‍ගය කියන්නේද, ´ ඇස් ඇත්තෝ රූප දකිත්වා´ යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය. ඒ මම භාභ්‍යවතුන් වහන්සේද, ධර්‍මයද, සංඝයාද සරණකොට යමි. මම භවත් ගෞතමයන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලබන්නෙමි.´´

19. භාරවාජගොත්‍රික බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලැබීය.

20. උපසපන්වී නොබෝ කල් ඇති ආයුෂ්මත් භාරවාජ තෙම තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේව වෙසෙන්නේ, නොබෝ කලෙකින්ම, යම් අර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ සසුනෙහි පැවිදිවෙත්ද, ඒ බඹසර කෙළවරවූ ( නිවන ) මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට, එයට පැමිණ විසීය. ´ජාතිය ක්‍ෂයවූවා, බ්‍රහමචය්‍ර්‍යාව වැස නිමවන ලදී. සියලු මාර්‍ග කෘත්‍යය කරනලදී. මේ ආත්මභාවයෙන් අන් ආත්මයෙක් නැතැ ´ යි යහපත්කොට අවබෝධ කෙළේය. ආයුෂ්මත් භාරවාජතෙම් රහතුන් අතුරෙහි අන්‍යතරයෙක් විය.