10. ( දෙවෙනි ) ආයු සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්‍දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ´´ මහණෙනි´´ කියා භික්‍ෂූන්ට කථාකළසේක. ´ පින්වතුන් වහන්සැ´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් ට පිළිවදන් දුන්හ.

2. එකල භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ´´මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ මඳය. පරලොව යා යුතුය, කුසල් කළ යුතුය. බ්‍රහ්මචරියාවෙහි හැසිරිය යුතුය. උපන්නහු නොමැරී ඉඳුමෙක් නැත. මහණෙනි, යමෙක් වැඩිම කලක් ජීවත්වන්නේ නම්, ඔහු හවුරුදු සියයක් හෝ එයට මඳක් වැඩියෙන් හෝ ජීවත්වෙයි.´´

3. එවිට පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථාවෙන් මෙය කීය:

´´රෑ දාවල්හු මිනිසා ඉක්ම නොයත්. ජීවිතය නිරුද්ධ නොවේ. සතුන්ගේ ආයුෂ ඔවුන් අනුවම යයි. ඔවුන් අත් නොහරියි. රියෙහි ඒරියාකඳ අනුව යන නිම්වළල්ල මෙනි.´´

4. ( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ´´රෑ දාවල්හු මිනිසා ඉක්ම යෙත්. ජීවිතය නිරුද්ධ වේ. මිනිසුන්ගේ ආයුෂ ගෙවේ. කුඩා ඇල දොළවල දිය මෙනි.´´

5. එවිට පාපී මාරයා ´බුදුහු මා හඳුනති. සුගතයෝ මා දනිතැ´ යි දැන දුක් දොම්නස්ව එහිම අතුරුදහන්විය.

( පලමු වග නිමියේය. )

9. ( පළමුවන ) ආයු සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්‍දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ´´ මහණෙනි´´ කියා භික්‍ෂූන්ට කථාකළසේක. ´ පින්වතුන් වහන්සැ´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් ට පිළිවදන් දුන්හ.

2. භාග්‍යවතුන් වහන්සේ ( ඔවුන්ට ) මෙසේ වදාළසේක. ´´මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ මඳ එකෙක. පරලොව යා යුතුය, ( එබැවින් ) කුසල් කළ යුතුය. බ්‍රහ්මචරියාවෙහි හැසිරිය යුතුය. උපන්නහුට නොමැරී සිටීමෙක් නම් නැත. මහණෙනි, යමෙක් වැඩිම කලක් ජීවත්වන්නේ නම්, ඔහු සියක් අවුරුද්දක් හෝ එයට මඳක් වැඩියෙන් හෝ ජීවත්වෙයි.´´

3. ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථාවෙන් මෙය කීය.

´´මිනිසුන්ගේ ආයුෂ දිගය. නුවණැති මිනිසා එය හෙළා නොදක්නේය. කිරිබීම් පමණක් ඇති ළදරුවෙකු මෙන් හැසිරෙන්නේය. මරණය ළංවී ඊමෙක් නැත.

4. ( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: )´´ මිනිසුන්ගේ ආයු මඳය. නුවණැති පුරුෂයා එය හෙළා දක්නේය. ඉස ගිනි ගත්තකු සේ හැසිරෙන්නේය. මරණය නොඊමෙක් නැත.´´

5. එවිට පාපී මාරයා, ´ භාග්‍යවතුන් වහන්සේ මා දැනගත්හ, සුගතයෝ මා දැනගත්හ,යි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.

8. නන්‍දන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල්හි පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

´´දරුවන් ඇති තැනැත්තේ දරුවන් කරණකොට සතුටුවේ. එසෙයින්ම ගවයින් ඇති තැනැත්තේ ගවයින් කරණකොට සතුටුවේ. උපධිහු ( පස්කම් ගුණයෝ ) වනාහි සත්‍වයන්ට සතුටට කරුණුයහ. යමෙක් උපධි ( පස්කම් ගුණයන් ) නැතියේනම්, හේ සතුටක් නොම ලබයි.´´

3. ( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ´´දරුවන් ඇත්තේ දරුවන් කරණකොට ශෝකකෙරේ. එසේම ගවයින් ඇත්තේද ගවයින් කරණකොට ශෝකකෙරේ. උපධීහු ( කාමවස්තූහු ) වනාහි සත්‍වයන්හට ශෝකයට කරුණුයහ. යමෙක් උපධි ( පස්කම් ) නැතියේනම් ඔහු ශෝක නොකෙරේ

4. ඉක්බිති පාපී මාරයා ´භාග්‍යවත්හු මා දැනගත්හ, සුගතයෝ මා දැනගත්හ´ යි සිතා එහිම අතුරුදන්විය.

7. සුප්පති සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දප නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙනසේක.

