5. මාරධීතු ( නොහොත් ධීතරො ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංතෙර අජපල් නුගරුක මුල වසනසේක.

එකල්හි මරහුගේ දූ වූ, තණහාද, අරතිද, රගාද, යන තිදෙන පාපී මාරයා යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ පාපී මාරයාට ගාථායෙකින් ( මෙසේ ) කීය.

´පියාණනි, කවර හෙයින් නොසතුටුයෙහිද? කවර කවර පුරුෂයෙකු නිසා ශෝක කෙරෙයිද? අපි ඔහු, වනෙහි ඉන්නා ඇතෙකු මෙන්, රාග මලපුඩුයෙන් බැඳ ගෙනෙන්නෙමු. ඔබට යටත් වන්නේය.

2. ( ඔහු ) ´´සුගතයෝ ලොව රහත් කෙනෙක. රාගයෙන් බැඳ ගෙනිය නොහැක්ක. මරහුගේ බල පවත්නා සීමාව ඉක්මවූ කෙනෙක. එබැවින් මම් බොහෝ සේ ශෝක කෙරෙමි´´ යි ( මාරතෙම කීය. )

3. ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ´´ශ්‍රමණයාණනි, ඔබට පා මෙහෙවර කරමෝදැ?´´ යි කීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙස් ක්‍ෂයයෙහි මිදුනුසේක්ද, එහෙයින්ම ඔවුන්ගේ වචනය සිතට නොගත්සේක.

4. ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු එක් පැත්තකට ඉවත්වගොස් ´´පිරිමින්ගේ අදහස් නොඑක් සැටිය. අප එකි එකිය එක් සියක් එක් සියක් කුමරියන්ගේ වෙස් මවා ගතහොත් ඉතා යහපත්´´ යි නිශ්චය කර ගත්හ.

5. ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු එකි එකිය එක් සියක් එක් සියක් කුමරි වෙස් සියයක් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ: ´´ශ.්‍රමණයාණනි, ඔබේ පා මෙහෙවර කරම්හ´´ යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.

6. ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු මෙසේ නිශ්චය කර ගත්හ. ´´පිරිමින්ගේ අදහස් නානාවිධය. අප දරුවන් නොවැදූ අඹුවන් සියදෙනෙකුන්සේ එකි එකියක සියය සියය බැගින් මවා ගතහොත් ඉතා යහපති´´ යි නිශ්චය කර ගත්හ.

7. ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු එකි එකියක නොවැදූ අඹුවන් සියයක බැගින් වෙස් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ ´ මහණ, ඔබට පා මෙහෙවර කරම්හ´´ යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.

8. ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු එක් වරක් වැදූ ස්ත්‍රීන්ගේ වෙස් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ

´ මහණ, ඔබට පා මෙහෙවර කරම්හ´´ යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.

9. ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු දෙවරක් වැදූ ස්ත්‍රීන්ගේ වෙස් සියය බැගින් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ ´ මහණ, ඔබට පා මෙහෙවර කරම්හ´´ යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.

10. ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු මැදුම් වයස් පත් ස්ත්‍රීන්ගේ වෙස් සියය බැගින් මවාගෙන, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ ´ මහණ, ඔබට පා මෙහෙවර කරම්හ´´ යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.

11. ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු වයසින් බොහෝ වැඩුනු ස්ත්‍රීන් සිය දෙනෙකුන්ගේ වෙස් මවාගෙන, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ ´ මහණ, ඔබට පා මෙහෙවර කරම්හ´´ යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.

12. ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු පසෙක ඉවත්ව සිට, ´අප පියා කීයේ ඇත්තක්මය. (එනම්)

´´සුගතයෝ ලොව රහත් කෙනෙක. රාගයෙන් බැඳ ගෙනිය නොහැක්ක. මරහුගේ බල පැවති පෙදෙස ඉක්මවාලූ කෙනෙක. එබැවින් මම් බොහෝ සේ ශෝක කෙරෙමි´´ යි.

