7. ආයතන සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අසල මහා වනයෙහි කූටාගාරශාලා නම් වෙහෙර වැඩවසනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ ස්පර්‍ශායතන සය ගැන මහණ සමූහයාට දැහැමි කථායෙන් කරුණු දක්වනසේක. ඒ ඔවුන් සිතෙහි ගන්වනසේක. එහි ඔවුන් උනන්දුකරනසේක. ඔවුන් සිත පහදවනසේක. ඒ මහණ සමූහයාද ඒ වැඩ ඇති දෙයක් කොටගෙන, සිත්හි ලා, මුළු සිතින් ඒ එක්කොටගෙන කන් යොමා බණ අසත්.

2. එකල පාපී මාරයාට මේ සිත විය. ´´ශ්‍රමණ ගෞතම තෙම ස්පර්‍ශායතන සය ගැන දහම් කථාවෙන් මහණ සමූහයාට කරුණු දක්වයි. ඒ ඔවුන් සිත්හි ගන්වයි. එහි ඔවුන් උනන්දුකරයි. ඔවුන් සිත ප්‍රීතිකරවයි. ඒ ඝික්‍ෂූහුද එයට කැමතිව සිත්හි ලා මුළු සිතින් එක්කොටගෙන කන් යොමා අසන්නාහ. ඔවුන් නුවණැස් කණකරලන්නට ශ්‍රමණ ගෞතමයන් කරා ගියොත් යහපත.´´

3. ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් නොදුරෙහි පොළොව පැළී යන කලක් සෙයින් මහා භයානක හඬක් කෙළේය.

4. එවිට එක්තරා මහණෙක් අන් මහණෙකුට ´´මහණ, මහණ. මේ පොළොව පැළී විවරවන්නා සේය´´ යි කීය.

5. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට ´´මහණ, මෙය පොළොව පැළී යන්නා නොවේ. මේ පාපී මාරයාය. ඔහු තොප නුවණැස් පියවාලන්නට ආයේය´´ යි වදාළසේක.

6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ´මේ පාපී මාරයාය´ යි දැන ඔහුට ගාථායෙන් මෙය වදාළසේක:

´´රූපයද, ශබ්දයද, ගන්‍ධයද, කය හැපෙන දේද, සිතෙහි අරමුණුද, යන මේ හැම නපුරු ඇමය

ලෝ වැස්සා මෙහි දැඩිසේ ඇලී ගියේය.´´

´´බුදුහුගේ සිහි ඇති ශ්‍රාවකතෙම මේ ( ආයතන සයද ) ඉක්මවා, මාරයාට ස්ථානයවූ මේ ( තුන් භවයද ) පසුකොටලා, සූය්‍යර්‍යා මෙන් බැබළෙයි.´´

7. එවිට පාපී මාරයා ´භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති´ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.