10. දුතියාපුත්තක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි පසේනදි කොසොල් රජ මැදුම් දවල් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජහුගෙන් ´´මහරජ, මේ මැදුම් දවල් ඔබ කොහි සිට එහිදැ´´ භාග්‍යවත්හු විචාළෝය.

3. ´´ස්වාමීනි, මෙහි සැවැත් නුවර සිටු ගෘහපතියා මැරුණෙය. දරුවන් නැති ඔහුගේ ඒ වස්තුව මම ඇතුළු නුවරට යවා එමි. ස්වාමීනි, රන් කාසිම ( කහවනු )ලක්‍ෂයකි. රිදී කාසි ගැන කියනුම කවරේද? ස්වාමීනි, ඒ සිටු ගෘහ පතියාගේ බත් කෑම මෙසේය. ´ මිරිස් හොදි සහිත නිවුඩු හාලේ බත කයි. ඇඳුම් ඇඳීම මෙසේයි: තුන් කඩක් එකට මූට්ටුකළ හණවැහැරියක් හඳියි. රථ පරිභෝගය මෙසේයි: කොළ කුඩයක් ( තල අත්තක් ) ඉහලමින් පරණ කරත්ත කබලකින් යයි.´´

4. ´´මහරජ, ඒ එසේය, මහරජ, ඒ එසේය, පෙර වූවක් කියමි. මහරජ, ඒ සිටු ගැහැවියා තගරසිඛී නම් පසේ බුදුන්ට පිණ්ඩපාත දානයක් දෙවීය. ´ශුමණයාට පිණ්ඩදානය දෙව්´ ය කියා හුනස්නෙන් නැගිට ගියේය. එසේදී පසුව මේ දුන් පිණ්ඩපාතය මගේ දාසයෝ හෝ කම්කරුවෝ කෑවාහුනම් වඩා හොඳයයි සිතමින් පසුතැවිලි වූයේය. සහෝදරයාගේ එකම පුතාද වස්තුව හේතුකොටගෙනම මැරවීය.

5. ´´මහරජ, සිටු ගෘහපතියා යම්හෙයකින් තගරසිඛී පසේ බුදුන්ට පිණ්ඩපිතය දෙවීද, ඒ කර්‍මයාගේ විපාකයෙන් සත්වරක් ස්වර්‍ගයෙහි උපන්නේය. ඒ කර්‍මයාගේ ඉතිරි විපාකයෙන් මේ සැවැත්නුවරම සත් වරක් සිටු තනතුර කරවීය.

6. ´´මහරජ, යම් හෙයකින් පිණ්ඩපාතය දෙවා පසුව දාසයෝ හෝ කම්කරුවෝ හෝ කෑවාහුනම් වඩා හොඳයයි පසුතැවිලි වීද ඒ කර්‍මයාගේ විපාකයෙන් ප්‍රණීත ආහාර වැළඳීමට ඔහුගේ සිත නොනැමෙයි. වටිනා ඇඳුම් ඇඳීමට ඔහුගේ සිත නොනැමෙයි. ඉතා වටිනා රථ වාහන පරිත්‍භා්ගයට ඔහුගේ සිත නොනැමෙයි. මන වඩන පස්කම් සැප අනුභවයටද ඔහුගේ සිත නොනැමෙයි.

7. ´´මහරජ, යම් හෙයකින් ඔහුගේ සහෝදරයාගේ එකම පුතා වස්තුව කරණකොටගෙණ මැරවීද, ඒ කර්‍මයාගේ විපාකයෙන් බොහෝ සිය ගනන් බොහෝ දහස් ගනන් බොහෝ සිය දහස් ගනන් අවුරුදු නිරයෙහි පැසුණේය. ඒ කර්‍මයාගේම ඉතිරි විපාකයෙන් දරුවන් නැති ඔහුගේ වස්තුව රාජකොෂ්ටාගාරයට ගෙණයන සත්වන වාරය මෙයයි. මහරජ, ඒ සිටු ගෘහපතියාගේ පුරාණ පින ගෙවී අවසානය. අළුත් පිනක්ද රැස් නොකෙළේය. මහරජ, අද සිටු ගෘහපතියා රෞරව නම් නරකාදියෙහි පැසෙන්නේය.´´

