6. චාලා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි චාලා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, පිඬු පිණිස සැවැත්නුවරට පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා වැඩ දන වළඳා පෙරළා ආ තැනැත්තී දහවල් ගතකරනු පිණිස අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස දහවල් ගතකරනු පිණිස එක්තරා ගසක් මුල හුන්නාය.

2. එකල්හි පාපීවූ මාරයා, චාලා මෙහෙණිය යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, චාලා මෙහෙණියට මෙසේ කීය: ´´මෙහෙණියනි, ඔබ කුමකට නම් කැමති නොවෙහිදැ?´´ යි ඇසීය. ´´ඇවත, මම් වනාහි උත්පත්තියට කැමති නොවෙමි.´´

(එවිට මාරයා මෙසේ කීය:) ´´උත්පත්තිය කැමති නොවන්නේ ඇයිද? උපන් තැනැත්තේ කම්සුව විඳී. මෙහෙණියනි, උත්පත්තිය කැමති නොවේවා, කවරෙක් නම් ඔබට මේ දෘෂ්ඨිය ගැන්වීද?´´

3. (එවිට මෙහෙණී මෙසේ කීවාය:) ´´උපන්නහුට මරණය වේ. උපන් තැනැත්තේ බැඳුම්ද, වධද, උවදුරුද යන දුක් ස්පර්‍ශ කෙරෙයි. එබැවින් උත්පත්තිය නොකැමැත්තෙමි.

´´බුදුරජාණන් වහන්සේ සියලු දුක් නසනු පිණිස උත්පත්තිය ඉක්මවාලන දහම දෙසූසේක. යම් රූප ලෝකයෙහි උපන් සත්ත්‍වකෙනෙක් ඇද්ද, අරූපලෝකයෙහි සිටිනා යම් සත්ත්‍වකෙනෙක් ඇද්ද, ඒ සියල්ලෝ නිවන නොදන්නාහු නැවත දෙවැනි භවයක ඉපැදීමට එන්නාහ.´´

6. එවිට පාපීවූ මාරයා ´චාලා මෙහෙණිය මා දන්නීයැ´ යි දුක් දොම්නස්ව එහිම අතුරුදන්විය.