13. ´´අපි රාගය පහ නොකළ මොනම මහණකු කරා හෝ බමුණකු කරා හෝ මේ උපක්‍රමයෙන් එඵඹුණමෝ නම් ඔහුගේ ළය හෝ පැලෙන්නේය, උණු ලේ හෝ ඔහුගේ කටින් පිටවන්නේය, උමතු බවට හෝ පැමිණෙන්නේය. සිත් කැලඹුමට හෝ පැමිණෙන්නේය. සිඳිනු ලැබූ යම් නිල් බටගසක් යම් සේ වියලෙන්නේද, වෙසෙසින් වියලෙන්නේද, මැලවෙන්නේද, එසේම හෙතෙම වියලෙන්නේය, වෙසෙසින් වියලෙන්නේය, මැලවෙන්නේය´´ යි කීහ.

14. ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ පසෙක සිටියහ.

15. පසෙක සිටි තණ්හා මාරදූ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීවාය:

´´ශොකයට පැමිණ, වෙනෙහි සිතිවිලි සිත සිතා ඉන්නෙහිද? වස්තුවක් පැරදුණෙහිද? නැතහොත් වස්තුවක් පතමින් ඉන්නෙහිද? ගමෙහි යම් අපරාධයක් හෝ කෙළෙහිද? මහජනයා හා කවර හෙයින් යහළුකම් නොකෙරෙහිද? කිසිවකු හා ඔබේ යහළුබවෙක් ඇති නොවේද?´´

16. එවිට භාග්‍යවතුන් වහන්සේ: ´´ මම් ප්‍රියවූ, මිහිරි ස්වභාවය ඇති, කෙලෙස් සෙනඟ පරදවා, තනිව ධ්‍යාන කිරීමෙන් අභිමතාර්ථය ලැබගැන්ම වූ, ළය නිවීම වූ, රහත්ඵලය අවබෝධ කෙළෙමි. එබැවින් ජනයා හා යහඑකම් නොකරමි. කිසිවකු හා මගේ යහඑකමෙක් නැත්තේය ´´ යි වදාළ සේක.

17. ඉක්බිති අරති මාරදූතොම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීවාය.

´´ මෙහි කවර විහරණයක් බහුලකොට ඇති මහණතෙම පඤ්චවාරික ( කෙළෙස් ) මහවතුර තරණය කෙළේද? මෙලොව සයවැනි ( මනෝවාරික කෙලෙස් ) මහවතුරත් එතර කෙළේද? කාමසංඥාවෝ බොහෝ සෙයින් කෙසේ ධ්‍යාන කරන ඔහු නොලැබ මුඑමනින් බැහැර වෙත්ද? ´´

18. ( එවිට භාග්‍යවතුන් වහන්සේ : ) ´´ සන්සුන් කය ඇති, මොනවට මිදුණු සිතැති, කර්‍ම රැස් නොකරන, සිහියෙන් යුක්තවූ කාමාදී ආලය නැති රහත්තෙම චතුස්සත්‍යධර්‍මය දැන , විතර්‍ක රහිත ධ්‍යාන ඇක්තේ නොකිපෙයි , නොම සිහිකෙරෙයි , නොම හැකුඑනේද වෙයි. ´

´´ එසේ බහුල විහරණ ඇති මහණතෙම මෙහි තරණය කළ පඤචවාරික ( කෙලෙස් ) ඇතියේ, සයවැනි ( මනෝවාරික කෙලෙස් ) මහ වතුරත් තරණය කෙළේය. කාම සංඥාවෝ මෙසේ බහුල විහරණ ඇති, ධ්‍යාන කරන ඔහු නොලැබ, මුළුමනින් ඔහුගෙන් බැහැරවෙත්ය´´ යි වදාළසේක.

19. එවිට රගා නම් මරදූ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීවාය:

´´ගණයා කෙරෙහිත්, සමූහයා කෙරෙහිත් හැසිරන මෙතෙම තෘෂ්ණාව සින්දේය. බොහෝ සත්ත්‍වයෝද ඒකාන්තයෙන් මොහු ගිය මගින් යන්නාහ. ආලය නැති මෙතෙම බොහෝ ජන සමූහයක් මාර රාජයාගෙන් පැහැරගෙන පරතෙරට ( නිවනට ) පමුණුවන්නේය.´´

20. ( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ) ´´මහාවීරවූ කථාගතවරු සද්ධර්‍මයෙන් සත්ත්‍වයන් එතෙරට ( නිවනට ) පමුණුවත්මය. නුවණැතියන් ධර්‍මයෙන් සත්ත්‍වයන් එතෙර පමුණුවනකල්හි එයට කවර ඊර්‍ෂ්‍යාවෙක්ද?´´

21. ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදූහු පාපී මාරයා යම් තැනෙකද එතැනට පැමිණියහ.