2. එකල භාග්‍යවතුන් වහන්සේ දවසෙක රෑ බොහෝ වේලාවක්ම සක්මන්කොට රෑ ඉතා අලුයම්හි පා සෝදා විහාරයට ඇතුල්වී, දකුණු පය මත වම් පය මඳක් ඉක්මවා තබා, සිහිනුවණ ඇතිව, ´අසුවල් වේලෙහි නැගී සිටුම්හ´ යි අදහස සිත්හි කොට, දකුණු ඇලයෙන් උත්‍රම් සැතපුම ( සිංහශය්‍යාව) කළසේක.

3. එකල්හි පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථායෙන් මෙසේ කීය:

´´ කිමෙක්ද, නිදන්නෙහිද? කුමට නිදන්නෙහිද? මළ එකකු සෙයින් මේ කුමට සැතපෙන්නෙහිද? ´මට හිස් ගෙයක් ලැබිණැ ´ යි සිතා සැතපෙන්නෙහිද? මේ හිරු නැගි කල්හි කවර හෙයින් නිදන්නෙහිද?´´

4. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ) ´´ දැලක් බඳුවූ ඒ ඒ රූපාදීවූ අරමුණෙහි ඇලෙන තෘෂ්ණාව කිසි අරමුණකට ( තමා ) පමුණුවන්නට ( හැකිසේ ) යමකු තුළ නැද්ද, එසේවූ බුදුවරතෙම සියලු උපධි නසා ලීමෙන් (සුවපත්ව ) සැතපෙන්නේය. මරුව මෙහි ලා තට කවර වැඩෙක්ද?´´

5. පාපී මාරයා එය අසා, ´ භගවත්හු මා හැඳිනගත්හ, සුගතයෝ මා දැනගත්හයි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.

6. සප්ප සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දප නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙනසේක.

2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ එක් මහත් අන්‍ධකාරය ඇති රැයෙක එළිමහණෙහි හුන්සේක. වැහි පොදද එක දෙක වැටෙයි.

3. එකල පාපීවූ මාරයා භාග්‍යවතුන් වහන්සේට බිය, තැතිගැනුම්, ලොමුඩැහැගැනුම් ඇතිනරනු කැමැත්තෙන් මහත් නා රජකුගේ වෙස් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය.

4. තනි රුකෙකින්ම කළ මහ ඔරුවක් යම්සේද, ඔහුගේ කඳ එසේම විය. සුරා සාදන්නෙක්ගේ පිටෙහි අතුරන කලාලය යම් තරම්ද ඔහුගේ පෙණයද එතරම්ම වේ. කොසොල් රජු ආහාර ගන්නා රන් තලිය යම් පමණද, ඔහුගේ ඇස්ද එපමණම වේ. අහස ගුගුරන කල්හි නික්මෙන විදුලිය යම්සේද එසේම ඔහුගේ දිව මුවතුලින් නික්මෙයි. කඹුරුසම ( මයිනහම ) සුළඟින් පිරෙන කල ඇතිවන හඬ යම් බඳුද, ඔහු හුස්ම ගන්නා පිටකරනා හඬද එබඳුම වේ.

5. එවිට භාග්‍යවතුන් වහන්සේ ´ මේ පාපී මාරයායැ´ යි දැන ඔහුට මෙසේ ගාථාවෙන් වදාළසේක.

´´යමෙක් හිඳීමාදිය පිණිස මිනිසුනිගෙන් හිස්වූ ගෙවල් සෙව්නේද, ඒ තමා සංවරවූ මුනිතෙම ඔහු ඔහුගේ ආත්මභාවයෙහි ඇල්ම දුරුකොට හැසිරෙන්නේය. එබඳුවූ මුනිරජුන්ට මේ ආත්මයෙහි භයානක සත්තුද, අරමුණුද බොහෝය. තවත් ඇටමැස්සෝද, සර්‍පයෝද බොහෝය. එහෙත් හිස් ගෙට වන් ඒ මුනි උතුමා ඒ හේතුකොට ගෙන ලොම් ගසක් පමණකුදු නොසෙලෙන්නේය.´´

´´ අහස පුපුරතත්, පොළොව සෙලවෙතත්, සියලුම සතුන් තැති ගනිතත්, තියුණු යකඩ උලක් පපුවෙහි ගසතත්, බුදුවරු පඤචස්කන්‍ධයන්හි රැක්මක් නොකෙරෙත්.´´

6. ඉක්බිති ඒ පාපී මාරයා, ´´භාග්‍යවත්හු මා දැනගත්හ, සුගතයෝ මා දැනගක්හ´´ යි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.

5. ( දෙවෙනි ) පාස සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස අසල ඉසිපතන් මුව වෙනෙහි වෙසෙනසේක. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´ මහණනි´´ භික්‍ෂූන්ට කථාකළසේක. ´ පින්වතුන් වහන්සැ´´ යි ඒ මහණහු භාග්‍යවතුන් ට පිළිවදන් දුන්හ.

