8. දුතියප්පමාද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ´´ස්වාමීනි, විවේකීව හුදකලාව හුන් මට මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය යහපත්සේ දෙසන ලද්දේය. හෙද යහපත් මිත්‍රයන් ඇත්තාටය. යහපත් යහළුවන් ඇත්තාටය. යහපතට නැමුණු තැනැත්තාටය, පාප මිත්‍රයන් ඇත්තාට නොවේ. පාප යහළුවන් ඇත්තාට නොවේ. පවට නැමුණහට නොවේ´´ යි කියායි.

3. ´´ මහරජ, ඒ එසේය. මහරජ, ඒ එසේය. මහරජ, මවිසින් ධර්‍මය මනාකොට දෙසන ලදී. හෙද යහපත් මිතුරන් ඇත්තාටය. යහපත් යහළුවන් ඇත්තාටය. යහපතට නැමුණු තැනැත්තාටය, පාප මිත්‍රයන් ඇත්තාට නොවේ. පාප යහළුවන් ඇත්තාට නොවේ. පවට නැමුණු තැනැත්තාට නොවේ.

4. ´´ මහරජ, මම එක් වතාවකදී, ශාක්‍ය ජනපදයේ ශාක්‍ය රජ දරුවන්ගේ නාගරක නම් නියම් ගම්හි වාසය කරමි. මහරජ, එවිට ආනන්‍ද භික්‍ෂු මා යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත්පස්ව හිඳ ආනන්‍ද භික්‍ෂුව මෙසේ කීයේය. ´ස්වාමීනි, යහපත් මිතුරන් ඇති බව යහපත් යහළුවන් ඇතිබව යහපතට නැමුනු බව මේ ශාසන බ්‍රහ්මචය්‍ර්‍යාවෙන් බාගයක්සේ සලකමි´ යි.´´

5. මහරජ, මෙසේ කියනු ලැබූ මම, ආනන්‍ද භික්‍ෂුවට මෙය කීමි. ´´ ආනන්‍දය මෙසේ නොකියව, ආනන්‍දය මෙසේ නොකියව, ආනන්‍දය මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව එහෙම පිටින්ම යහපත් මිතුරන් ඇති බවය, යහපත් යහළුවන් ඇති බවය, යහපතට නැමුණු බවය, යහපත් මිතුරන් ඇත්තා, යහපත් යහළුවන් ඇත්තා, යහපතට නැමුණු තැනැත්තා ආය්‍ර්‍ය අෂ්ඨාංගික මාර්‍ගය භාවනා වශයෙන් වඩන්නේය. නැවත නැවත බහුල වශයෙන් සිත් සතන්හි පුරුදු කරන්නේය. යන මේ කරුණ යහපත් මිතුරන් ඇති භික්‍ෂුව විසින් බලාපොරොත්තු විය යුත්තකි.

6. ´´ආනන්‍දයෙනි, යහපත් මිතුරන් ඇති, යහපතට නැමුණු භික්‍ෂුව කෙසේනම් ආය්‍ර්‍ය අෂ්ඨාංගික මාර්‍ගය වඩන්නේද? කෙසේනම් ආය්‍ර්‍ය අෂ්ඨාංගික මාර්‍ගය බහුල වශයෙන් දියුණු කරන්නේද?´´

7. ´´ ආනන්‍දය, මේ ශාසනයෙහි භික්‍ෂුතෙමේ කෙලෙසුන්ගෙන් වෙන්වීමයයි කියනලද විවේකය ඇසුරුකළ, කෙලෙසුන් නැතිකිරීමයයි කියනලද නිරෝධය ඇසුරුකළ, කෙලෙසුන් හැරදැමීමයයි කියනලද නිස්සග්ගය කරා නැමුණු සම්මාදිටඨිය යහපත් දැකීම වඩයි. යහපත් කල්පනාව වඩයි. යහපත් වචනය වඩයි, යහපත් කම් වඩයි. යහපත් දිවි පැවතුම් වඩයි, යහපත් උත්සාහය වඩයි, යහපත් සිහිය වඩයි, යහපත් සමාධිය ( භාවනාව ) වඩයි. ආනන්‍දය, යහපත් මිතුරන් ඇති භික්‍ෂු මෙසේ ආය්‍ර්‍ය අෂ්ඨාංගික මාර්‍ගය වැඩිදියුණු කරන්නේය, භාවනා වශයෙන් නැවත නැවත පුහුණු කරන්නේය.´´