22. පාපී මාරයා, එන තණහාද, අරතිද, රගාද, යන මාරදූන් දුරදීම දිටී. දැක මෙසේ ගාථාවලින් කීය:

´´අනුවණයිනි, නෙළුම් දඬුයෙන් කන්දක් පළන්නට සිතවුද? නියෙන් පර්‍වතයක් සාරන්නහුද? දතින් යකඩ විකන්නහුද?

´´ හිස මතුයෙහි මහ ගලක් තබාගෙන ගැඹුරෙහි පය ගසන්නට තැනක් සොයවුද? ළයෙහි උලක් වැදුණු සෙයින් කලකිරී ගෞතමයන් පසුව එවුද?

23. ( සංගායනා කළ තෙරහු මෙසේ කීහ: ) තණ්හාද, අරතිද, රගාද යන මාර දූහු දිලිහි දිලිහී බුදුරජුන් වෙත ආහ. එහෙත් සුළඟ පුළුන්පෙදක් ඉවතලූවා සේ ශාස්තෲන් වහන්සේ එහිදී ඒ මර දූන් දුරුකළ සේක.

තුන්වෙනි වගයි.

( මාර සංයුත්තය නිමි.)

4. සත්තවස්ස සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංතෙර අජපල් නුගරුක මුල වසනසේක.

2. එකල වනාහි පාපී මාරතෙම සිදුරක් දක්නා කැමැත්තේ, එහෙත් සිදුරක් දක්නට නොලබනුයේ, සත් වසක්ම භාග්‍යවතුන් වහන්සේ පසුපස ගියේ වෙයි.

3. ඉක්බිති පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ගාථායෙන් ( මෙසේ ) කීය:

´´ශෝකයට පැමිණ වනයෙහි සිතිවිලි සිතහිද? ධනය පැරදුණෙහිද? නැතහොත් ඒ පැරදුන දේ පතමින් ඉන්නෙහිද? නැතහොත් ගම ඇතුළත කිසි වරදක් කෙළෙහිද? කවර හෙයින් මහජනයා හා යහළු බවක් නොකෙරෙහිද? කිසිවකු හා ඔබේ යහළු බවෙක් ඇති නොවේද?´´

4. ( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: )´පමාවන්නන්ගේ ඥාතියා ශෝකයේ සියලු මුල සාරා උදුරාදමා, නිවැරුදිව, ශෝක නොකෙරෙමින්, ධ්‍යානයෙහි යෙදී ඉඳිමි. භවලෝකයයි කියනලද සියලු තන්හාව සිඳ දමා, ආශ්‍රව නැතියෙම්, ධ්‍යාන කෙරෙමි.´´

5. ( එවිට මාරයා මෙසේ කීය: ) ´´මෙය මගේයයි යමක් ගැන කියත්නම්, මේ දේ මගේයයි යම් කෙනෙක් ගැන කියත්නම්, මෙ කී තන්හි ඒකාන්තයෙන් යුෂ්මත්හුගේ සිත බැඳී ඇත. ( එබැවින් ) මහණ, ඔබ මගෙන් නොමිදෙන්නෙහිය.´´

6. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ´´ යමක් ´මගේය´ යි කියත් නම්, එය මගේ නොවේ. යම් කෙනෙක් කියත් නම්, මම් ඔවුන්ගෙන් එකෙකුත් නොවෙමි. පාපිය මෙසේ දනුව, මා ගිය මගවත් තෝ නොදක්නෙහිය.´´

7. ( මාරයා මෙසේ කීය: ) ´´ ඉදින් බියක් නැති, නිවනට යන මග අවබෝධ කෙළෙහි නම් ඉවත්වෙන්න, ඔබම තනිව යන්න. අන්හට කුමකට අනුශාසන කෙරෙහිද?´´

8. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ´´ පරතෙර යනු කැමැති ( නිවන් යනු කැමැති ) යම් කෙනෙක් ඇද්ද, ඔවුහු මරුට ඉඩක් නැති නිවන මා ( අතින් ) විචාරත්. ඔවුන් විසින් විචාරනුලැබූ මම්, යමක් සියලු කෙලෙස් රහිතනම්, ඒ නිවන ඔවුන්ට කියමි.´´

