5. පරිනිබ්බාන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරානුවර මල්ල රජුන්ගේ උපවත්තන නම් සල්වෙනෙහි සල්ගස් දෙක අතරෙහි පිරිනිවන් කාලයෙහි වාසය කරනසේක.

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ( මෙසේ ) වදාළසේක: ´´ මහණෙනි, දැන් වනාහි තොප අමකමි. සියලු සංස්කාර ධර්‍මයෝ නැසෙන ස්වභාව ඇත්තෝය. අප්‍රමාදයෙන් ත්‍රිශික්‍ෂාව සම්පාදනය කරව්.´´ මේ තථාගතයන්ගේ අන්තිම වචනයයි.

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ප්‍රථමධ්‍යානයට සමවැදුනුසේක. ප්‍රථමධ්‍යානයෙන් නැගිට විතීයධ්‍යානයට සමවැදුනුසේක. විතීයධ්‍යානයෙන් නැගිට තෘතීයධ්‍යානයට සමවැදුනුසේක. තෘතීයධ්‍යානයෙන් නැගිට චතුර්ථධ්‍යානයට සමවැදුනුසේක. චතුර්ථධ්‍යානයෙන් නැගිට ආකාසානඤචායතනධ්‍යානයට සමවැදුනුසේක. ආකාසානඤචායතනධ්‍යානයෙන් නැගිට විඤඤානඤ්චායතනධ්‍යානයට සමවැදුනුසේක. විඤඤානඤ්චායතනයෙන් නැගිට ආකිඤචඤඤායතනධ්‍යානයට සමවැදුනුසේක. ආකිඤචඤඤායතනයෙන් නැගිට නේවසඤ්ඤානාසඤඤායතනයට සමවැදුනුසේක. නේවසඤ්ඤානාසඤඤායතනයෙන් නැගිට සඤඤාවේදයිතනිරෝධසමාපත්තියට සමවැදුනුසේක.

4. සඤඤාවේදයිත නිරෝධසමාපත්තයෙන් නැගී නේවසඤ්ඤානාසඤඤායතන සමාපත්තියට සමවැදුනුසේක. නේවසඤ්ඤානාසඤඤායතනයෙන් නැගී ආකිඤචඤඤායතනයට සමවැදුනුසේක. ආකිඤචඤඤායතනයෙන් නැගී විඤඤානඤ්චායතනයට සමවැදුනුසේක. විඤඤානඤ්චායතනයෙන් නැගී ආකාසානඤචායතනයට සමවැදුනුසේක. ආකාසානඤචායතනයෙන් නැගී චතුර්ථධ්‍යානයට සමවැදුනුසේක. චතුර්ථධ්‍යානයෙන් නැගිට තෘතීයධ්‍යානයට සමවැදුනුසේක. තෘතීයධ්‍යානයෙන් නැගිට විතීයධ්‍යානයට සමවැදුනුසේක. විතීයධ්‍යානයෙන් නැගිට ප්‍රථමධ්‍යානයට සමවැදුනුසේක. ප්‍රථමධ්‍යානයෙන් නැගිට විතීයධ්‍යානයට සමවැදුනුසේක. විතීයධ්‍යානයෙන් නැගිට තෘතීයධ්‍යානයට සමවැදුනුසේක. තෘතීයධ්‍යානයෙන් නැගිට චතුර්ථධ්‍යානයට සමවැදුනුසේක. චතුර්ථධ්‍යානයෙන් නැගිට ධ්‍යානයෙන් නැගිටීම සමගම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑසේක.

5. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි පිරිනිවීමත් සමගම සහම්පතී බඹතෙම මේ ගාථාව කීය:

´´ලොව යැම සත්හුම සිරුර ඉවත දමන්නාහුය. ලොව සමකළ නොහැකිවූ, තථාගතවූ, ( දශවිධ ඥාන ) බලයට පැමිණි, සියලු ධර්‍මයන් ඉතිරි නොකොට දත්, මෙබඳු ශාස්තෲන් වහන්සේ පවා යම්සේ පිරිනිවිසේක්ද ( එමෙනි.)

6. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල පිරිනිවීමත් සමගම සක්දෙවිඳු මේ ගාථාව කීය:

´´සංස්කාරයෝ ඉපදීම නැසීම ස්වභාවකොට ඇත්තාහු ඒකාන්තයෙන් අනිත්‍යයහ. ( ඔවුහු ) ඉපිද නිරුද්ධ ( විනාශ ) වෙත්. ඒ සංස්කාරයන්ගේ සංසිඳීම සැපයි.´´

7. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල පිරිනිවීමත් සමගම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම මේ ගාථාව කීය:

´´සියලු උතුම් කරුණුවලින් යුක්තවූ, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ පිරිනිවි කල ( ඒ ) පරිනිර්‍වානය සමගම භය උපදවන කරුණු ( පහළ ) විය. එවිට ලොමු ඩැහැගැනීම්ද විය.´´

8. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල පිරිනිවීමත් සමගම අනුරුද්ධ ස්ථවිරතෙම මේ ගාථාවන් කීය:

´´සමාහික සිත් ඇති, තාදී ගුණවත්, බුදුරජාණන් වහන්සේගේ ආශවාස ප්‍රශ්වාසය නොවූයේය. (නතරවිය. ) තණ්හාව නැත්තාවූ, පසැස් ඇත්තාවූ, සම්බුද්ධයන් වහන්සේ අනුපදිශේෂ නිර්‍වාණය නිසා ස්කන්‍ධපරිනිර්‍වාණයෙන් පිරිනිවිසේක.

´´නොහැකුළුණු සිතින් යුක්තව වේදනාව ඉවසූසේක. චිත්තය සම්බන්‍ධවූ මිදීම ප්‍රදීපයේ නිවීම මෙන් විය.´´

දෙවෙනි වර්‍ගයයි

4. අරුණවතී සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි, භික්‍ෂූන්ට කථාකළසේක.

3. ´ස්වාමීනි´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්ට උත්තර දුන්හ.

4. භාග්‍යවතුන් වහන්සේ මෙය කීය: ´´ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. අරුණවා නම් රජෙක් විය. මහණෙනි, අරුණවා රජහට අරුණවතී නම් රාජධානියෙක් විය. මහණෙනි, අරුණවතී රාජධානිය ඇසුරුකොට සිඛී නම් භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වුසූ සේක,

5. ´´ මහණෙනි, සිඛී නම් භාග්‍යවත් අර්හත් සම්මා සම්බුද්ධයන් වහන්සේට අහිභු, සම්භව නම් අග්‍රවූ, උතුම්වූ ශ්‍රාවක දෙදෙනෙක් විය.

6. ´´ මහණෙනි, එකල්හි වනාහි සිඛී නම්වූ භාග්‍යවත්වූ අර්හත්වූ සම්මා සම්බුද්ධයන් වහන්සේ අහිභු භික්‍ෂුවට ( මෙසේ ) වදාළසේක. ´බ්‍රාහ්මණය, බත් වේලාව පැමිණෙනතුරු කිසියම් බඹලොවකට පැමිණෙමු.´

7. ´´ මහණෙනි, ´ එසේය, ස්වාමීනි ´ යි අහිභු භික්‍ෂුතෙම සිඛී භාග්‍යවත් අර්හත් සම්මා සම්බුද්ධයන් වහන්සේට උත්තර දුන්නේය.

8. ´´ මහණෙනි, ඉක්බිති ඒ සිඛී නම් භාග්‍යවත් අර්හත් සම්මා සම්බුද්ධයන් වහන්සේත් අහිභු භික්‍ෂුවත් ශක්තිමත් පුරුෂයෙක් නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද එසේ අරුණවතී රාජධානියෙන් අතුරුදහන්ව ඒ බඹලෙව්හි පහළවූහ.

9. ´´ මහණෙනි, ඉක්බිති අර්හත් සම්‍යක් සම්බුද්ධ සිඛී භාග්‍යවතුන් වහන්සේ අහිභු භික්‍ෂුවට ( මෙසේ ) වදාළසේක. ´ බ්‍රාහ්මණය, බ්‍රහ්මයාටද, බ්‍රහ්ම පිරිසටද, බ්‍රහ්ම අතවැසියන්ටද ( සුදුසු ) කථාවක් තට වැටහේවා, (කථාවක් කෙරේවා´´)

10. ´´ මහණෙනි, ´එසේය ස්වාමීනි´ යි අහිභු භික්‍ෂුතෙම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී භාග්‍යවතුන් වහන්සේට උත්තරදී බ්‍රහ්මයාද, බ්‍රහ්ම පිරිසද, බ්‍රහ්ම අතවැසියන්ටද, ධර්‍ම කථාවෙන් අවවාද කළේය, සමාදන් කරවීය, උත්සාහ වර්‍ධනය කරවීය, සතුටු කරවීය.

