2. අක්කෝස සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප ( නම්වූ ) වේළුවනයෙහි වැඩවසනසේක.

2. අක්කෝසකභාරද්වාජ බමුණුතෙම ( මෙපුවත ) ඇසීය, ´´ භාරවාජ ගෝත්‍රික බමුණුතෙම ගිහිගෙයින් නික්ම ශ්‍රමණ ගෞතමයන්ගේ ශාසනයෙහි පැවිදිවේය ( කියායි. )

3. ( ඔහු එයින් කිපීයේ, නොසතුටු සිතැත්තේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ අසභ්‍ය යහපත් නුවූ පරුෂ බසින් අපහාස කරයි. නින්‍දා කරයි.

4. මෙසේ බැණ වැදුනු කල්හි භාග්‍යවතුන් වහන්සේ අක්කෝසකභාරද්වාජ බමුණාහට මෙය කීය: ´´ බමුණ, මේ කිමැයි හඟිහිද? තාගේ අසල්වැසිවූ, නෑ වූ, සහ ලේ නෑ වූ ආගන්තුකයෝ ( තොප කරා ) එන්නෝ වෙත්ද?´´

5. ´´භවත් ගෞතමයනි, සමහර කලෙක මාගේ නෑ වූ, සහ ලේ නෑ වූ ආගන්තුකයෝ එන්නාහුය.´´

6. ´´බමුණ, මේ කුමැයි හඟිහිද? ඔවුන්ට කෑ යුත්තක් හෝ බුදිය යුත්තක් හෝ රස බැලිය යුත්තක් හෝ දෙන්නෙහිද?´´

7. ´´ගෞතමයිනි, මම සමහර කලෙක ඔවුන්ට කෑ යුත්තක් හෝ බුදිය යුත්තක් හෝ රස බැලිය යුත්තක් හෝ දෙමි.´´

8. ´´බමුණ, ඉදින් වනාහි ඔහු ( ඒ ) නොපිළිගනිත් නම් එය කවරකුහට වේද?´´

9. ´´ගෞතමයිනි, ඉදින් ඔහු ( ඒ ) නෙපිළිගනිත් නම් එය අපටම වෙයි.´´

10. ´´බමුණ, එපරිද්දෙන්ම නුඹ වනාහි ආක්‍රෝශ නොකරන අපට ආක්‍රෝශ කෙළෙහිද, පරුෂ වචන නොකියන අපට පරුෂ වචන කීයෙහිද, නොබණින අපට බැන්නෙහිද, ඒ ආක්‍රෝශාදිය අපි නොපිළිගනිමු, බමුණ, ඒ සියල්ල තටම වෙයි. බමුණ, යමෙක් වනාහි ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ කරයිද, පරුෂ වචන කියන්නහුට පෙරළා පරුෂ වචන කියයිද, බණින්නහුට පෙරළා බණීද, බමුණ, එබඳු තැනැත්තේ එකතුව වළඳන්නේය, කළහු අනුව කරන්නේයයි කියනු ලැබේ. තා බිණූ ඒ ආක්‍රෝශාදිය අපි තා හා ( හවුලේ ) නොබුදිමු. තා අනුව නොකරමු බමුණ, මෙය ( තා කළ දේ ) තටම වෙයි. බමුණ, මෙය ( තා කළ දේ ) තටම වෙයි.´´

11. ´´පින්වත, භවත් ගෞතමයන් ( පිළිබඳව ) රජු සහිත පිරිස් මෙසේ සලකති. ´ශුමණ ගෞතමයෝ රහතෙක´. එසේ වුව පින්වත් ගෞතමයෝ කිපුනාහ. ´´

12. ´´දැමුනාවූ, සමජීවීවූ, සම්‍යක් පුඥාවෙන් දැන අර්හත් ඵල විමුක්ති වශයෙන් මිදුනු, ශාන්තවූ ශ්‍රේෂ්ඨත්වයට පැමිණි, ක්‍රෝධ නැති රහතන් වහන්සේට ක්‍රෝධයෙක් නම් කොයින්ද?

´´යම් පුද්ගලයෙක් පළමු කිපියහුට පෙරළා කිපේද, ඒ ක්‍රෝධය කරණකොට ඒ පුද්ගලයාටම පව් වේ. පළමු කිපියහුට පෙරළා නොකිපෙන පුද්ගලයා දුකසේ දිනිය හැකි යුද්ධය ජයගනී.´´

´´යම් පුද්ගලයෙක් කිපුණු අන්‍යයකු දැක සිහි ඇතිව ඉවසාද, එතෙම තමහටද, පරහටද යන දෙදෙනාටම යහපතක් සලසයි.´´

´´තමාගේද අනුන්ගේද යන දෙදෙනාගේම ක්‍රෝධ ව්‍යාධියට ( ඉවසීම නමැති ) පිළියම් කරන පුද්ගලයා බාලයෙකැයි ධර්‍මයට අදක්‍ෂවූ අන්‍ධ බාල පෘතග්ජනයෝ හඟිත්.´´

13. මෙසේ කී කල අක්කෝසකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ´´භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට හෝ මාර්‍ගය කියන්නේද, ´ ඇස් ඇත්තෝ රූප දකිත්වා ´ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය. ඒ මම භාග්‍යවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, සංඝයාද සමග පිහිටකොට යමි. භවත් ගෞතමයන් වෙතින් පැවිද්ද ලබන්නෙම්, උපසම්පදාවද ලබන්නෙම් නම් යෙහෙක, ´´

14. අක්කෝසකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලැබීය. උපසම්පදාවද ලැබීය. උපසම්පන්නවී නොබෝ කල් ඇති ආයුෂ්මත් අක්කෝසකභාරවාජ තෙම තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේ, යම් අර්‍ථයක් සඳහා කුලපුත්‍රයෝ ගිහි ගෙයින් නික්ම මනාව සස්නෙහි පැවිදිවෙත්ද, නොබෝ කලෙකින්ම ඒ නිරුත්තර බ්‍රහ්මචය්‍ර්‍යයාගේ කෙළවරවූ නිවන මේ ආත්මයෙහිම තමා විශේෂ ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ විසීය. ´ ජාතිය ක්‍ෂයවූවා, බඹසර වැස නිමවන ලදී. සියලු මාර්‍ග කෘත්‍යය කරන ලදී. මෙයින් අන් ආත්මයක් නැතැ ´ යි හෙතෙම නිසැකව දත්තේය. ආයුෂ්මත් භාරවාජ භික්‍ෂුකෙම රහතන් අතුරෙන් එක්තරා කෙනෙක් විය.