9. ( ඉක්බිති මාරතෙම මෙසේ කීයේය:) ´´ස්වාමීනි, ගමෙක හෝ නියම් ගමෙක හෝ නොදුරෙහි පොකුණෙක් ඇත්නම්, එහි කකුළුවෙක්ද ඉඳීනම්, නැවත බොහෝ දරුවෝ හෝ දැරියෝ හෝ ඒ ගමෙන් හෝ ඒ නියම්ගමෙන් හෝ නික්ම ඒ පොකුණ යම් තැනෙකද එතැනට පැමිණෙන්නාහුනම්, පැමිණ ඒ කකුළුවා යම්සේ දියෙන් ඔසවා ගොඩ තබන්නාහුද, එවිට ඒ කකුළුවා යම් යම් අඬුවක් ඉදිරියට යොමුකරන්නේනම්, ඒ දරුවෝ හෝ දැරියෝ ඒ ඒ අඬුවම ලීයෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ යම්සේ සිඳ දමන්නාහුද, යම්සේ කැබලි කැබලි කොට දමන්නාහුද, ස්වාමීනි, මෙසේ ඒ කකුළුවා කැඩුණු, බිඳුණු, කැබැලිවී ගිය අඬුවලින් යලිත් ඒ පොකුණට පෙරමෙන් බසින්නට යම්සේ නොහැකි වන්නේද, එසේම ස්වාමීනි, මා කළ යම් විරුද්ධ දේ ඇද්ද, යම් නුසුදුසු දේ ඇද්ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ විසින් සිඳින ලදය, බිඳින ලදය, සුණුවිසුණු කරන ලදය. ස්වාමීනි, සිව්රු සොයන අපේක්‍ෂා ඇතිව නැවත භාග්‍යවතුන් වහන්සේවෙත පැමිනෙන්නට දැන් මම් නොහැකියෙමි´´ යි කීයේය.

10. ඉක්බිති පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ කලකිරුම හඟවන ගාථා කීය:

´´කවුඩෙක් මේදතෙල් පාට ඇති ගලක් දැක, ´මෙහි මොළොක්බව විඳගත හෙන්නමු නම් ඉතා යෙහෙකැ´ යි ´රස විඳ ගැන්මක් වෙතොත් ඉතා යෙහෙකැ´ යි ඒ හාත්පස ගැවසෙන්නේය. එහෙත් කවුඩා එහි කිසිද රස විඳුමක් නොලැබ එයින් ඉවත්ව යන්නේය. ඒ ගල වෙත පැමිණ රස විඳ ගැන්මක් නොලැබ ඉවත්ව යන කවුඩාසේ කලකිරී ගෞතමයන් වහන්සේගෙන් අපිද ඉවත්ව යම්හ.´

11. ඉක්බිති පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ කලකිරුම හඟවන ගාථා කියා එතැනින් ඉවත්ව භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි බිම පළක් බැඳ නිහඬව, තෙද නැතිව, කරබාගෙන, බිම බලාගෙන, සිතිවිලි සිතමින්, කිසිත් වටහාගත නොහැකිවලී කැබෙල්ලකින් බිම ඉරි අඳිමින් හුන්නේය.

3. ගෝධික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසළ කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසනසේක.

2. එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඉසිගිලි කන්ද පැත්තක කළුගලෙහි වෙසෙති.

3. එකල ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. ඉක්බිති ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත විමුක්තියෙන් පිරිහුණහ.

4. දෙවෙනිවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. දෙවෙනිවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත විමුක්තියෙන් පිරිහුණහ.

5. තුන්වෙනිවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. තුන්වෙනිවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත විමුක්තියෙන් පිරිහුණහ.

6. සතරවනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. සතරවනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත විමුක්තියෙන් පිරිහුණහ.

7. පස්වනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. පස්වනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් ලත් චිත්ත විමුක්තියෙන් පිරිහුණහ.

8. හයවනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලැබූහ. හයවනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික ධ්‍යානයෙන් පිරිහුණහ.

9. සත්වනවරද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව, කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව, වසනුවෝ ලෞකික ධ්‍යාන ලදහ.