11. ´´ මහණෙනි, එකල වනාහි බ්‍රහ්මතෙමේද, බ්‍රහ්ම පිරිසද, බ්‍රහ්ම අතවැසියෝද, ( ඒ කථාව ) ලාමක කොට සිතත්, ගරහත්, එහි දොස් පහළ කෙරෙත්. ´බලව ඒකාන්තයෙන් ආශ්චය්‍ර්‍යයක හැටි, ඒකාන්තයෙන් අද්භූතයක හැටි ශාස්තෲන්වහන්සේ හමුයෙහි වූකලී ශ්‍රාවකයෙක් තෙම කෙසේ නම් දහම් දෙසන්නේද?´ ( කියායි. )

12. ´´ මහණෙනි, ඉක්බිති වනාහි අර්හත් සම්‍යක් සම්බුද්ධ සිඛී භාග්‍යවතුන් වහන්සේ අහිභු භික්‍ෂුවට මෙසේ වදාළසේක. ´ බ්‍රාහ්මණය, බ්‍රහ්මතෙමේද, බ්‍රහ්ම පිරිසටද, බ්‍රහ්ම අතවැසියෝද, ( තොපගේ කථාව ) ලාමක කොට සිතත්, ගරහත්, එහි දොස් පහළ කෙරෙත්. ඒකාන්තයෙන් ආශ්චය්‍ර්‍යයක හැටි, ඒකාන්තයෙන් අද්භූතයක හැටි.´ ශාස්තෲන්වහන්සේ හමුයෙහි ශ්‍රාවකයෙක් තෙම කෙසේ නම් ධර්‍මය දේශනා කරන්නේදැ´ යි ( කියායි. එහෙයින් බ්‍රාහ්මණය, තෝ බොහෝ සෙයින් බ්‍රහ්මයාද, බ්‍රහ්ම පිරිසද, බ්‍රහ්ම අතවැසියන්ද සංවේග කරව´ යි ( වදාළසේක )

13. ´´ මහණෙනි, ´එසේය ස්වාමීනි´ යි අර්හත් සම්‍යක් සම්බුද්ධ සිඛී භාග්‍යවතුන් වහන්සේට අහිභු භික්‍ෂුව උත්තරදී පෙනෙනු ලබන කයින්ද ධර්‍ම දේශනා කෙළේය. පෙනෙනු ලබන යටි භාගය ඇති ශරීරයේ කොටසකින්ද, නොපෙනෙනු ලබන මතු භාගය ඇති ශරීරයේ කොටසකින්ද, ධර්‍ම දේශනා කෙළේය. පෙනෙනු ලබන මතු ශරීරයේ කොටසකින්ද, නොපෙනෙනු ලබන යට ශරීරයේ කොටසකින්ද, ධර්‍ම දේශනා කෙළේය.

14. ´´ මහණෙනි, එවිට වනාහි, බ්‍රහ්මතෙමේද, බ්‍රහ්ම පිරිසද, බ්‍රහ්ම අතවැසියෝද, ආශ්චය්‍ර්‍ය අද්භූත සිතැත්තාහු ´පින්වත, ඒකාන්තයෙන් ආශ්චය්‍ර්‍යයි, පින්වත, ඒකාන්තයෙන් අද්භූතයි, ශ්‍රමණයාගේ මහ ඎද්ධිභාවය හා මහානුභාවය´ යි ( සිතූහ. )

15. ´´ මහණෙනි, ඉක්බිති අහිභු භික්‍ෂුව අර්හත් සම්‍යක් සම්බුද්ධ සිඛී භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´ස්වාමීනි, භික්‍ෂු සංඝයා මැද ( මවිසින් ) මෙබඳු වචනයක් කියනලද බව ප්‍රකාශකරමි. ( කෙබඳුද යත් ) ´ ඇවැත්නි, මම බඹ ලොව සිටියෙමි. සහශ්‍රී ලෝක ධාතුව වචනයෙන් හඟවන්නට හැක්කේ වෙමි´ යි කියායි.

16. ´´ ´ බ්‍රාහ්මණය, බඹලොව සිටියෙක් යම් සහශ්‍රී ලෝක ධාතුවක් වචනයෙන් හඟවන්නෙහි නම් බ්‍රාහ්මණය, මේ එයට සුදුසු කාලයයි.´

17. ´´ මහණෙනි, ´එසේය ස්වාමීනි´ යි අහිභු භික්‍ෂුතෙම අර්හත් සම්‍යක් සම්බුද්ධ සිඛී භාග්‍යවතුන් වහන්සේට උත්තර දී බඹලොව සිටියේ මේ ගාථාවන් කීය:

´´බුදු සසුනෙහි ආරම්භ වීය්‍ර්‍ය කරව්, නිෂ්ක්‍රමණ වීය්‍ර්‍ය කරව්, පරාක්‍රම වීය්‍ර්‍ය කරව්, ඇතෙක් බටයෙන් කළ ගෙයක් වනසන්නාක් මෙන් මර සෙනග ( ක්ලේශ සේනාව ) නසව්.

