1. ආළවිකා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල්හි ආළවිකා මෙහෙණිය හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස ගියාය. සැවැත්නුවරෙහි පිඬු සිඟා හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආ තැනැත්තී, විවේකය කැමැත්තී, අන්‍ධවනය කරා පැමිණියාය.

3. එකල්හි පාපී මාරයා ආළවිකා මෙහෙණියට බිය හා තැතිගැන්ම හා ලොමුදැහැගැන්ම උපදවනු කැමැත්තේ, විවේකයෙන් තොරකරනු කැමැත්තේ. ආළවිකා මෙහෙණිය යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, ආළවිකා මෙහෙණියට ගාථායෙන් මෙසේ කීය:

´´ලොවෙහි එතරවීමෙක් පැමිණ නැත. විවේකයෙන් කවර වැඩක් සිදුකරගන්නෙහිද? කම් සැප විඳුව, එසේ නොකොට පසුතැවෙන්නියක් නොවව.´´

4. එවිට ආළවිකා මෙහෙණියට මෙසේ අදහස්විය. ´මේ ගාථාව කීයේ කවරෙක්ද? මිනිසෙක්ද නොහොත් නොමිනිසෙක්ද?´

5. ඉක්බිති ආලවිකා මෙහෙණියට, ´මේ පාපීවූ මාරයා මට බිය හා තැතිගැන්ම හා ලොමුදැහැගැන්ම උපදවනු කැමැතිව, විවේකයෙන් තොරකරනු කැමැතිව ගාථාව කීයේය´ යි සිත්විය.

6. ඉක්බිති ආලවිකා මෙහෙණිය මේ පාපීවූ මාරයායයි දැන ඔහුට ගාථාවලින් මෙසේ පෙරළා කීවේය:

´´ලොවෙහි එතරවීමක් ඇත. මවිසින් එය නුවණින් දැනගන්නා ලදී. පමාවූවන්ගේ නෑ වූ පවිට, තෝ ඒ නිවන හෝ නිවන්මග නොදන්නෙහිය.

´´පස්කම් ආයුධ හුල් බඳුය. පඤචස්කන්‍ධය ඔවුන්ට මස් ලොඹු ( මස් කපන කොටය ) බඳුය. තෝ ඒ කාමයෙහි ඇලීමක් කීයෙහිද, එය මට නොඇල්මක් විය.

7. එවිට පවිටු මාරතෙම ´ආළවිකා මෙහෙණී මා දනීය´ යි දුක් දොම්නස් ඇතිව එහිම අතුරුදන්විය.