1. සනංකුමාර ( බ්‍රහ්මාසනා ) සූත්‍රය

1. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සප්පිනී ( නදී ) තෙර වසනසේක.

2. ඉක්බිති සනංකුමාර බ්‍රහ්මතෙම රෑ පෙරයම ඉක්මුණු කල්හි සියලු සප්පිනී ( නදී ) තීරය තමාගේ ශරීර ආලෝකයෙන් බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියේය.

3. එක් පසෙක සිටි සනංකුමාර බ්‍රහ්මයා වනාහි භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´ මිනිසුන් අතුරෙහි යම් ජනකෙනෙක් වංශය ගැන සලකන්නහුද, ( ඔවුනතුරෙන් ) ක්‍ෂත්‍රියතෙම ශ්‍රේෂඨයි. ( යම් කිසිවෙක් ) ත්‍රිවිද්‍යාවෙන් හා ( පසළොස් ) චරණ ධර්‍මයන්ගෙන් යුක්තවේ නම් ඒ තෙම දිව්‍ය මනුෂ්‍යයන් අතුරෙන් ශ්‍රේෂ්ඨයි.´´

4. සනංකුමාර බ්‍රහ්මයා මෙය කීය. ශාස්තෲන් වහන්සේ එකඟවූසේක. ඉක්බිතිව සනංකුමාර බ්‍රහ්මයා ´´ශාස්තෲන් වහන්සේ මා හා එකඟවූ සේකැ´´ යි ( සිතා ) භාග්‍යවතුන් වහන්සේ වැඳ ප්‍රදක්‍ෂිණාකොට එහිම අතුරුදහන්විය.