8. ´´ස්වාමීනි, එසේද? සිටු ගැහැවියා රෞරව නරකයෙහි උපන්නේද?´´ ´´එසේය, මහරජ, සිටු ගැහැවියා රෞරව නරකයෙහි උපන්නේය.´´

´´ධාන්‍යය, ධනය, රිදීය, රත්රන්ය, අඹුදරු ආදී අනික් යම් දෙයක් ඇත්නම් එය, දාසයෝය, කම්කරුවෝය, පණිවිඩ කරුවෝය, තමන් අනුව ජීවත් වන්නෝය, යන මේ සියල්ලම පරලොව යාමේදී ගෙණයා නොහැකිය. ඒ සියල්ලම මෙහි දමා යා යුතුයි. කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ යම් කර්‍මයක් කෙරේනම් එය පමණක් ඔහුට ස්වකීය වස්තුව වේ. එය රැගෙන පරලොව යන්නේද වේ. ඒම ඔහු නොහැර පසු පස යන සෙවනැල්ල මෙන් ඔහු අනුව යන්නේ වේ. එහෙයින් පරලොව හිත සැප පිණිස රැස්කටයුතු පින්ම කටයුතු වේ. සත්‍වයන්ට පරලොවදි පින් පිහිට වෙති.´´

9. පඨමා පුත්තක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක.

2. එකල්හි පසේනදි කොසොල් රජ මැදුම් දවල් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. භාග්‍යවතුන් වහන්සේ, එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජහුගෙන් ´´මහරජ, ඔබ මේ මැදුම් දවල් කොහි සිට එහිදැ´´ යි ඇසීය.

3. ´´ස්වාමීනි, මෙහි සැවැත් නුවර සිටු ගෘහපතියා මැරුණෙය. මම ඔහුගේ ඒ දරුවන් නැති වස්තුව ඇතුළු නුවරට හැර යවා එමි. ස්වාමීනි, රන් ( කහවනු ) කාසිම අසූ ලක්‍ෂයකි. රිදී කාසි ගැන කියනුම කවරේද? ස්වාමීනි, ඒ සිටු ගෘහ පතියාගේ බත් කෑම මෙසේ වෙයි. ´ මිරිස් හොදි සමග නිවුඩු හාලේ බත කයි. ඇඳුම් හැඳීම මෙසේ වෙයි, තුන් කඩක් එකට මූට්ටුකළ හණවැහැරියක් අඳියි. යාන පරිභෝගය මෙබඳු වූවක් වෙයි. කොළ කුඩයක් ( තල අත්තක් ) ඉහලමින් දිරාගිය රථයෙන් යයි.´´

4. මහරජ, ඒ එසේය. මහරජ, ඒ එසේය. මහරජ, අසත් පුරුෂයා වනාහි මහත් වස්තුව ලැබ තමන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. මව් පියන්ද සැපවත් නොකෙරෙයි. දස් කම්කරු මිනිසුන්ද ( වැඩ කාරයින්ද ) සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. මිත්‍රාමාත්‍යයන්ද ( වැඩපල කරදෙන යහළුවන්ද ) සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. මහණ බමුණන් විෂයෙහිද මතු සැප ගෙන දෙන, සුගතියට හිතවත්වූ, සැපවිපාක ගෙන දෙන, දිව්‍යලෝකයේ උප්පත්තිය ඇතිකරණ දාන නොම පිහිටවයි. මෙසේ හොඳින් පරිභෝග නොකරන්නාවූ ඔහුගේ ඒ ධනය රජවරු හෝ පැහැර ගනිති. හොරු හෝ ගෙන යති. ගින්න හෝ දවයි. ජලය හෝ පාකර හරියි. මව් පියන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. අඹු දරුවන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. දස් කම්කරු මිනිසුන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. වැඩපොල කරදෙන යහළුවන්ද අප්‍රිය නෑයෝ හෝ හැරගෙන යති. මහරජ, මෙසේ ඇති කල්හි හොඳින් පරිභෝග නොකරණ වස්තු විනාශයට යති. පරිභෝගයට ( පාවිච්චියට ) නොයති.