10. ඉක්බිති ආයුෂ්මත් ගෝධික තෙරුන්හට මේ සිතවිය. ´සත්වනවර දක්වාම මම ලෞකික ධ්‍යානයෙන් පිරිහිණිමි. ආයුධයෙන් දිවි නසාගන්නෙම් නම් යෙහෙක.´

11. ඉක්බිති පවිටු මරතෙම ආයුෂ්මත් ගෝධික තෙරුන්ගේ සිත තම සිතින් දැන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, ගාථායෙන් මෙසේ කීයේය:

´´මහා වීරයෙනි, මහ පැණැතියෙනි, ඎද්ධියෙන්, යසසින් දිලෙන තැතැත්තෙනි, හැම වෛර හා බිය ඉක්මවූවෙනි, පසැස් ඇතියෙනි, මම ඔබ දෙපා වඳිමි.

´´මහා වීරයාණනි, මාරයා මැඩලූ තැනැත්තෙනි, ඔබේ ශ්‍රාවකයෙක් මැරෙනු කැමැති වෙයි, මැරෙන්න සිතයි. මහ තෙදැතියෙනි, එය වළක්වනු මැනවි.

´´ ජනයා අතර ප්‍රකට වූ භාග්‍යවතුන් වහන්ස, සස්නෙහි ඇලුණු රහත් බව නොලත්, තවම සිල් ආදිය පුරා නොනිමි, ඔබ ශ්‍රාවකයෙක් කෙසේ නම් මැරෙන්නේද?´

12. එකල වනාහි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ආයුධයක් ගෙන උගුරුදණ්ඩ සිඳගත්තේය.

13. එවිටම භාග්‍යවතුන් වහන්සේ ´ මේ පාපී මරුය ´ යි දැන, ගාථායෙන් මෙසේ වදාළසේක:

´´ නුවණැතියෝ එසේම කෙරෙත්. දිවි නොබලත්. ගෝධික තෙරණුවෝ තෘෂ්ණාව සහමුලින් ඇද දමා පිරිනිවියහ.´´

14. ඉක්බිති භාග්‍යවකුන් වහන්සේ භික්‍ෂූන්ට කථාකර, ´´ මහණෙනි, එමු ඉසිගිලි කන්ද පැත්තක ගෝධික කුලපුතු ආයුධයකින් ( උගුරුදන්ඩ ) සිඳගත් තැනවූ තළුගල වෙත පැමිණෙන්නෙමු´´ යි වදාළසේක.

15. ´´එසේය, ස්වාමීනි´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවකුන් වහන්සේට උත්තර දුන්හ.

16. ඉක්බිති භාග්‍යවකුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් හා ඉසිගිලිය පැත්තක කළුගල යම් තැනෙකද එතැනට පැමිණිසේක. භාග්‍යවකුන් වහන්සේ දුරදීම පෙරළුණු කඳ ඇතිව ඇඳෙහි හෝනා ආයුෂ්මත් ගෝධික තෙරුන් දුටුසේක.

17. එකල්හි වනාහි දුම් වලාවක් බඳු, අඳුරු වලාවක් බඳු, දෙයක් නැගෙණහිර දෙසටද යයි, බස්නාහිර දෙසටද යයි, උතුරු දෙසටද යයි, දකුණු දෙසටද යයි, උඩු අතටද යයි, යට දෙසටද යයි, අනු දිග්වලටද යයි.

18. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථාකර, ´´ මහණෙනි, තෙපි ඔය නැගෙණහිර දෙසටද යන. බස්නාහිර දෙසටද යන, උතුරු දෙසටද යන, දකුණු දෙසටද යන, උඩ දෙසටද යන, යට අතටද යන, දුම් වලාවක් බඳු, අඳුරු වලාවක් බඳු, දෙය දක්නහු දැ?´´ යි ඇසූසේක. ´එසේය, ස්වාමීනි,´´ යි (භික්‍ෂූහු උත්තරදුන්හ,)

19. මහණෙනි, ඒ පාපී මරුවාය. ඔහු ගෝධික කුලපුතුගේ ( පුතිසන්‍ධි ) විඥානය කොහි පිහිටියේදැයි සොය සොයා යයි. එහෙත් මහණෙනි, ගෝධික කුලපුතුගේ විඥානය කිසි තැනෙකත් නොපිහිටියේය. කිසි තැනෙක නොපිහිටි ( පුතිසන්‍ධි ) විඥානයෙන් ගෝධික කුලපුත්තෙම පිරිනිවියේය´´ යි වදාළසේක.

