10. වජිරා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වජිරා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා ඇවිද, පසුබත් කාලයෙහි පෙරළා අවුත්, දහවල් ගතකරන පිණිස අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස එක්තරා ගසක් මුල දහවල් ගතකරන පිණිස උන්නීය.

2. එකල්හි පාපීවූ මාරයා වජිරා මෙහෙණියට බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම් ඇතිකරනු කැමැත්තේ සමාධියෙන් තොරකරනු කැමැතිව, වජිරා මෙහෙණිය යම් තැනෙකද එතැනට පැමිණියේය.

3. පැමිණ වජිරා මෙහෙණියගෙන් ගාථායෙන් මෙසේ ඇසීය. ´මේ සත්ත්‍වයා කවුරුන් විසින් මවන ලද්දක්ද? මැවු තැනැත්තා කොහිද? සත්ත්‍වයා කොහි උපදින්නේද? සත්ත්‍වයා කොහි නිරුද්ධවන්නේද?´´

4. එවිට වජිරා මෙහෙණියට මේ සිත විය: ´´ මේ කවරෙක්ද? මේ ගාථා කියනුයේ මිනිසෙක්ද නැතහොත් නොමිනිසෙක්ද? ´´

5. ඉක්බිති වජිරා මෙහෙණියට මේ අදහස විය. ´´ මේ මට බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම්,උපදවනු කැමැත්තේ, මා සමාධියෙන් වෙන්කරනු කැමතිව , පාපීවූ මාරයා ගාථා කියයි. ´´

6. ඉක්බිති වජිරා මෙහෙණි ´ මේ පාපීවූ මාරයා යයි දැන ගාථායෙන්ම පාපීවූ මාරයාට මෙසේ උත්තර දුන්නාය.

´´මරුව, කිම? ´සත්ත්‍වයෙකැ´ යි අදහයිද? මාරය, තට දෘෂ්ටියෙක් වීද? මේ තනි සංස්කාර පිඩෙක. මෙහි ´සත්ත්‍වවයැ´ යි ගක යුත්තෙක් නොලැබේ.

´´අවයව රැස නිසා රථයයි ව්‍යවහාරයක් යම්සේවේද, එසේම ස්කන්‍ධයන් ඇතිකල්හි සත්ත්‍වයැයි ව්‍යවහාරයවේ.

´´මෙහි දුකෙක්ම පහළවේ, දුකෙක්ම සිටියි, දුක්ම ක්‍ෂයවෙයි. දුක් මිස අන් කිසිත් මෙහි පහළ නොවේ. දුකෙන් අන්‍යවූ කිසිත් මෙහි නිරුද්ධ නොවේ.´´

6. එවිට පාපීවූ මාරයා ´වජිරා මෙහෙණිය මා දනීයැ ´ යි, දුක් දොම්නස් ඇතිව එහිම අතුරුදන් විය.

භික්‍ෂුණී සංයුත්තය නිමියේය.