´´යමෙක් මේ ධර්‍ම විනයෙහි අප්‍රමත්තව ( පමා නොව ) වාසය කරන්නේද, ඔහු ඉපදීමද, සංසාරයද හැර, සියලු දුක් කෙලවර කරන්නේය.´´

18. ´´ මහණෙනි, ඉක්බිති අර්හත් සම්‍යක් සම්බුද්ධ සිඛී භාග්‍යවතුන් වහන්සේද අහිභු භික්‍ෂුතෙමද වනාහි බ්‍රහ්මයාද, බ්‍රහ්ම පිරිසද, බ්‍රහ්ම අතවැසියන්ද, සංවේගකොට ශක්තිමත් පුරුෂයකු නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද එසේ ඒ බඹලෙව්හි අතුරුදහන්වූ සේක් අරුණවතී රාජධානියෙහි පහළවූසේක.

19. ´´ මහණෙනි, ඉක්බිතිව අර්හත් සම්‍යක් සම්බුද්ධ සිඛී භාග්‍යවතුන් වහන්සේ ( මෙසේ ) භික්‍ෂූන්ට වදාළසේක. ´මහණෙනි, බඹලොව සිට කියනු ලබන අහිභු භික්‍ෂුවගේ ගාථාවන් තෙපි ඇසූහුද?´´

´´ ස්වාමීනි, අපි බඹලොව සිට කියනු ලබන අහිභු භික්‍ෂුවගේ ගාථාවන් ඇසුවෙමු.

´´ මහණෙනි, තෙපි බඹලොව සිට කියනු ලබන අහිභු භික්‍ෂුවගේ ගාථාවන් කෙබඳු ලෙසින් ඇසූහුද?´´

´´ ´ස්වාමීනි, අපි බඹලොව සිට කියනු ලබන අහිභු භික්‍ෂුවගේ ගාථාවන් මෙසේ ඇසුවෙමු.

´බුදු සසුනෙහි ආරම්භ වීය්‍ර්‍ය කරව්, නිෂ්ක්‍රමණ වීය්‍ර්‍ය කරව්, පරාක්‍රම වීය්‍ර්‍ය කරව්, ඇතෙක් බටයෙන් කළ ගෙයක් වනසන්නාක් මෙන් මර සෙනග ( ක්ලේශ සේනාව ) නසව්.

´යමෙක් මේ ධර්‍ම විනයෙහි අප්‍රමත්තව ( පමා නොව ) වාසය කරන්නේද, ඔහු ඉපදීමද, සංසාරයද හැර, සියලු දුක් කෙලවර කරන්නේය ( කියායි )´

20. ´´ ´ ස්වාමීනි, බඹලොව සිට කියනු ලබන අහිභු භික්‍ෂුවගේ ගාථාවන් අපි මෙසේ ඇසූම්හ.´

´´ මහණෙනි, මැනවි, මැනවි, මහණෙනි, තෙපි බඹලොව සිට කියනු ලබන අහිභු භික්‍ෂුවගේ ගාථාවන් මනාකොට ඇසුවාහුය.´´

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවූහ.

3. අන්‍ධකවින්‍ද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට අන්‍ධකවින්‍ද ගම වැඩවසනසේක.

2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ ඝනාන්‍ධකාරයෙන් අඳුරුවූ රාත්‍රියෙක එළිමහනෙහි හුන්සේක. වැස්සද පොද එක දෙක වැටුනේය.

2. ඉක්බිති සහම්පති බ්‍රහ්මයා මධ්‍යම රාත්‍රිය ඉක්මුණුකල බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු අන්‍ධකවින්‍ද ගම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.

3. එකත්පසෙක සිටි සහම්පති බ්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කීය:

( ´´ මනුෂ්‍යවාසයෙන් දුර පිහිටි සේනාසනයන් සෙවනය කරන්නේය. ) සංයෝජනයන්ගෙන් මිදීම පිණිස හැසිරෙන්නේය. ඒ සෙනසුන් ප්‍රියකළ නොහැකිනම් ආරක්‍ෂා සහිත ආත්මයක් ඇතිව සිහි ඇතිව සඞඝයා මධ්‍යයෙහි වාසය කරන්නේය.