5. ´´මහරජ, යම්සේ නම් අමනුෂ්‍යාධිගෘහිත ස්ථානයෙක්හිවූ ප්‍රසන්න ජලය ඇති, ශීතල ජලය ඇති, රසවත් ජලය ඇති, සුදු වැලිතලා ඇති, මනාව පිහිටි තොටුපොල ඇති, මනොඥවූ පොකුණක් වේද, එහි ජලය මහජනයා පරිභෝගයට නොම ගෙණ යන්නේය. නොබොන්නේය. නොනාන්නේය. ඒ ජලයෙන් රිසිවූ කිසිවක් නොකරන්නේය. මෙසේ ඇතිකල්හි, මහරජ, ඒ ජලය හොඳින් පාවිච්චි නොකරණු ලබන්නේ ක්‍ෂයව යයි, පරිභෝගයට නොයයි.´´

6. ´´මහරජ, එසේම අසත්පුරුෂයා මහත් භෝගවස්තු ලැබ තමන් සැපවත් නොකෙරේ. නොම පිණවයි. මව් පියන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. අඹු දරුවන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. දස් කම්කරු මිනිසුන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. වැඩපොල කරදෙන යහළුවන්ද අප්‍රිය නෑයෝ හෝ හැරගෙන යති. මහරජ, මෙසේ ඇති කල්හි හොඳින් පරිභෝග නොකරනු ලබන්නෝ විනාශයට පැමිණෙති. පරිභෝගයට නොපැමිණෙති.´´

7. මහරජ,සත්පුරුෂයා වනාහි මහත්භෝග සම්පත් ලැබ තමන් සුවපත් කෙරෙයි. පිනවයි. මව් පියන් සැපවත් කෙරෙයි. පිනවයි. අඹු දරුවන් සැපවත් කෙරෙයි, පිනවයි. දස් කම්කරු පුරුෂයන් සැපවත් කෙරෙයි. පිනවයි. වැඩපොල කරදෙන යහළුවන්ද සැපවත් කෙරෙයි, පිනවයි. මහණ බමුණන් විෂයෙහි මතු කල සැප ගෙන දෙන, සුගතියට හිතවත්වූ, සැපවිපාක ඇතිකරණ, සග සැප පිණිස පවත්නා දාන පිහිටවයි. මෙසේ යහපත්ව පරිභෝග කරනු ලබන ඔහුගේ ඒ වස්තු රජවරු හැර නොගනිත්. හොරු නොගෙනියත්. ගින්න නොදවයි. ජලය හෝ පාකොට නොහරියි. අප්‍රිය නෑයෝ නොගෙනියත්. මහරජ, මෙසේ ඇති කල්හි මනාකොට පාවිච්චිකරනු ලබන්නාවූ ඒ සම්පත් පරිභෝගයට පැමිණෙති. (නිකරුනේ) විනාශයට නොපැමිණෙති.

8. ´´මහරජ, යම්සේ නම් ගමක් හෝ නියම් ගමක් සමීපයෙහි පහන් දිය ඇති, සිහිල් දිය ඇති, රසවත් දිය ඇති, සුදු වැලිතලා ඇති, මනාව පිහිටි තොටුපල ඇති, මනොඥවූ පොකුණක් වේද, එහි දිය ජනයා සිත්සේ ගෙණ යන්නේද, බොන්නේද, නහන්නේද, රුචිසේ පාවිච්චි කරන්නේද වෙයි. මහරජ, ඒ ජලය මනාව පරිභෝග කරනු ලබන්නේ පරිභෝගට පැමිණෙයි. නිකරුණේ විනාශයට නොපැමිණෙයි.

