1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
2. එකල වනාහි එක්තරා බ්රහ්මයෙකුට ´ මේ බඹලොවට ආ හැකි මහණෙක් හෝ බමුණෙක් හෝ නැතැ´ යි මෙසේවූ ලාමක දෘෂ්ටියෙක් පහළ වූයේ වේ.
3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තම සිතින් ඒ බඹහුගේ සිතෙහිවූ කල්පනාව දැන, ශක්තිමත් පුරුෂයෙකු නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ක්ෂණයෙන් ජේතවනාරාමයෙන් අතුරුදන්ව ඒ බඹලොව පහළවූසේක.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තේජෝකසිණ සමාපත්තියට සමවැද ඒ බඹහට උඩින් අහසෙහි පළක් බැඳ හුන් සේක.
5. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරහට, ´ දැන් භාග්‍යවතුන් වහන්සේ කොහි ඉන්නාසේක්දෝ ´ යි මේ සිත විය.
6. මහමුගලන් තෙර තෙම මිනිසුන්ගේ විෂය ඉක්මවා දැක්ක හැකි, පිරිසිදුවූ දිවැසින්, ඒ බඹහු මත්තෙහි තේජෝකසිණ සමාපත්තියට සමවැද අහසෙහි පළඟින් ඉන්නා භාග්‍යවතුන් වහන්සේ දිටීය. දැක ශක්තිමත් පුරුෂයෙක් නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ජේතවනාරාමයෙන් අතුරුදන්ව ඒ බඹලෙව්හි පහළවිය.
7. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන්තෙර තේජෝකසිණ සමාපත්තියට සමවැද පෙර දිශායෙහි ඒ බඹහට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට පහතින් අහස්හි පළක් බැඳ හුන්නේය.
8. එකල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරහට, ´ දැන් භාග්‍යවතුන් වහන්සේ කොහි ඉන්නාසේක්ද? ´ යි මේ සිත විය. ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිර තෙම මිනිස් විෂය ඉක්මවූ, පිරිසිදුවූ දිවැසින්, ඒ බඹහු මත්තෙහි තේජෝකසිණ සමාපත්තියෙන් අහස්හි පළඟින් ඉන්නා භාග්‍යවතුන් වහන්සේ දිටීය. දැක ශක්තිමත් පුරුෂයෙක් නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ජේතවනාරාමයෙන් විගසෙකින් අතුරුදන්ව ඒ බඹලොව පහළවිය. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිර තෙම දකුණු දෙස ඇසුරුකොට ඒ බඹහට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට පහතින් අහස්හි තේජෝකසිණ සමාපත්තියට සමවැද හුන්නේය.
9. එකල්හි ආයුෂ්මත් මහාකප්පින තෙරහටද, ´ දැන් භාග්‍යවතුන් වහන්සේ කොහි ඉන්නාසේක්ද? ´ යි මේ සිත විය. ආයුෂ්මත් මහාකප්පින ස්ථවිර තෙම මිනිස් විෂය ඉක්මවූ, පිරිසිදුවූ දිවැසින්, ඒ බඹහු මත්තෙහි තේජෝකසිණ සමාපත්තියෙන් අහස්හි පළඟින් ඉන්නා භාග්‍යවතුන් වහන්සේ දිටීය. දැක ශක්තිමත් පුරුෂයෙක් නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ජේතවනාරාමයෙන් විගසෙකින් අතුරුදන්ව ඒ බඹලොව පහළවිය. ඉක්බිති ආයුෂ්මත් මහාකප්පින ස්ථවිර තෙම බටහිරදිග ඇසුරුකොට ඒ බඹහට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට පහතින් අහස්හි තේජෝකසිණ සමාපත්තියට සමවැද හුන්නේය.
10. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරහට මේ සිතවිය, ´ දැන් භාග්‍යවතුන් වහන්සේ කොහි ඉන්නාසේක්ද?´ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙම මිනිස් විෂය ඉක්මවූ, පිරිසිදුවූ දිවැසින්, ඒ බඹහු මත්තෙහි තේජෝකසිණ සමාපත්තියට සමවැද අහස්හි පළඟින් ඉන්නා භාග්‍යවතුන් වහන්සේ දිටීය. දැක ශක්තිමත් පුරුෂයෙක් නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේවූ විගසෙකින් ජේතවනාරාමයෙන් අතුරුදන්ව ඒ බඹලෙව්හි පහළවිය. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙම උතුරුදිග නිසා ඒ බඹහට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට පහතින් අහස්හි තේජෝකසිණ සමාපත්තියට සමවැද හුන්නේය.