´´ දමනය කරනලදඉන්‍ද්‍රිය ඇත්තාවූ, පුඥාවත්වූ, ස්මෘතිමත්වූ, කුලයෙන් කුලයට පිඬු පිණිස හැසිරෙන්නේ, ( මනුෂ්‍යවාසයෙන් දුර පිහිටි ) වනසෙනසුන් සේවනය කරන්නේය. හෙතෙම සංසාර භයෙන් මිදුනෙක්ව නිර්‍වානයෙහි නැමුණෙක්ව වාසය කරන්නේය.

´´ යම් තැනෙක බියජනක අරමුණු වෙත්ද, දීර්ඝ ජාතික සර්‍පාදීහු වෙත්ද, විදුලිය පවතීද, මේඝය ගර්ජනය කෙරේද, ඒ ස්ථානයෙහි ( යෝගාවචර ) මහණතෙම ( භාග්‍යවතුන් වහන්සේ) ඝනාන්‍ධකාරයෙන් අඳුරුවූ රාත්‍රියෙහි පහවූ භය ඇතිව හුන්නේය.

´´ මේ කාරණය වනාහි මා විසින් ඒකාන්තයෙන් දක්නා ලද්දේය. මම මේ කාරණය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැනගෙනම කියමි. එක් ධර්‍මදේශනාවෙක්හි මාරයා පරදවා සිටින්නාවූ රහතන්වහන්සේලා දහසක් වෙයි.

´´ බොහෝසේ ශෛක්‍ෂයෝ ( රහත් නොවූ ආය්‍ර්‍යයෝ ) පන්සියයක්ද, ( එක්සිය දස දෙනෙක් )ද වෙති. මේ සියල්ලෝම ආය්‍ර්‍ය මාර්‍ගයට පැමිණියාහු නිරයාදියට නොපැමිණෙන්නාහු වෙති.

´´ තවද මේ ( හැර ) අන්‍ය ප්‍රජා තොමෝ පුණ්‍යයට හිමියයි මාගේ කල්පනාවයි. ඔවුන් මෙපමණය කියා ගනින්නට නොහැක්කෙමි.´´ ( ගණන වැරදීමෙන් ) මෘෂාවාදයට බිය වෙමි.´´

2. දේවදත්ත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ දෙව්දත්තෙර සඞඝභේදය කොට ගයා සීසයට ගිය නොබෝ කල්හි රජගහනුවර ගිජුකුළුපව්වෙහි වැඩවසනසේක.

2. ඉක්බිති සහම්පති බ්‍රහ්මයා මධ්‍යම රාත්‍රිය ඉක්මුණුකල බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ගිජුකුළුපව්ව බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය.

3. එකත්පසෙක හුන් සහම්පති බ්‍රහ්මයා දෙව්දතුන් ගැන භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´ යම්සේ ඵලයතෙම ඒකාන්තයෙන් කෙසෙල්ගස නසාද, ඵලය හුණ ගස නසයිද, ඵලය බට ගස නසයිද, දරුගැබ අශ්වතරීය ( කොටලුට දාව වෙළඹ කුස උපන්නීය ) යම්සේ නසන්නේද, ( එසේම ) සත්කාරය තෙම අධම පුරුෂයා නසයි.´´

1. සනංකුමාර ( බ්‍රහ්මාසනා ) සූත්‍රය

1. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සප්පිනී ( නදී ) තෙර වසනසේක.

2. ඉක්බිති සනංකුමාර බ්‍රහ්මතෙම රෑ පෙරයම ඉක්මුණු කල්හි සියලු සප්පිනී ( නදී ) තීරය තමාගේ ශරීර ආලෝකයෙන් බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියේය.

3. එක් පසෙක සිටි සනංකුමාර බ්‍රහ්මයා වනාහි භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´ මිනිසුන් අතුරෙහි යම් ජනකෙනෙක් වංශය ගැන සලකන්නහුද, ( ඔවුනතුරෙන් ) ක්‍ෂත්‍රියතෙම ශ්‍රේෂඨයි. ( යම් කිසිවෙක් ) ත්‍රිවිද්‍යාවෙන් හා ( පසළොස් ) චරණ ධර්‍මයන්ගෙන් යුක්තවේ නම් ඒ තෙම දිව්‍ය මනුෂ්‍යයන් අතුරෙන් ශ්‍රේෂ්ඨයි.´´

4. සනංකුමාර බ්‍රහ්මයා මෙය කීය. ශාස්තෲන් වහන්සේ එකඟවූසේක. ඉක්බිතිව සනංකුමාර බ්‍රහ්මයා ´´ශාස්තෲන් වහන්සේ මා හා එකඟවූ සේකැ´´ යි ( සිතා ) භාග්‍යවතුන් වහන්සේ වැඳ ප්‍රදක්‍ෂිණාකොට එහිම අතුරුදහන්විය.