10. දුතියාපුත්තක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි පසේනදි කොසොල් රජ මැදුම් දවල් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජහුගෙන් ´´මහරජ, මේ මැදුම් දවල් ඔබ කොහි සිට එහිදැ´´ භාග්‍යවත්හු විචාළෝය.

3. ´´ස්වාමීනි, මෙහි සැවැත් නුවර සිටු ගෘහපතියා මැරුණෙය. දරුවන් නැති ඔහුගේ ඒ වස්තුව මම ඇතුළු නුවරට යවා එමි. ස්වාමීනි, රන් කාසිම ( කහවනු )ලක්‍ෂයකි. රිදී කාසි ගැන කියනුම කවරේද? ස්වාමීනි, ඒ සිටු ගෘහ පතියාගේ බත් කෑම මෙසේය. ´ මිරිස් හොදි සහිත නිවුඩු හාලේ බත කයි. ඇඳුම් ඇඳීම මෙසේයි: තුන් කඩක් එකට මූට්ටුකළ හණවැහැරියක් හඳියි. රථ පරිභෝගය මෙසේයි: කොළ කුඩයක් ( තල අත්තක් ) ඉහලමින් පරණ කරත්ත කබලකින් යයි.´´

4. ´´මහරජ, ඒ එසේය, මහරජ, ඒ එසේය, පෙර වූවක් කියමි. මහරජ, ඒ සිටු ගැහැවියා තගරසිඛී නම් පසේ බුදුන්ට පිණ්ඩපාත දානයක් දෙවීය. ´ශුමණයාට පිණ්ඩදානය දෙව්´ ය කියා හුනස්නෙන් නැගිට ගියේය. එසේදී පසුව මේ දුන් පිණ්ඩපාතය මගේ දාසයෝ හෝ කම්කරුවෝ කෑවාහුනම් වඩා හොඳයයි සිතමින් පසුතැවිලි වූයේය. සහෝදරයාගේ එකම පුතාද වස්තුව හේතුකොටගෙනම මැරවීය.

5. ´´මහරජ, සිටු ගෘහපතියා යම්හෙයකින් තගරසිඛී පසේ බුදුන්ට පිණ්ඩපිතය දෙවීද, ඒ කර්‍මයාගේ විපාකයෙන් සත්වරක් ස්වර්‍ගයෙහි උපන්නේය. ඒ කර්‍මයාගේ ඉතිරි විපාකයෙන් මේ සැවැත්නුවරම සත් වරක් සිටු තනතුර කරවීය.

6. ´´මහරජ, යම් හෙයකින් පිණ්ඩපාතය දෙවා පසුව දාසයෝ හෝ කම්කරුවෝ හෝ කෑවාහුනම් වඩා හොඳයයි පසුතැවිලි වීද ඒ කර්‍මයාගේ විපාකයෙන් ප්‍රණීත ආහාර වැළඳීමට ඔහුගේ සිත නොනැමෙයි. වටිනා ඇඳුම් ඇඳීමට ඔහුගේ සිත නොනැමෙයි. ඉතා වටිනා රථ වාහන පරිත්‍භා්ගයට ඔහුගේ සිත නොනැමෙයි. මන වඩන පස්කම් සැප අනුභවයටද ඔහුගේ සිත නොනැමෙයි.

7. ´´මහරජ, යම් හෙයකින් ඔහුගේ සහෝදරයාගේ එකම පුතා වස්තුව කරණකොටගෙණ මැරවීද, ඒ කර්‍මයාගේ විපාකයෙන් බොහෝ සිය ගනන් බොහෝ දහස් ගනන් බොහෝ සිය දහස් ගනන් අවුරුදු නිරයෙහි පැසුණේය. ඒ කර්‍මයාගේම ඉතිරි විපාකයෙන් දරුවන් නැති ඔහුගේ වස්තුව රාජකොෂ්ටාගාරයට ගෙණයන සත්වන වාරය මෙයයි. මහරජ, ඒ සිටු ගෘහපතියාගේ පුරාණ පින ගෙවී අවසානය. අළුත් පිනක්ද රැස් නොකෙළේය. මහරජ, අද සිටු ගෘහපතියා රෞරව නම් නරකාදියෙහි පැසෙන්නේය.´´

8. ´´ස්වාමීනි, එසේද? සිටු ගැහැවියා රෞරව නරකයෙහි උපන්නේද?´´ ´´එසේය, මහරජ, සිටු ගැහැවියා රෞරව නරකයෙහි උපන්නේය.´´

´´ධාන්‍යය, ධනය, රිදීය, රත්රන්ය, අඹුදරු ආදී අනික් යම් දෙයක් ඇත්නම් එය, දාසයෝය, කම්කරුවෝය, පණිවිඩ කරුවෝය, තමන් අනුව ජීවත් වන්නෝය, යන මේ සියල්ලම පරලොව යාමේදී ගෙණයා නොහැකිය. ඒ සියල්ලම මෙහි දමා යා යුතුයි. කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ යම් කර්‍මයක් කෙරේනම් එය පමණක් ඔහුට ස්වකීය වස්තුව වේ. එය රැගෙන පරලොව යන්නේද වේ. ඒම ඔහු නොහැර පසු පස යන සෙවනැල්ල මෙන් ඔහු අනුව යන්නේ වේ. එහෙයින් පරලොව හිත සැප පිණිස රැස්කටයුතු පින්ම කටයුතු වේ. සත්‍වයන්ට පරලොවදි පින් පිහිට වෙති.´´