8. ´´ ආනන්‍දය, මේ ක්‍රමයෙන්ද මේ ශාසන බ්‍රහ්මචය්‍ර්‍යාව මුළුමනින්ම යහපත් මිතුරන් ඇති බවය, යහපත් යහළුවන් ඇති බවය, යහපතට නැමුණු බවය යනු දතයුතුයි. ආනන්‍දය, කළණ මිත් වූ මාවෙත පැමිණ උත්පත්තිය ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ උත්පත්තියෙන් මිදෙති. ජරාව ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ ජරාවෙන් මිදෙති. ලෙඩ ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ ලෙඩින් මිදෙති. මරණය ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ මරණින් මිදෙති. ශෝක කිරීම්, හැඬීම්, කායික දුක්, මානසික දොම්නස්, දැඩි ආයාස, යන මේ ස්වභාව කොට ඇති සත්ත්‍වයෝ ශෝකයෙන්, ඇඬීමෙන්, කායික දුකින්, මානසික දොම්නසෙන්, දැඩි ආයාසයෙන් මිදෙති. ආනන්‍දය, මේ ක්‍රමයෙන්ද ශාසන බුහ්මචය්‍ර්‍යාව මුළුමනින්ම යහපත් මිතුරන් ඇති බවය, යහපත් යහළුවන් ඇති බවය, යහපතට නැමුණු බව යයි දත යුතුයි.

9. මහරජ, එහෙයින් මේ කරුණෙහිලා ඔබ විසින්ද මෙසේ හික්මිය යුතුයි, ´යහපත් මිතුරන් ඇත්තෙක්, යහපත් යහළුවන් ඇත්තෙක්, යහපතට නැමුනෙක් වෙමි ´ කියායි. මහරජ, ඔබ විසින් මෙලෙසින්ම හික්මිය යුතුයි. එනම් යහපත් මිතුරන් ඇති, යහපත් යහළුවන් ඇති, යහපතට නැමුණු ඔබ විසින් කුසල් දහම්හි අප්පමාදය යන මේ වකම ධර්‍මය ඇසුරුකොට වාසය කට යුතුය යනුයි.´´

10. ´´මහරජ, නොපමාව අප්පමාදය ඇසුරුකොට වසන ඔබගේ ස්ත්‍රී නිවාසයටද මෙසේ සිත් වන්නේය. ´´රජතෙමේ අප්පමාදය ඇසුරුකොට අප්පමත්තව වසයි. එබැවින් අපිදු අප්පමාදය ඇසුරුකොට අප්පමත්තව වසමු´ කියයි.

11. ´´මහරජ, අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසන ඔබගේ අනුවර රජුන්ටද මෙසේ සිත් වන්නේය. ´´රජතෙමේ අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසයි. එබැවින් අපිදු අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසමු´ කියායි.

12. ´´මහරජ, අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසන ඔබගේ බල සෙනගටද මෙසේ සිත් වන්නේය. ´´රජතෙමේ අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වෙසෙයි. එබැවින් අපිදු අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසමු´ කියායි.

13 ´´මහරජ, නොපමාව වසන ඔබගේ නියම්ගම් දනව් වැස්සන්ටද මෙසේ සිත් වන්නේය. ´´රජ අප්පමාදය ඇසුරුකොට නොපමාව වසෙයි. එහෙයින් අපිදු අප්පමාදය ඇසුරුකොට වසමු´ කියායි.

14. ´´ මහරජ, අප්පමාදය ඇසුරුකොට නොපමාව වසන ඔබගේ ( ආත්මයද ) තමා ගෝපිතවූයේ රැකුනේවෙයි. ස්ත්‍රී නිවාසයද රැකුනේ වෙයි. ධන ගබඩා ධාන්‍ය ගබඩාද රක්‍ෂිත සුරක්‍ෂිත වෙති.

15. ´´ නොයෙක් ආකාර මහත් භෝග සම්පත් පතන්නා විසින් පින්කම්හි නොපමාව පුහුණු කටයුතුයයි, පණ්ඩිතයෝ පසසා පවසති. කුසල් දහම්හි නොපමාව, නුවණැත්තා මෙලෝ වැඩද පරලෝ වැඩද යන දෙයාකාර අභිවෘද්ධිය ලැබගනී. දෙලෝ වැඩම සිද්ධකරගන්නා කාරණයෙන් ඒ ධීමතා පණ්ඩිතයයි කියනු ලැබේ.´´