1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ´´ මහණෙනි´´ කියා භික්ෂූන්ට කථාකළසේක. ´ පින්වතුන් වහන්සැ´´ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් ට පිළිවදන් දුන්හ.
2. භාග්‍යවතුන් වහන්සේ ( ඔවුන්ට ) මෙසේ වදාළසේක. ´´මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ මඳ එකෙක. පරලොව යා යුතුය, ( එබැවින් ) කුසල් කළ යුතුය. බ්‍රහ්මචරියාවෙහි හැසිරිය යුතුය. උපන්නහුට නොමැරී සිටීමෙක් නම් නැත. මහණෙනි, යමෙක් වැඩිම කලක් ජීවත්වන්නේ නම්, ඔහු සියක් අවුරුද්දක් හෝ එයට මඳක් වැඩියෙන් හෝ ජීවත්වෙයි.´´
3. ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථාවෙන් මෙය කීය.
´´මිනිසුන්ගේ ආයුෂ දිගය. නුවණැති මිනිසා එය හෙළා නොදක්නේය. කිරිබීම් පමණක් ඇති ළදරුවෙකු මෙන් හැසිරෙන්නේය. මරණය ළංවී ඊමෙක් නැත.
4. ( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: )´´ මිනිසුන්ගේ ආයු මඳය. නුවණැති පුරුෂයා එය හෙළා දක්නේය. ඉස ගිනි ගත්තකු සේ හැසිරෙන්නේය. මරණය නොඊමෙක් නැත.´´
5. එවිට පාපී මාරයා, ´ භාග්‍යවතුන් වහන්සේ මා දැනගත්හ, සුගතයෝ මා දැනගත්හ,යි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.