6. සප්ප සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දප නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙනසේක.

2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ එක් මහත් අන්‍ධකාරය ඇති රැයෙක එළිමහණෙහි හුන්සේක. වැහි පොදද එක දෙක වැටෙයි.

3. එකල පාපීවූ මාරයා භාග්‍යවතුන් වහන්සේට බිය, තැතිගැනුම්, ලොමුඩැහැගැනුම් ඇතිනරනු කැමැත්තෙන් මහත් නා රජකුගේ වෙස් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය.

4. තනි රුකෙකින්ම කළ මහ ඔරුවක් යම්සේද, ඔහුගේ කඳ එසේම විය. සුරා සාදන්නෙක්ගේ පිටෙහි අතුරන කලාලය යම් තරම්ද ඔහුගේ පෙණයද එතරම්ම වේ. කොසොල් රජු ආහාර ගන්නා රන් තලිය යම් පමණද, ඔහුගේ ඇස්ද එපමණම වේ. අහස ගුගුරන කල්හි නික්මෙන විදුලිය යම්සේද එසේම ඔහුගේ දිව මුවතුලින් නික්මෙයි. කඹුරුසම ( මයිනහම ) සුළඟින් පිරෙන කල ඇතිවන හඬ යම් බඳුද, ඔහු හුස්ම ගන්නා පිටකරනා හඬද එබඳුම වේ.

5. එවිට භාග්‍යවතුන් වහන්සේ ´ මේ පාපී මාරයායැ´ යි දැන ඔහුට මෙසේ ගාථාවෙන් වදාළසේක.

´´යමෙක් හිඳීමාදිය පිණිස මිනිසුනිගෙන් හිස්වූ ගෙවල් සෙව්නේද, ඒ තමා සංවරවූ මුනිතෙම ඔහු ඔහුගේ ආත්මභාවයෙහි ඇල්ම දුරුකොට හැසිරෙන්නේය. එබඳුවූ මුනිරජුන්ට මේ ආත්මයෙහි භයානක සත්තුද, අරමුණුද බොහෝය. තවත් ඇටමැස්සෝද, සර්‍පයෝද බොහෝය. එහෙත් හිස් ගෙට වන් ඒ මුනි උතුමා ඒ හේතුකොට ගෙන ලොම් ගසක් පමණකුදු නොසෙලෙන්නේය.´´

´´ අහස පුපුරතත්, පොළොව සෙලවෙතත්, සියලුම සතුන් තැති ගනිතත්, තියුණු යකඩ උලක් පපුවෙහි ගසතත්, බුදුවරු පඤචස්කන්‍ධයන්හි රැක්මක් නොකෙරෙත්.´´

6. ඉක්බිති ඒ පාපී මාරයා, ´´භාග්‍යවත්හු මා දැනගත්හ, සුගතයෝ මා දැනගක්හ´´ යි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.