20. ඉක්බිති පාපී මාරතෙම බේපුවපණඩුවීණාව ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ගාථායෙන් ( මෙසේ ) කීය.

´´ මම උඩද යටද සරසද සිව්දිග හා අනුදිසාද සෙව්යෙම් ( ඔහු ) නොදක්මි. ඒ ගෝධිත කෙම කොහි ගියේද?´´

21, ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ´´දිරිමත්වූ ධ්‍යාන වඩන ගති ඇති, හැම විටම ධ්‍යානයෙහි ඇලුණු, දිවි නොතකමින් දිවා රෑ දෙක්හි භාවනාවෙහි යෙදුන ඒ ගෝධිකතෙම මරහුගේ සේනා බිඳ, නැවත ඉපදීමකට නොපැමිණ, තණ්හාව සහමුලින් උපුටාදමා පිරිනිවියේය.´´

22. ශෝකයෙන් මැඩුණු ඒ මරහුගේ කිසිල්ලෙන් වීණාව ගිලිහුණේය. ඉක්බිති දුකටපත්වූ ඒ යක්තෙම එහිම අතුරුදන්විය.

2. සමිද්ධි සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි සීලාවතියෙහි වැඩවසනසේක.

2. එකල වනාහි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි නොපමාව, කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, නිවන් අතට මෙහෙයූ සිතැතිව වෙසෙති.

3. එකල වනාහි තනිව විවේකයෙන් හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ට ´යම් බඳුවූ මාගේ ශාස්තෲන්වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්ධද, ඉන් මට වූයේ ඒකාන්කයෙන් මහත් ලාභයෙක. මා ආත්මභාවය හොඳාකාර ලදුයේය. යම්බඳු මම් හොඳාකාර දෙසූ දහම් විනයෙහි ( සස්නෙහි ) පැවිදි වීම්ද, ඒ මට වූයේ මහත් ලාභයෙක. ඒ මා විසින් ආත්මභාවය මැනවින් ලදුයේවන. යම්බඳු මගේ සබ්‍රහ්මචාය්‍ර්‍යවරු සිල්වත් වෙත්ද, මනා ස්වභාව ඇතියෝ වෙත්ද, ඒ මට වූයේ මහත් ලාභයෙක. ඒ මා ආත්මභාවය මැනවින් ලදුයේය´ යි මෙසේ සිතෙහි කල්පනාවෙක් උපන.

4. එකල පාපී මාරයා, කම සිතින් ආයුෂ්මත් සමිද්ධි තෙරණුන්ගේ සිත දැන, සමිද්ධි ආයුෂ්මතුන් යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, සමිද්ධි ආයුෂ්මතුන්ට නොදුරෙහි පොළොව පැළී යන කලෙක සෙයින් බිය උපදවන මහත් භයානක හඬක් කෙළේය.

5. ඉක්බිති ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්හ. එසේ එක් පසෙක හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

6. ´´ ස්වාමීනි, මම මෙහි භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි නොපමාව, කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, නිවන් අතට මෙහෙයූ සිතැතිව, විසීමි තනිව විවේකයෙන් හුන් ඒ මට යම්බඳුවූ මාගේ ශාස්තෲන්වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්ධද, ඉන් මට වූයේ මහත් ලාභයෙකි. යම්බඳුවූ මම් යහපත්කොට දෙසූ ධර්‍ම විනයෙහි පැවිදි වීම්ද, එයින් මට වූයේ මහත් ලාභයෙකි. මාගේ බ්‍රහ්මචාය්‍ර්‍යවරු සිල්වත් වෙති, ගුණවත් වෙති, ඉන් මට වූයේ මහත් ලාභයෙක. මෙසේ කල්පනාවෙක් උපන. ස්වාමීනි, ඒ මා නොදුරෙහි පොළොව පැළී යන්නා බඳුවූ බිය උපදවන මහත් භයංකාර මහ හඬෙක් විය´´ යි,

7. එවිට භාග්‍යවතුන් වහන්සේ: ´´සමිද්ධිය, ඒ පොළොව පැළීගියා නොවේ. ඒ පාපී මාරයා තොපගේ නුවණ ඇස අඳුරු කරන්නට ආයේය. සමිද්ධියෙනි, තෙපි යව්. එහිම, නොපමාව, කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව වසවු´´ යයි වදාළසේක.