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: ´´ මහණෙනි, දෙව්කම් සැපද මිනිස් කම් සැපද යන යම් මලපුඩුකෙනෙක් ඇද්ද ඒ හැම මලපුඩුයෙන් ගැලවුනෙමි. මහණනි, යම් ඒ දෙව්සැප මිනිස්සැප යන මලපුඩු ඇත්නම්, තෙපිද ඒ සියල්ලෙන් මිදුනහුය. එබැවින් මහණනි, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝදෙනාට සුව පිණිස, අනුකම්පා සඳහා, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස, රටින් රට, නුවරින් නුවර, ගමින් ගම සැරිසරවු. එක් පාරින් දෙදෙනෙක් නොයවු. මහණනි, මුල යහපත්, මැද යහපත්, අග යහපත් දහම අරුත් සහිතකොට දෙසවු. අකුරින් පෙදෙන් නොඅඩුකොට සම්පූර්‍ණකොට දෙසවු. සියලු අයුරින් පිරිපුන්, පිරිසුදු සසුන් බඹසර (බ්‍රහ්මච්‍ර්‍යාව ) හෙළිකොට දක්වවු. ප්‍රඥා ඇස වසා සිටි මඳ කෙලෙස් ඇතිසේවූ සත්හු ඇත්තාහ. දහම් නොඅසන බැවින් දහමෙන් ඔහු පිරිහීයෙත්. දහම් දැනගන්නෝ ඇත්තාහ. මහණනි, මමත් දම් දෙසන්නට උරුවෙල් දනව් සේනානි නිගම යම් තැනකද එතැනට යන්නෙමි.´´

3. එවිට පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:

´´ මහණ, දෙව්සැපද, මිනිස්සැපද, යන මේ මලපුඩු ඇද්ද, සියල්ලෙන් ඔබ බඳනා ලද්දෙහි. මහ කෙලෙස් බැම්මෙන්ම ඔබ බඳනා ලදුයෙහි. ඔබ නොමිදෙන්නෙහිය´´ යි කීය.

4. දෙව්සැපද, මිනිස්සැපද යන මලපුඩුයෙන් මම් මිදී ගතිමි. මහ කෙලෙස් බැම්මෙන් මිදුනෙමි. මාරය තෝ නැසුණෙහිය.´´ යි වදාළසේක.

5. එවිට පාපී මාරයා ´භාග්‍යවතුන් වහන්සේ මා හැඳිනගත්හ, සුගතයෝ මා හැඳිනගත්හ´ යි දැන දුක්ව දොම්නස්ව අතුරුදන්විය.

4. ( පළමුවන ) පාස සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර අසල ඉසිපතන් නම්වූ මුව වෙනෙහි වසනසේක. එහිදී භාග්‍යවත්හු ´´ මහණනි´´ යි භික්‍ෂූන්ට කථාකළසේක. ´´ස්වාමීන් වහන්සැ´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් ට උත්තර දුන්හ.

2. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ´´ මහණනි, න්වණින් මෙනෙහි කිරීමෙන්, නුවණින් ප්‍රධාන වීය්‍ර්‍ය වැඩීමෙන් හැමටම උතුම් ( රහත්ඵල ) මිදුම මට ලැබිණ, හැමටම උතුම් ( රහත්ඵල ) මිදුම මවිසින් ප්‍රත්‍යක්‍ෂ කරණ ලදී. තෙපිද මහණනි, නුවණින් මෙනෙහි කිරීමෙන්, නුවණින් ප්‍රධාන වීය්‍ර්‍ය වැඩීමෙන් පරම ( රහත්ඵල ) මිදුම ලබවු, පරම මිදුම පැහැදිලි කරවු.´´

3. එවිට පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථායෙන් මෙසේ කීය:

´´මහණ තෝ කෙලෙස් මල පුඩුයෙන් බැඳුනෙහි යම් දෙව්සැප කෙනෙක් මිනිස් කම්සැප කෙනෙක් වෙත්ද, ඒ මාර බැම්මෙන් ( කෙලෙස් බැම්මෙන් ) බැඳුණෙහිය. මහණ, මගෙන් තෝ නොගැලවෙන්නෙහි.´´

4. ´´ මාරය, මම් කෙලෙස් මලපුඩුයෙන් මිදුනෙමි. යම් දෙව් කම්සැප කෙනෙක් මිනිස් කම්සැප කෙනෙක් වෙද්ද, ඒ හැම මලපුඩුයෙන්ම මිදුනෙමි. මාරය තෝ නැසුණෙහිය.´´

5. එවිට පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ තමා හඳුනතැයි, දනිතැයි, දැන, දුක් දොම්නස් පත්ව එහිම අතුරුදහන් විය.