10. රජ්ජ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට හිමවත පැත්තේ අරණ්‍ය කුටියක වැඩවසනසේක.

2. එකල්හි තනිව විවේකයෙන් සිටියාවූ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කල්පනාවෙක් විය. ´´ අනුන් නොනසමින්, නොනස්වමින්, නොදිනමින්, නොදිනවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින්, දැහැමෙන් රජය කරවත හැකිද?´´

3. පාපී මාරයා, භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි කල්පනාව තම සිතින් දැන, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට, ´´ස්වාමීනි, නොනසමින්, නොනස්වමින්, නොදිනමින්, නොදිනවමින්, ශෝක නොකෙරෙමින්, ශෝක නොකරවමින්, භාග්‍යවතුන් වහන්සේ දැහැමෙන් රජය කරවනසේක්වා ´´

4. එවිට භාග්‍යවතුන් වහන්සේ ´´ පාපිය, ´නොනසමින්, නොනස්වමින්, නොදිනමින්, නොදිනවමින්, ශෝක නොකෙරෙමින්, ශෝක නොකරවමින්, භාග්‍යවතුන් වහන්සේ දැහැමෙන් රජය කරවනසේක්වා´ යි මට මෙසේ කියන්නට තෝ කවර කරුණක් දන්නෙයිදැ? ´´ යි කීහ.

5. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ඎද්ධිපාද සතර වඩන ලදහ. බහුල කරන ලදහ. යෙදූ යානයක්සේ කරන ලදහ. තහවුරුකොට තම සිත පිහිටුවන ලදහ. නොහැර නිතර තමා කෙරෙහි පවත්වන ලදහ. පුරුදුකරන ලදහ. මැනැවින් සම්පූර්‍ණකරන ලදහ. ඉදින් භාග්‍යවතුන් වහන්සේ කැමතිනම් ´හිමාලය පර්‍වතය රන් ගොඩක්ම වේවා´ යි සිතුවහොත් ඒ පර්‍වතය රන් ගොඩක්ම වන්නේය.´´ යි ( මාරයා කීය. )

6. ( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ රනින්ම නිමියාවූ රන් ගොඩක්මවූ එක පර්‍වතයක් තබා එමෙන් දෙගුණයක් මහත් පර්‍වතයක් වුවද, එය එක් පුරුෂයෙකුට සිතට නොසෑහේ. මෙසේ මෙකරුණ දන්නා නුවනැත්තේ සමව හැසිරෙන්නේය.

´´යම් පස්කම් හේතුයෙන් දුක් පහළවේයයි යමෙක් මෙසේ දුක දුටීනම්, ඒ සත්තෙම කෙසේනම් එකී පස්කම්හි නැමෙන්නේද? නුවණැති පුද්ගලතෙම ´පස්කම් ලෝකයෙහි සිත බැඳෙනා දේය´ යි දැන එය දුරුකිරීම පිණිස හික්මියයුතු.´´

7. එවිට පාපී මාරයා ´බුදුරජහු මා දැනගති. සුගතයෝ මා දැනගති´ යි සලකා දුක්ව නොසතුටුව එහිම අතුරුදන්විය.

දෙවෙනි වගයි.

9. කස්සන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණ සමූහයාට නිවන් පිළිබඳවූ දහම් කථායෙන් කරුණු දක්වනසේක. කරුණු සිතෙහි ගන්වනසේක. එහි ඔවුන් උනන්දු කරවනසේක. ඔවුන් සිත ප්‍රීතිකළසේක. ඒ මහණ සමූහයාද එයට කැමැතිව, සිත්හි ලාගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලූ කන් ඇතිව බණ අසත්.

2. එවිට පාපී මාරයාට මේ අදහස විය. ´´ මේ ශ්‍රමණ ගෞතමයා නිවන් පිළිබඳවූ දහම් කථායෙන් මහණ සමූහයාට කරුණු දක්වයි. කරුණු සිතෙහි ගන්වයි. එහි ඔවුන් උනන්දු කරවයි. ඔවුන් සිත ප්‍රීතිකරවයි. ඒ මහණ සමූහයාද එයට කැමැතිව, සිත්හි ලාගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලූ කන් ඇතියෝව බණ අසත්. ඔවුන් නුවණැස් අවුරනු සඳහා මහණ ගොහුම්හු කරා යන්නෙම් නම් යෙහෙක.´´

3. පාපී මාරයා ගොවි වෙස් ගෙන, මහ නගුලක් කරෙහි තබාගෙන, දික් කැවිටි ලීයක් අතින් ගෙන, විසිරගිය කෙස් ඇතිව, හණ රෙද්දක් පොරවාගෙන, මඩ වැකුණු පයින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය.

