2. අය්‍යතා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි පසේනදි කොසොල් රජ මැදුම් දවල්හි භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජුගෙන් ´´මහරජ, මේ මැදුම් දවල් ඔබ කොහි සිට එහිදැ´´ යි භාග්‍යවත්හු විචාළෝය.

3. ´´ස්වාමීනි, මාගේ මුත්තනිය මැරුණාය. ඈ ජරාජීර්‍ණය, වයොවෘද්ධය, මහළුය, ඉක්මගිය බොහෝ කල් ඇත්තීය. පිළිවෙළින් අන්තිම වයසට පැමිණියාය, උත්පත්තියෙන් එකසිය විසි අවුරුදු වයස් ඇත්තීය. ස්වාමීනි, මට මේ මුත්තනිය ඉතා ප්‍රිය වූවාය. ඉතා මනාපය, ස්වාමීනි, මගේ හස්ති රත්නය දීමෙන් මුත්තනිය මරණින් මුදා ගත හැකිවීනම් මුත්තනිය නොමැරේවායි හස්ති රත්නය නමුත් දෙමි. අශ්වරත්නය දීමෙන්
මරණින් මුදාගත හැකිවී නම් මුත්තනිය නොමැරේවායි ගම් වරයක් නමුත් දෙමි. දනව්වක් දීමෙන් මුත්තනිය මරණින් මුදා ගත හැකිවීනම් මුත්තනිය නොමැරේවායි දනව්වක් නමුත් දෙමි.´´ යි කීයේය.

4. ´´මහරජ, සියලු සත්හු මරණය ස්වභාවකොට ඇත්තෝය. මරණයෙන් අවසන් වන්නෝය. මරණය නොඉක්මවූවෝය´´ යි භගවත්හු වදාළෝය.

´´ස්වාමීනි, පුදුමයි, ස්වාමීනි, ඉතා පුදුමයි, ´හැම සත්හු මැරෙණ ස්වභාවයය. මරණින් අවසන්වන්නෝය. මරණය නොඉක්මවූවෝය´ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්ද කෙතරම් සුභාෂිතයක්ද? කෙතරම් යහපත් කියමනක්දැ?´ යි රජ කීයේය.

5. ´´මහරජ, ඒ එසේය, මහරජ, ඒ එසේය, සියලු සත්හු මරණය ස්වභාවකොට ඇත්තෝය. මරණයෙන් අවසන් වන්නෝය. මරණය නොඉක්මවූවෝය. මහරජ, යම්සේ කුඹලා විසින් සාදනලද අමුවූද, පුළුස්සන ලද්දාවූද, යම් ඒ බඳුන් වෙත්ද, ඒ සියල්ලම බිඳෙනසුළුද, බිඳීමෙන් අවසන් වෙත්ද, බිඳීම් ස්වභාව නොඉක්මවූවාහුද, මහරජ, එසේ හැම සත්තුම මරණය ස්වභාවකොට ඇත්තෝය. මරණය නොඉක්මවූවෝය.

6. ´´හැම සත්හුම මැරෙන්නාහ. ජීවිතය මරණය අවසන්කොට ඇත්තේය. ( මරණින් පසු ) පින් පව් පල අනුව කම්වූ පරිදි පරලොව යන්නාහ. පව්කම් ඇත්තෝ නිරයටද, පින්කම් ඇත්තෝ සුගතියටද යන්නාහ. එහෙයින් පරලොව පිණිස රැස් කටයුතු කුසල් කම් කරන්නේය. පින් පරලොවදී

සත්‍වයන්ට පිහිට වෙති.´´