9. සේලා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි සේලා මෙහෙණී පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා වළඳා, පසුබත් කාලයෙහි පෙරළා අවුත්, දහවල් ගතකරන පිණිස අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයෙහි බැස දහවල් ගතකරන පිණිස එක්තරා ගසක් මුල උන්නීය.

2. එකල්හි පාපීවූ මාරයා සේලා මෙහෙණිය බිය තැතිගැනුම් , ලොමුදැහැගැනුම් උපදවනු රිසිව , සමාධියෙන් ඇය තොරකරනු කැමැත්තේ, සේලා මෙහෙණිය යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ සේලා මෙහෙණියට ගාථායෙන් මෙසේ කීය.

3. ´´ මේ අත්බව කවරකු විසින් උපදවන ලද්දක්ද ? මේ ආත්මභාවය කළ තැනැත්තේ කවරේද? කුමක් නිසා ආත්ම භාවය උපන්නේද? මේ ආත්ම භාවය කවර තන්හි නිරුද්ධ වන්නේද? ´´

4. එවිට සේලා මෙහෙණියට මේ සිත විය: ´´ මේ කවරෙක්ද? මේ ගාථා කියනුයේ මිනිසෙක්ද නැතහොත් නොමිනිසෙක්ද? ´´

5. ඉක්බිති සේලා මෙහෙණියට මේ අදහස විය. ´´ මේ පාපීවූ මාරයා මට බිය , තැති , ලොමුදැහැනුම් , ඇතිකිරීමට කැමති වූයේ මා සමාධියෙන් තොරකරනු කැමතිව , ගාථා කියයි. ´´

6. ඉක්බිති සේලා මෙහෙණි ´ මේ පාපීවූ මාරයා යයි දැන පාපීවූ මාරයාට ගාථාවලින් මෙය පෙරළා කිවූය. ´

´´ මේ ආත්මභාවය තමා විසින් කරණලද්දක්ද නොවේ. දුකට පිහිටි මේ ආත්මභාවය අනෙකෙකු කළ දැයෙකුත් නොවේ. මෙය හේතුව නිසා උපන , හේතුව බිඳීයාමෙන් නිරුද්ධ වේ.´

´´යම්සේ කිසියම් බීජයක් කෙතෙහි වපුරන ලද්දේ පෘථිවි රසයත් ජලයත් නිසා පැලවේද,

´´එපරිද්දෙන්ම ස්කන්‍ධද, ධාතුද, ආයතන සයද යන මොහු හේකුප්‍රත්‍යයන් නිසා උපන්නෝ වෙත්, හේතු ප්‍රත්‍යයන්ගේ නිරෝධයෙන් නිරුද්ධවෙත්.´´

6. එවිට පාපීවූ මාරයා ´සේලා මෙහෙණිය මා දන්නීය ´ යි, දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.