9. කස්සන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණ සමූහයාට නිවන් පිළිබඳවූ දහම් කථායෙන් කරුණු දක්වනසේක. කරුණු සිතෙහි ගන්වනසේක. එහි ඔවුන් උනන්දු කරවනසේක. ඔවුන් සිත ප්‍රීතිකළසේක. ඒ මහණ සමූහයාද එයට කැමැතිව, සිත්හි ලාගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලූ කන් ඇතිව බණ අසත්.

2. එවිට පාපී මාරයාට මේ අදහස විය. ´´ මේ ශ්‍රමණ ගෞතමයා නිවන් පිළිබඳවූ දහම් කථායෙන් මහණ සමූහයාට කරුණු දක්වයි. කරුණු සිතෙහි ගන්වයි. එහි ඔවුන් උනන්දු කරවයි. ඔවුන් සිත ප්‍රීතිකරවයි. ඒ මහණ සමූහයාද එයට කැමැතිව, සිත්හි ලාගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලූ කන් ඇතියෝව බණ අසත්. ඔවුන් නුවණැස් අවුරනු සඳහා මහණ ගොහුම්හු කරා යන්නෙම් නම් යෙහෙක.´´

3. පාපී මාරයා ගොවි වෙස් ගෙන, මහ නගුලක් කරෙහි තබාගෙන, දික් කැවිටි ලීයක් අතින් ගෙන, විසිරගිය කෙස් ඇතිව, හණ රෙද්දක් පොරවාගෙන, මඩ වැකුණු පයින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය.

4. පැමිණ, ´´මහණ, මා ගොනුන් දුටුයෙහිදැ´´ යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.

5. ´´පව්කාරය, තට ගොනුන්ගෙන් කවර වැඩෙක්ද?´´

6. ´´මහණ, ඇස මගේමය, රූප මගේමය, ඇස හා රූපයාගේ පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මහණ, කණද මගේමය, හඬද මගේමය, කණ හි හඬෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? නැහැය මගේමය, ගඳද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? දිව මගේමය, රසද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? කයද මගේමය, එහි හැපෙන දේත් මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මනස මගේමය, දහම් අරමුණුත් මගේමය. ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයත් මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් ගැලවෙන්නෙහිද?

7. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´පව්කාරය, ඇස තගේමය, රූප තගේමය, ඇස හා රූපයෙන් හටගන්නා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි ඇසත් නැත්නම්, රූපයත් නැත්නම්, ඇස් පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනෙක් නැත.

8. ´´පව්කාරය, කණද තගේමය, ශබ්දයද තගේමය, කණ හා ශබ්දයෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි කණත් නැත්නම්, ශබ්දයත් නැත්නම්, කණෙ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනෙක් නැත.

9. ´´පව්කාරය, නැහැය තගේමය, ගඳ තගේමය, නැහැය හා ගඳෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි නහැයත් නැත්නම්, ගඳත් නැත්නම්, ගඳෙන් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තගේ ගමනෙක් නැත.

10. ´´පව්කාරය, දිව තගේමය, රසත් තගේමය, දිව හා රසෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි දිවත් නැත්නම්, රසත් නැත්නම්, දිවේ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තගේ ගමනෙක් නැත.

11. ´´ පව්කාරය, සිත තගේමය, සිත් අරමුණු තගේමය, සිත හා සිත් අරමුණෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම් තැනෙක වනාහි සිතත් නැත්නම් සිත් අරමුණුත් නැත්නම් සිතේ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම් එහි තාගේ ගමනෙක් නැත.

12. ( එවිට මාරයා මෙසේ කීය: ) ´´යමෙකුට ´මෙය මගේය´ යි කියත්ද, යම් කෙනෙක්, ´මෙය මගේය´ යි කියත්ද, එතන්හි ඉදින් ඔබගේ සිත ඇත්තේනම්, මහණ, ඔබට මගෙන් මිදීමෙක් නැත.´´

13. (බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ යමෙක් ´මෙය මගේය´ යි කියත්ද, ඒ කිසිත් මගේ නොවේ, යම් කෙනෙක් හෝ ´මෙය මගේය´ යි කියත්ද, මම ඒ කිසිවෙකුත් නොවෙමි. පාපිය, කාරණය මෙසේ දනුව. මා ගිය මාර්‍ගයවත් තෝ නොදත්තෙහිය.´´

7. එවිට පාපී මාරයා ´භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති´ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.