1. ජටිල සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර මිගාරමාතුපාසාද නම් පූර්‍වාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවත් තෙමේ සවස් වරුවෙහි ඵලසමවතින් නැගිට දොරටුවෙන් පිටත වැඩහුන්නේ වේ. පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිනියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය.

2. එවේලෙහි ඉතා දික්ව වැඩුනු කිසිලි ලොම් නිය ඇති ජටිලයෝ සත්දෙනෙක්ද, නිඝණ්ඨයෝ සත්දෙනෙක්ද, දිගම්බරයෝ ( නිර්වස්ත්‍ර තාපසයෝ ) සත්දෙනෙක්ද, ඒක සාටකයෝ ( එක සළුවක් පමණක් ඇති තාපසයෝ )සත්දෙනෙක්ද, පරිව්‍රාජකයෝ සත්දෙනෙක්ද, නොයෙක් ආකාර තවුස් පිරිකර රැගෙණ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් එපෙදෙස පසුකර යති.

3. එකල්හි කොසොල් රජ අස්නෙන් නැගිට උතුරුසළුව එකාංශකොට දකුණු දණමඬල පොළොවෙහි ඔබා ඒ සත් ජටිලයන්, සත් නිගණ්ඨයන්, සත් දිගම්බරයන් සත් ඒකසාටකයන් හා සත් පරිව්‍රාජකයන් දෙසට ඇඳිලිබැඳ වැඳීම කොට ´´ වහන්ස, මම පසේනදි කොසොල් රජ වෙමි ´´ යි තුන් විටක් තම නම කීය.

4. ඉක්බිති කොසොල් රජ ඒ ජටිලයන් සත්දෙනද, නිගණ්ඨයන් සත්දෙනද, අචේලකයන් සත්දෙනද, ඒකසාටකයන් සත්දෙනද, පරිව්‍රාජකයන් සත්දෙනද, ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ යමි තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ, එකත්පස්ව හිඳ, ´´ ස්වාමීනි, ලෝකයෙහි රහත් වූ හෝ රහතු මගට පිළිපන්නා වූ හෝ යමෙක් වෙත් නම් මොව්හුද ඔවුන් අතරම වූ සමහරු වෙති ´´ යි භාග්‍යවතුන් වහන්සේට කීයේය.

5. ´´ මහරජ, පස්කම් සැප අනුභව කරණ, දූ දරුවන්ගෙන් පීඩ්ත, සයනයක හොවින, කසී සඳුන් ගල්වන, මල් ගඳ විලවුන් දරණ, රන්රිදී ඉවසන ගිහියෙක් වූ ඔබ විසින් මොවිහු රහත්හුයයි කියා හෝ මොවිහු රහත්මගට පිළිපන්නාහුයයි කියා හෝ දැනගැන්ම දුෂ්කරය ( අපහසුය.)

6. ´ මහරජ, එකට විසීමෙන් ශීලය දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නෙක් විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයෙක් විසින් නොවේ. මහරජ, පිරිසිදු බව කථා ව්‍යවහාරයෙන්ම දත යුතුය. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසිනි. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයා විසින් නොවේ. මහරජ, විපත්තියෙහිදී ශක්තිය දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ. මහරජ, සාකච්ඡා කිරීමෙන් ප්‍රඥාව දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ.´

7. ´´ ස්වාමීනි පුදුමයි. ස්වාමීනි බොහෝ පුදුමයි. මහරජ, පස්කම් සැප අනුභව කරණ, දූ දරුවන්ගෙන් පීඩිත, සයනයක හොවින, කසී සඳුන් ගල්වන, මල් ගඳ විලවුන් දරණ, රන්රිදී ඉවසන ගිහියෙක් වූ ඔබ විසින් මොවිහු රහත්හුයයි කියා හෝ මොවිහු රහත්මගට පිළිපන්නාහුයයි කියා හෝ දැනගැන්ම දුෂ්කරය ( අපහසුය.)

´ මහරජ, එකට විසීමෙන් ශීලය දතයුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නෙක් විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයෙක් විසින් නොවේ. මහරජ, පිරිසිදු බව කථා ව්‍යවහාරයෙන්ම දත යුතුය. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසිනි. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයා විසින් නොවේ. මහරජ, විපත්තියෙහිදී ශක්තිය දතයුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ. මහරජ, සාකච්ඡා කිරීමෙන් ප්‍රඥාව දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ.´ භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතරම් හොඳට මෙය වදාරණ ලදද?

8. ´´ ස්වාමීනි මොව්හු මාගේ චෞරයෝය. චරපුරුෂයෝය. ඒ ඒ ජනපදවල කරුණු විමසා ඇවිද එන්නාහුය. ඔවුන් විසින් පළමුකොට සෝදිසි කළ තැනට මම පසුව යන්නෙමි. ස්වාමීනි, දැන් ඔව්හු ඒ දැලිකුණු සෝදා හැර හොඳින් නා, විලවුන් ගල්වා, කෙස් රැවුල් කපා හැර, සුදු පිළි හැඳ, පස්කම් ගුණයෙන් යුක්තව පස්ඉඳුරන් පිනවන්නාහුය´´.

9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන එවේලෙහි මේ ගාථා වදාළසේක.

´´ පාටින් හා සටහනින් මිනිසා දතහැකි නොවේ. දැකීම් පමණින් මිනිසකු විශ්වාස නොකරන්නේය. හොඳට සංවර වූවන්ගේ විලාසයෙන් හික්මීම නැත්තෝ මෙලොව හැසිරෙති. රනින් කරණ ලද්දකට සමාන වූ මැටියෙන් කළ කුණ්ඩලයක් මෙන්ද, පිටත රන් ගෑමෙන් රනින් වැසුනු ලෝහ අඩමස්සක් මෙන්ද, සමහරු පිටත්තර පරිෂ්කාරයෙන් වැසුනෝව ඇතුළත අපරිශුඬයෝව පිටතින් පමණක් ශෝභමානව හැසිරෙති.´´