8. ´´ එසේය, ස්වාමීනි,´´ යි කියා ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට උත්තර දී හුන් අස්නෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණුකොට නික්මියේය.

9. දෙවෙනිවරද ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ එහිම, නොපමාවම, කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, නිවන් කරා යොමුකළ සිතැතිව විසූහ. දෙවෙනිවරද තනිව ආයුෂ්මත් සමිද්ධි තෙරුන්හට ´යම් බඳුවූ මාගේ ශාස්තෲන්වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්ධද, ඉන් මට වූයේ මහත් ලාභයෙකි. යම්බඳුවූ මම යහපත්කොට දෙසූ ධර්‍ම විනයෙහි පැවිදි වීම්ද, එයින් මට වූයේ මහත් ලාභයකි. මාගේ සබ්‍රහ්මචාය්‍ර්‍යවරු සිල්වත් වෙති. ගුණවත් වෙති, ඉන් මට වූයේ ලාභයෙක. මා විසින් ආත්මභාවය මැනවින් ලද්යේය´ යි මේ කල්පනාව සිතෙහි පහළවිය. දෙවෙනිවරද පාපී මාරතෙම, ආයුෂ්මත් සමිද්ධි තෙරණුන්ගේ සිතෙහි කල්පනාව කම සිතින් දැන, සමිද්ධි ආයුෂ්මතුන් යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ පොළොව පැළී යන කලෙක සෙයින් බිය උපදවන මහ භයංකාර හඬක් කෙළේය.

10. එවිට ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ ´මේ පාපී මාරයා´ යි දැන, පාපී මාරයාට ගාථායෙන් මෙසේ කීය:

´´මම ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිදිවූයෙම්. ඒ මගේ සිහියත් ප්‍රඥාවත් වැඩුණහ. මගේ සිත මැනවින් පිහිටුවන ලද්දේ වේ. තට කැමැතිසේ බිහිසුණුදේ කරව. එහෙත් තෝ මා නොසොලවන්නෙහි.´´

11. එවිට පවිටු මරතෙම ´සමිද්ධි මහණතෙම මා දනීය´ යි දුක් ඇතිව, දොම්නස් ඇතිව, එහිම අතුරුදන්විය.

1. සම්බහුල සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය රටෙහි සීලාවතී ගමෙහි වැඩවසනසේක.

2. එකල වනාහි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට නොදුරු තැන, එළඹ සිටි සිහි ඇතිව, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, නිවන්කරා මෙහෙයූ සිත් ඇතිව, වෙසෙත්.

3. එකල්හි පාපී මාරයා බමුණු වෙසක් මවාගෙන, මහත් ජටාවක් බැඳගෙන, අඳුන් දිවි සම් හැඳ පොරවාගෙන, මහලුව වකුටු පරාලයක්සේ වක්වූ ශරීරයක් ඇතිව, ඝුරු ඝුරු යන හඬින් හුස්ම පිට කෙරෙමින්, දිඹුල් සැරයටියක් අතින් ගෙන, ඒ භික්‍ෂූහු යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, ´´පැවිදිවරු ළපටියහ, තරුණයහ, කළු කෙහෙ ඇතියහ, මනා තරුණ භාවයෙන් යුක්තයහ, කම්සුව නොවිඳියෝහ. භවත්හු මිනිස් කම්සැප විඳිත්වා. දැන් මේ ආත්මයෙහි වින්දයුතු සැප හැර, කල් ගොසින් වින්දයුතු සැපක් ඔස්සේ නොදුවත්වා´´ යි කීය.

