5. උප්පලවණ්ණා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල්හි උප්පලවණ්ණ මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු පිණිස හැසිර, පසුබත්හි පෙරළා අවුත්, දහවල් ගතකරනු සඳහා අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස දහවල් ගතකරනු පිණිස එක්තරා පිපී ගිය සල් රුක් මුලෙක සිටියාය.

3. එකල්හි පාපීවූ මාරයා උප්පලවණ්ණ මෙහෙණියට බිය, තැති, ලොමුදැහැගැනුම් උපදවනු කැමැතිව, සමාධියෙන් තොරකරනු කැමැතිව, උප්පලවණ්ණ මෙහෙණිය යම් තැනකද, එතැනට පැමිණියේය.

3. පැමිණ උප්පලවණ්ණ මෙහෙණියට,

´´මෙහෙණියෙනි, ඔබ අග පටන් සුපිපි රුකක් කරා පැමිණ, ඒ සල් රුක් මුල්හි තනිව සිටිති. ඔබට රූපයෙන් ඔබ වැනි දෙවෙනි මෙහෙණියක් (යෙහෙළියක්) ද නැත. මෙහි පැමිණි අන් මෙහෙණියෝද ඔබ බඳු වන්නාහුය. මෙසේ තනිවූ ඔබ සලෙලුවන්ට බිය නැත්තේද?´´ යි ගාථායෙන් කීය.

3. එකල්හි උප්පලවණ්ණ මෙහෙණියට මේ ගාථා කියනුයේ කවරෙක්ද? මිනිසෙක්ද, නොහොත් නොමිනිසෙක්දැ?´´ යි සිත් විය,

4. ඉක්බිති උප්පලවණ්ණ මෙහෙණියට, මේ අදහස විය. ´මේ පාපී මාරයාය. මට බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම් උපදවනු කැමැතිව, සමාධියෙන් මා තොරකරනු කැමැත්තෙන් ගාථා කියයි.

5. ඉක්බිති උප්පලවණ්ණ මෙහෙණිය ´මේ පාපීවූ මරුවාය´ යිම දැන, පාපීවූ මාරයාට ගාථාවලින් මෙසේ කීවාය:

´´ධූර්‍තයන් සිය දහසක් මෙහි ආවත් ඔවුහු තා බඳු වූවත් ඔවුන්ට ලෝමයකුත් නොසලමි. නොම තැතිගනිමි. මරුව, හුදකලාවූද මම් තට බය නොවෙමි.´´

මාරයා මෙසේ කීය:

´´මේ මම් අතුරුදන්වෙමි. ඔබ කුසට හෝ පිවිසෙමි. ඔබේ දෙබැම අතුරෙහිහෝ සිටින මා ඔබ නොදක්නෙහි.´´

(උප්පලවණ්ණ මෙහෙණිය මෙසේ කීවාය:) ´´සිතෙහි වශීවූයෙමි. මා විසින් සතර ඎද්ධිපාදයෝ මොනවට වඩන ලදහ. (මම්) සියලු බැම්මෙන් මිදුනෙමි. ඇවත, එබැවින් තට බිය නොවෙමි.´´

6. එවිට පාපීවූ මාරයා ´උපුල්වන් මෙහෙණිය මා දන්නීයැ´ යි දුක් දොම්නස්ව එහිම අතුරුදන්විය.