4. පැමිණ, ´´මහණ, මා ගොනුන් දුටුයෙහිදැ´´ යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.

5. ´´පව්කාරය, තට ගොනුන්ගෙන් කවර වැඩෙක්ද?´´

6. ´´මහණ, ඇස මගේමය, රූප මගේමය, ඇස හා රූපයාගේ පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මහණ, කණද මගේමය, හඬද මගේමය, කණ හි හඬෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? නැහැය මගේමය, ගඳද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? දිව මගේමය, රසද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? කයද මගේමය, එහි හැපෙන දේත් මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මනස මගේමය, දහම් අරමුණුත් මගේමය. ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයත් මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් ගැලවෙන්නෙහිද?

7. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´පව්කාරය, ඇස තගේමය, රූප තගේමය, ඇස හා රූපයෙන් හටගන්නා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි ඇසත් නැත්නම්, රූපයත් නැත්නම්, ඇස් පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනෙක් නැත.

8. ´´පව්කාරය, කණද තගේමය, ශබ්දයද තගේමය, කණ හා ශබ්දයෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි කණත් නැත්නම්, ශබ්දයත් නැත්නම්, කණෙ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනෙක් නැත.

9. ´´පව්කාරය, නැහැය තගේමය, ගඳ තගේමය, නැහැය හා ගඳෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි නහැයත් නැත්නම්, ගඳත් නැත්නම්, ගඳෙන් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තගේ ගමනෙක් නැත.

10. ´´පව්කාරය, දිව තගේමය, රසත් තගේමය, දිව හා රසෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි දිවත් නැත්නම්, රසත් නැත්නම්, දිවේ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තගේ ගමනෙක් නැත.

11. ´´ පව්කාරය, සිත තගේමය, සිත් අරමුණු තගේමය, සිත හා සිත් අරමුණෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම් තැනෙක වනාහි සිතත් නැත්නම් සිත් අරමුණුත් නැත්නම් සිතේ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම් එහි තාගේ ගමනෙක් නැත.

12. ( එවිට මාරයා මෙසේ කීය: ) ´´යමෙකුට ´මෙය මගේය´ යි කියත්ද, යම් කෙනෙක්, ´මෙය මගේය´ යි කියත්ද, එතන්හි ඉදින් ඔබගේ සිත ඇත්තේනම්, මහණ, ඔබට මගෙන් මිදීමෙක් නැත.´´

13. (බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ යමෙක් ´මෙය මගේය´ යි කියත්ද, ඒ කිසිත් මගේ නොවේ, යම් කෙනෙක් හෝ ´මෙය මගේය´ යි කියත්ද, මම ඒ කිසිවෙකුත් නොවෙමි. පාපිය, කාරණය මෙසේ දනුව. මා ගිය මාර්‍ගයවත් තෝ නොදත්තෙහිය.´´

7. එවිට පාපී මාරයා ´භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති´ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.

8. පිණ්ඩ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට පඤචසාලා නම් බමුණුගම වැඩවසනසේක.

2. එකල වනාහි පඤචසාලා බමුණුගම කුමරුවන්ගේ පඬුරු කෙනෙක් වෙත්. ( තුටු පඬුරු එළවන සැණකෙළියෙක් වේ. )

3. එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරුගෙන එගමට පිඬු පිණිස වන්සේක.

4. එකල පඤචසාලා බමුණුගම වැසි බමුණන්ටත් ගෘහපතියන්ටත් පාපී මාරයා ´ශ්‍රමණ ගෞතම තෙම පිණ්ඩපාතය නොලබාවා´ යි සිතා ආවේශ විය.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සේදූ පාත්‍රයෙන් යුතුව යම්සේ එගමට පිඬු පිණිස වැඩිසේක්ද, එසේම සේදූ පමණක්මවූ හිස් පාත්‍රයෙන් යුතුව ආපසු වැඩිසේක.

6. ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, ´´මහණ, පිණ්ඩපාතය ලද්දෙහිදැ´´ යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.