11. ඉත්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරහු බඹුහට මෙසේ ගාථාවෙන් කීහ:
´ඇවැත්නි, පෙර තොපගේ යම් දෘෂ්ටියෙක් වීනම් අද දක්වාත් ඒ දෘෂ්ටිය ඇත්තේද? මේ බඹලෙව්හි (අන්‍ය රශ්මීන් ) මැඩපවත්වමින් රැස් විහිදුවමින් බබළන ( බුදුරදුන් ) දකිහිද? ´´
12. ( බඹතෙම මෙසේ කීය. ) ´´නිදුකාණනි, පෙර මට යම් දෘෂ්ටියෙක් වී නම්, එය දැන් නැත. බඹලෙව්හි ( අන්‍ය රශ්මීන් ) ඉක්මවමින් බබළන ( බුදුරදුන් ) දකිමි. ඒ මම ´නිත්‍ය සදාකාලික වෙමි´ යි අද මම කෙසේ නම් කියම්ද?´´
13. ඉක්බිති බුදුහු ඒ බ්‍රහ්මයා සංවේගකොට ශක්තිමත් පුරුෂයෙක් නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ඒ බඹලොවින් අතුරුදන්ව ජේතවනාරාමයෙහි පහළවූසේක.
14. ඉක්බිති ඒ බ්‍රහ්මතෙම එක්තරා අතවැසි බ්රහ්මයෙකුට කථාකළේය. ´´එව, නිදුකාණනි, ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ඉන්නා යම් තැනෙක් වේද එතැනට යව. ගොස් ආයුෂ්මත් මහමුගලන් තෙරහුට මෙසේ කියව: ´මුගලන් නම්වූ නිදුකානන් වහන්ස, ඒ භාග්‍යවතුන් වහන්සේගේ මෙසේ මහා ඎධි ඇති, මහා ආනුභාව ඇති, භවත් මුගලන් කාශ්‍යප කප්පින අනුරුද්ධවහන්සේ වැනි අන්‍යවූත් ශ්‍රාවකයන් වහන්සේලා ඇත්ද?´´
15. ´´එසේයි, නිදුකාණනි, ´´ යි ඒ අතවැසි බ්‍රහ්මයා බඹහුට උත්තර දී මහමුගලන්තෙරුන් යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, මහමුගලන් තෙරුන්ට මෙය කීයේය. ´´මුගලන් නිදුකානන් වහන්ස, ඒ භාග්‍යවතුන් වහන්සේගේ මෙසේ මහා ඎධි ඇති, මහා ආනුභා ඇති, භවත් මුගලන් කාශ්‍යප කප්පින අනුරුද්ධ වහන්සේ යම්සේද එසේවූ අන්‍යවූ ශ්‍රාවකයෝ ඇත්තාහුද?´´
16. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරහු ඒ අතවැසි බ්‍රහ්මයාට ගාථායෙන් මෙසේ කීහ:
´´ත්‍රිවිද්‍යාවෙන් සමන්විත, ඎද්ධිවිධ ඥානයට පැමිණි, පරසිත් දැනීමෙහි දක්ෂ, ආශ්‍රවයන් ක්ෂයකළ අර්හත්වූ බුද්ධශ්‍රාවකයෝ බොහෝයි.´´
17. ඉක්බිති ඒ අතවැසි බ්‍රහ්මයා ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ගේ වචනය පිළිගෙන අනුමෝදන්ව ඒ බ්‍රහ්මයා යම් තැනෙකද එතැනට පැමිණියේය.
පැමිණ, ඒ බ්‍රහ්මයාට මෙය කීය: ´´ නිදුකාණනි, ආයුෂ්මත් මහමුගලන් තෙර මෙසේ කීය.
´ත්රිවේද්යා සම්පන්න ඎද්ධිවිධඥානයට පැමිණි, පරසිත් දැනීමෙහි දක්ෂ, ආශ්‍රවයන් ක්ෂය කළ අර්හත්වූ බුද්ධ ශ්‍රාවකයෝ බොහෝය.´´
18. ඒ අතවැසි බ්‍රහ්මයා මෙය කීය. සතුටු සිත් ඇති බ්‍රහ්මතෙම ඒ අතවැසි බ්‍රහ්මයාගේ වචනය සතුටින් පිළිගත්තේය.