4. එවිට ඒ භික්‍ෂූහු, ´´බමුණ, මේ ආත්මයෙහිදී වින්දයුතු සුව හැරදමා කල් ගොසින් ලැබෙන සැපක් ඔස්සේ අපි නොදුවමු. බමුණ, කල් ගොසින් ලැබෙන සැප හැර දමා මේ ආත්මයෙහිදීම ලැබියයුතු සැප ඔස්සේ දුවමු. බමුණ, ´ කම්සැප වනාහි කල් ගොසින් ලැබෙන දෙයක, බොහෝ දුක් ඇති එකෙක, දැඩි වෙහෙස ඇතිඑකෙක. මෙහි දොස් බොහෝයැ´ යිද, ´මේ ලොවුතුරා දහම වනාහි මේ ආත්මයෙහිම කමා විසින්ම වින්දයුතුය. කල් නොයවා සැප පල දෙන ස්වභාව ඇත්තේය, එව බලවයි කියයුතුය. තම සිත්හි පමුණුවාලීමට සුදුසුය. නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහිලා දතයුතුයැ´ යිද, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදැ´´ යි කීහ.

5. මෙසේ කී කල්හි පාපී මාරයා තම හිස පහතට වනා, දිව දික්කොට ලෙලවා, බැම හකුළුවා, නලළෙහි තුන් රුළි නංවා, සැරයටියට බරව ( එබී ) නික්ම ගියේය.

6. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්හ. එක් පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය.

7. ´´ස්වාමීනි, අපි මෙහි භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි නොපමාව එළඹ සිටි සිහි ඇතියෝව, කෙලෙස් කවන වීය්‍ර්‍ය ඇතියෝව, නිවන්කරා මෙහෙයූ සිතැතියෝව, විසීමු. එකල එක්තරා මහලුවූ, වකුටු පරාලයක්සේ වක්වූ බමුණෙක් ජටාවක් බැඳගෙන, අඳුන් දිවි සම් හැඳ පෙරවා, ඝුරු ඝුරු යන ශබ්දයෙන් හුස්ම පිට හෙලමින්, දිඹුල් ලීයෙන් කළ සැරයටියක් ගෙන, අපකරා පැමිණියේය. පැමිණ, ´´ භවත් පැවිදිවරු ළපටියහ, තරුණයහ, කළු කෙහෙ ඇතියහ, මනා තරුණ බවෙන් යුක්තයහ, කම්සැප නොවිඳියෝහ. භවත්හු මිනිස් කම්සැප විඳිත්වා. දැන් මේ ආත්මයෙහි වින්දයුතු සැප හැර, කල් ගොසින් වින්දයුතු සැපක් ඔස්සේ නොදුවත්වා´´ යි අපට කීය.

8. ´´ ස්වාමීනි, එසේ කී කල අපි ඔහුට, ´ බමුණ, මේ ආත්මයෙහිදී වින්දයුතු සැප හැරදමා කල් ගොසින් ලැබෙන සැපක් ඔස්සේ අපි නොදුවමු. බමුණ, ´ කම්සැප වනාහි කල් ගොසින් ලැබෙන දෙයකි, බොහෝ දුක් ඇති එකෙක, දැඩි වෙහෙසක් ඇති එකෙක. මෙහි දොස් බොහෝය´ යිද, ´මේ ලොවුතුරා දහම වූකලී කල් නොයවා සැප ඵල දෙන ස්වභාව ඇත්තේය, එව බලවයි කියයුත්තෙක. තම සිත්හි පමුණුවාලීමට සුදුසුය. නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහිලා දතයුතුයැ´ යිද, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදැ´´ යි කීමු.

9. ´´ ස්වාමීනි, මෙසේ කී කල්හි ඒ බමුණුතෙම හිස පහතට වනා, දිව දික්කොට ලෙලවා, බැම හකුළුවා, නලළෙහි තුන් රුළි නංවා, සැරයටියට බරව, නික්ම ගියේය.´´

10. එවිට භාග්‍යවතුන් වහන්සේ: ´´ මහණෙනි, ඒ බමුණෙක් නොවේ. ඒ පාපී මාරයාය, තොපගේ නුවණ ඇස් වසාලන්නට ආයේය´´ යි වදාළසේක.

11. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ සලකා එවේලෙහි මේ ගාථාව වදාළසේක.

´´යමෙක් දුක පස්කම් සැපක් මුල්කොට පවතීයයි දිටීද, ඒ සත්ත්‍වතෙම ඒ කම්සැප කෙරෙහි කෙසේනම් නැමිය හැක්කේද? කම්සැප ලොව සතුන් ලැගෙනා දේයයි දැන සත්ත්‍වතෙම එයම දුරලනු පිණිස හික්මෙන්නේය.´´