7. ´´පාපී මාරය, මා පි්ඩු නොලබන ලෙසක් තෝ කෙළෙහි නොවේද?´´

8. ස්වාමීණි , එසේනම් භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වරෙකද පඤචසාලා බමුණුගමට පිඬුපිණිස පිවිසෙන සේක්වා. යම්සේ භාග්‍යවතුන් වහන්සේ පිඬු ලබනසේක් වන්නෝද, ඒ සැටි කරන්නෙමි.´´

( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ) ´´මාරතෙම තථාගතයන් වහන්සේ ගටා පව් රැස්කරගත. පවිට, තෝ ´මට පව් පල නොදෙතැ´ යි සිතහිද? එසේ නොසිතව.

´´බලව, යම්බඳු අපට කිසි හිරිහැරයක් නැද්ද, ඒ අපි ඉතා සුවසේ ජිවත්වම්හ. ආභස්සර දෙවියන් සේ ප්‍රීතියම ආහාරකොටැති වන්නෙම්‍ර,´´

7. එවිට පාපී මාරයා ´භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති´ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.

7. ආයතන සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අසල මහා වනයෙහි කූටාගාරශාලා නම් වෙහෙර වැඩවසනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ ස්පර්‍ශායතන සය ගැන මහණ සමූහයාට දැහැමි කථායෙන් කරුණු දක්වනසේක. ඒ ඔවුන් සිතෙහි ගන්වනසේක. එහි ඔවුන් උනන්දුකරනසේක. ඔවුන් සිත පහදවනසේක. ඒ මහණ සමූහයාද ඒ වැඩ ඇති දෙයක් කොටගෙන, සිත්හි ලා, මුළු සිතින් ඒ එක්කොටගෙන කන් යොමා බණ අසත්.

2. එකල පාපී මාරයාට මේ සිත විය. ´´ශ්‍රමණ ගෞතම තෙම ස්පර්‍ශායතන සය ගැන දහම් කථාවෙන් මහණ සමූහයාට කරුණු දක්වයි. ඒ ඔවුන් සිත්හි ගන්වයි. එහි ඔවුන් උනන්දුකරයි. ඔවුන් සිත ප්‍රීතිකරවයි. ඒ ඝික්‍ෂූහුද එයට කැමතිව සිත්හි ලා මුළු සිතින් එක්කොටගෙන කන් යොමා අසන්නාහ. ඔවුන් නුවණැස් කණකරලන්නට ශ්‍රමණ ගෞතමයන් කරා ගියොත් යහපත.´´

3. ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් නොදුරෙහි පොළොව පැළී යන කලක් සෙයින් මහා භයානක හඬක් කෙළේය.

4. එවිට එක්තරා මහණෙක් අන් මහණෙකුට ´´මහණ, මහණ. මේ පොළොව පැළී විවරවන්නා සේය´´ යි කීය.

5. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට ´´මහණ, මෙය පොළොව පැළී යන්නා නොවේ. මේ පාපී මාරයාය. ඔහු තොප නුවණැස් පියවාලන්නට ආයේය´´ යි වදාළසේක.

6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ´මේ පාපී මාරයාය´ යි දැන ඔහුට ගාථායෙන් මෙය වදාළසේක:

´´රූපයද, ශබ්දයද, ගන්‍ධයද, කය හැපෙන දේද, සිතෙහි අරමුණුද, යන මේ හැම නපුරු ඇමය

ලෝ වැස්සා මෙහි දැඩිසේ ඇලී ගියේය.´´

´´බුදුහුගේ සිහි ඇති ශ්‍රාවකතෙම මේ ( ආයතන සයද ) ඉක්මවා, මාරයාට ස්ථානයවූ මේ ( තුන් භවයද ) පසුකොටලා, සූය්‍යර්‍යා මෙන් බැබළෙයි.´´

7. එවිට පාපී මාරයා ´භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති´ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.

6. පත්ත සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

1. එකල භාග්‍යවතුන් වහන්සේ උපාදානස්කන්‍ධ තණ්හා පස පිළිබඳව භික්‍ෂූන්ට කරුණු දක්වනසේක. එහි සැටි ආදිය ඔවුන් සිකෙහි ගන්වනසේක. ඔවුන් උනන්‍දු කරන සේක. ඔවුන් අවබෝධකළ ගුණ වණා ඔවුන් සිත ප්‍රීති කරවනසේක. ඒ භික්‍ෂූහු එය වැඩ ඇති දෙයක් කොට ගෙන සිතෙහි ලා, මුළු සිතින් එය එක්කොටගෙන යොමුකළ කන් ඇතියෝව බණ අසත්