9. මහරජ, එසේම නුවණැති සත්පුරුෂයා මහත් සම්පත් ලැබ තමන් සැපවත් කෙරෙයි. පිනවයි. මව් පියන් සැපවත් කෙරෙයි. පිනවයි. අඹු දරුවන් සැපවත් කෙරෙයි, පිනවයි. දස් කම්කරු පුරුෂයන් සැපවත් කෙරෙයි. පිනවයි. වැඩපොල කරදෙන යහළුවන් සැපවත් කෙරෙයි, පිනවයි. මහණ බමුණන් විෂයෙහි මතු කල සැප ගෙන දෙන, සුගතියට හිතවත්වූ, සැපවිපාක ඇතිකරණ, සග සැප පිණිස පවත්නා දාන පිහිටවයි. මෙසේ යහපත්ව පරිභෝග කරනු ලබන ඔහුගේ ඒ වස්තු රජවරු හැර නොගනිත්. හොරු නොගෙනියත්. ගින්න නොදවයි. ජලය හෝ පාකොට නොහරියි. අප්‍රිය නෑයෝ නොගෙනියත්. මහරජ, මෙසේ ඇති කල්හි මනාකොට පාවිච්චිකරනු ලබන්නාවූ ඒ සම්පත් පරිභෝගයට පැමිණෙති. (නිකරුනේ) විනාශයට නොපැමිණෙති. මෙසේ ඇතිකල්හි ඒ භෝගයෝ මනාව පරිභෝග කරනු ලබන්නෝ පරිභෝගයට භුක්තිවිඳීමට පැමිණෙති, නිකරුනේ විනාශයට නොපැමිණෙති.

10. ´´අමනුෂ්‍යාධිගෘහිත ස්ථානයෙක්හි පිහිටි දිය නොබීම යම්සේ නිකරුනේ වියලීයාද, එමෙන් නින්‍දිත පුරුෂයා ධනය ලැබ තමනුත් පරිභෝග නොකරයි. අනුන්ටත් නොදෙයි. නුවණැති පණ්ඩිත යම් පුද්ගලයෙක් වේද, හෙතෙමේ සම්පත් ලැබ තමනුත් පරිභෝග කෙරෙයි. කටයුතු දේත් කරයි. ඒ උතුම් පුද්ගලයා නෑ සමූහයාද පෝෂණයකොට ප්‍රශංසා ලබා මරණින් පසු සුගතියට පැමිණේ.

8. දුතියප්පමාද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ´´ස්වාමීනි, විවේකීව හුදකලාව හුන් මට මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය යහපත්සේ දෙසන ලද්දේය. හෙද යහපත් මිත්‍රයන් ඇත්තාටය. යහපත් යහළුවන් ඇත්තාටය. යහපතට නැමුණු තැනැත්තාටය, පාප මිත්‍රයන් ඇත්තාට නොවේ. පාප යහළුවන් ඇත්තාට නොවේ. පවට නැමුණහට නොවේ´´ යි කියායි.

3. ´´ මහරජ, ඒ එසේය. මහරජ, ඒ එසේය. මහරජ, මවිසින් ධර්‍මය මනාකොට දෙසන ලදී. හෙද යහපත් මිතුරන් ඇත්තාටය. යහපත් යහළුවන් ඇත්තාටය. යහපතට නැමුණු තැනැත්තාටය, පාප මිත්‍රයන් ඇත්තාට නොවේ. පාප යහළුවන් ඇත්තාට නොවේ. පවට නැමුණු තැනැත්තාට නොවේ.

