10. රජ්ජ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට හිමවත පැත්තේ අරණ්‍ය කුටියක වැඩවසනසේක.

2. එකල්හි තනිව විවේකයෙන් සිටියාවූ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කල්පනාවෙක් විය. ´´ අනුන් නොනසමින්, නොනස්වමින්, නොදිනමින්, නොදිනවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින්, දැහැමෙන් රජය කරවත හැකිද?´´

3. පාපී මාරයා, භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි කල්පනාව තම සිතින් දැන, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට, ´´ස්වාමීනි, නොනසමින්, නොනස්වමින්, නොදිනමින්, නොදිනවමින්, ශෝක නොකෙරෙමින්, ශෝක නොකරවමින්, භාග්‍යවතුන් වහන්සේ දැහැමෙන් රජය කරවනසේක්වා ´´

4. එවිට භාග්‍යවතුන් වහන්සේ ´´ පාපිය, ´නොනසමින්, නොනස්වමින්, නොදිනමින්, නොදිනවමින්, ශෝක නොකෙරෙමින්, ශෝක නොකරවමින්, භාග්‍යවතුන් වහන්සේ දැහැමෙන් රජය කරවනසේක්වා´ යි මට මෙසේ කියන්නට තෝ කවර කරුණක් දන්නෙයිදැ? ´´ යි කීහ.

5. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ඎද්ධිපාද සතර වඩන ලදහ. බහුල කරන ලදහ. යෙදූ යානයක්සේ කරන ලදහ. තහවුරුකොට තම සිත පිහිටුවන ලදහ. නොහැර නිතර තමා කෙරෙහි පවත්වන ලදහ. පුරුදුකරන ලදහ. මැනැවින් සම්පූර්‍ණකරන ලදහ. ඉදින් භාග්‍යවතුන් වහන්සේ කැමතිනම් ´හිමාලය පර්‍වතය රන් ගොඩක්ම වේවා´ යි සිතුවහොත් ඒ පර්‍වතය රන් ගොඩක්ම වන්නේය.´´ යි ( මාරයා කීය. )

6. ( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ රනින්ම නිමියාවූ රන් ගොඩක්මවූ එක පර්‍වතයක් තබා එමෙන් දෙගුණයක් මහත් පර්‍වතයක් වුවද, එය එක් පුරුෂයෙකුට සිතට නොසෑහේ. මෙසේ මෙකරුණ දන්නා නුවනැත්තේ සමව හැසිරෙන්නේය.

´´යම් පස්කම් හේතුයෙන් දුක් පහළවේයයි යමෙක් මෙසේ දුක දුටීනම්, ඒ සත්තෙම කෙසේනම් එකී පස්කම්හි නැමෙන්නේද? නුවණැති පුද්ගලතෙම ´පස්කම් ලෝකයෙහි සිත බැඳෙනා දේය´ යි දැන එය දුරුකිරීම පිණිස හික්මියයුතු.´´

7. එවිට පාපී මාරයා ´බුදුරජහු මා දැනගති. සුගතයෝ මා දැනගති´ යි සලකා දුක්ව නොසතුටුව එහිම අතුරුදන්විය.

දෙවෙනි වගයි.