2. එකල්හි පාපී මාරයාහට මේ සිත ඇතිවිය. ´´ශ්‍රමණ ගෞකම තෙම උපාදානස්කන්‍ධ පස ගැන භික්‍ෂූන්ට දැහැමි කථායෙන් කරුණු දක්වයි. ඒ ඔවුන් සිතෙහි ගන්වයි. එහි ඔවුන් උනන්‍දුකරයි. ඔවුන් සිත ප්‍රීති කරයි. ඒ භික්‍ෂූහුද එයට කැමතිව ඒ සිත්හිලා මුළු සිතින් එක්කොටගෙන යොමුකළ කන් ඇතියෝව බණ අසත්. ඔවුන්ගේ නුවණැස කණකරලන්නට ශ්‍රමණ ගෞතම තෙම කරා ගියොත් යෙහෙක.´´

3. එකල බොහෝ පාත්‍රා ( වේලනු පිණිස ) එළිමහණෙහි තබන ලද්දෝය.

4. එවිට පාපී මාරයා ගොන් වෙසක් මවාගෙන ඒ පාත්‍ර තිබුණු තැනට පැමිණියේය.

5. එවිට එක්තරා භික්‍ෂුවක් අන් භික්‍ෂුවකට ´´මහණ, මහණ, අර ගොනා පාත්‍රය බිඳී´´ යි කීය.

6. ඒසේ කීකල භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂුහට ´´භික්‍ෂුව, ඒ ගොනෙක් නොවේ, පාපී මාරයාය. තොප නූවනැස් කණ කරන්නට ආයේය.´´ යි වදාළසේක.

7. ඉක්බිති ´මේ පාපී මාරයා´ යි දැන භාග්‍යවතුන් වහන්සේ ඔහුට ගාථායෙන් මෙසේ වදාළසේක:

´´ රූප, වේදනා, සංඥා, විඥාන සහ යම් සංස්කාර කෙනෙක් ඇද්ද, ඒ මේ පඤචකන්‍ධය ´´මම් නොවෙමි´´ ´මෙය මාගේ නොවේයැ´ යි නුවණින් දක්නේ මෙසේ එහි ඇල්ම හරී.

´´මෙසේ නොඇලුණු, උවදුරින් මිදුණු ආත්මභාවය ඇති, සියලු භව බැඳුම් ( සංයෝජන ) ඉක්මවා සිටි ඒ රහත්හු මරසෙන් පවා හැම තන්හිම සොයනුයේ නුමුදු ඔහු නොම දක්නේය.´´

8. එවිට පාපී මාරයා ´භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති´ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.

5. මානස සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල පාපී මාරයා භාග්‍යවතුන් වෙත පැමිණියේය, පැමිණ, භාග්‍යවතුන්ට ගාථායෙන් මෙසේ කීය:

´´ අහසින් යන්නවුන් පවා බැඳගන්නා, සිත පහළවන යම් රාග මල පුඩුයෙක් ලොව නැත්තේද, එයින් තා පෙළා බැඳගන්නෙමි. මහණ, තෝ මගෙන් නොමිදෙන්නෙහිය.´´

4. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ´´ ඇදගන්නාවූ රූප, ශබ්ද, ගන්‍ධ, රස හා කය හැපෙන දේ යන පස්කම් කෙනෙක් වෙද්ද, එහි ඇල්ම පහව ගියේය. මාරය තෝ නැසුනෙහිය.´´

5. එවිට පාපී මාරයා ´භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති´ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.

4. පතිරූප සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට ඒකසාල නම් බමුණු ගමෙහි වැඩවසනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ මහ ගිහි පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසති.

2. එකල්හි පාපී මාරයාට මේ සිත පහළ විය. ´´මේ ශ්‍රමණ ගෞතමයා මහ ගිහි පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. නුවණැස කණ කරනු පිණිස ශ්‍රමණ ගෞතමයා යම් තැනෙකද, එතැනට පැමිණීම යහපති.´´

3. ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:

´´ අන්හට අනුශාසනා කෙරුම යුෂ්මත්හට නොවටී. එය කෙරෙමින් රිසිබැව් නොරිසිබැව් දෙක්හි නොඇලෙව.

4. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: )´´ බුදුවරයෙක් ලොවට හිත කැමතියේ, දයා පතුරුවනුයේ අන්හට අනුශාසන කෙරේද, තථාගතවූ හෙතෙම රිසි-නොරිසි දෙකින්ම මිදුනෙක.´´

5. එවිට පාපී මාරයා ´භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති´ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.