4. ´´ මහරජ, මම එක් වතාවකදී, ශාක්‍ය ජනපදයේ ශාක්‍ය රජ දරුවන්ගේ නාගරක නම් නියම් ගම්හි වාසය කරමි. මහරජ, එවිට ආනන්‍ද භික්‍ෂු මා යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත්පස්ව හිඳ ආනන්‍ද භික්‍ෂුව මෙසේ කීයේය. ´ස්වාමීනි, යහපත් මිතුරන් ඇති බව යහපත් යහළුවන් ඇතිබව යහපතට නැමුනු බව මේ ශාසන බ්‍රහ්මචය්‍ර්‍යාවෙන් බාගයක්සේ සලකමි´ යි.´´

5. මහරජ, මෙසේ කියනු ලැබූ මම, ආනන්‍ද භික්‍ෂුවට මෙය කීමි. ´´ ආනන්‍දය මෙසේ නොකියව, ආනන්‍දය මෙසේ නොකියව, ආනන්‍දය මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව එහෙම පිටින්ම යහපත් මිතුරන් ඇති බවය, යහපත් යහළුවන් ඇති බවය, යහපතට නැමුණු බවය, යහපත් මිතුරන් ඇත්තා, යහපත් යහළුවන් ඇත්තා, යහපතට නැමුණු තැනැත්තා ආය්‍ර්‍ය අෂ්ඨාංගික මාර්‍ගය භාවනා වශයෙන් වඩන්නේය. නැවත නැවත බහුල වශයෙන් සිත් සතන්හි පුරුදු කරන්නේය. යන මේ කරුණ යහපත් මිතුරන් ඇති භික්‍ෂුව විසින් බලාපොරොත්තු විය යුත්තකි.

6. ´´ආනන්‍දයෙනි, යහපත් මිතුරන් ඇති, යහපතට නැමුණු භික්‍ෂුව කෙසේනම් ආය්‍ර්‍ය අෂ්ඨාංගික මාර්‍ගය වඩන්නේද? කෙසේනම් ආය්‍ර්‍ය අෂ්ඨාංගික මාර්‍ගය බහුල වශයෙන් දියුණු කරන්නේද?´´

7. ´´ ආනන්‍දය, මේ ශාසනයෙහි භික්‍ෂුතෙමේ කෙලෙසුන්ගෙන් වෙන්වීමයයි කියනලද විවේකය ඇසුරුකළ, කෙලෙසුන් නැතිකිරීමයයි කියනලද නිරෝධය ඇසුරුකළ, කෙලෙසුන් හැරදැමීමයයි කියනලද නිස්සග්ගය කරා නැමුණු සම්මාදිටඨිය යහපත් දැකීම වඩයි. යහපත් කල්පනාව වඩයි. යහපත් වචනය වඩයි, යහපත් කම් වඩයි. යහපත් දිවි පැවතුම් වඩයි, යහපත් උත්සාහය වඩයි, යහපත් සිහිය වඩයි, යහපත් සමාධිය ( භාවනාව ) වඩයි. ආනන්‍දය, යහපත් මිතුරන් ඇති භික්‍ෂු මෙසේ ආය්‍ර්‍ය අෂ්ඨාංගික මාර්‍ගය වැඩිදියුණු කරන්නේය, භාවනා වශයෙන් නැවත නැවත පුහුණු කරන්නේය.´´

8. ´´ ආනන්‍දය, මේ ක්‍රමයෙන්ද මේ ශාසන බ්‍රහ්මචය්‍ර්‍යාව මුළුමනින්ම යහපත් මිතුරන් ඇති බවය, යහපත් යහළුවන් ඇති බවය, යහපතට නැමුණු බවය යනු දතයුතුයි. ආනන්‍දය, කළණ මිත් වූ මාවෙත පැමිණ උත්පත්තිය ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ උත්පත්තියෙන් මිදෙති. ජරාව ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ ජරාවෙන් මිදෙති. ලෙඩ ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ ලෙඩින් මිදෙති. මරණය ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ මරණින් මිදෙති. ශෝක කිරීම්, හැඬීම්, කායික දුක්, මානසික දොම්නස්, දැඩි ආයාස, යන මේ ස්වභාව කොට ඇති සත්ත්‍වයෝ ශෝකයෙන්, ඇඬීමෙන්, කායික දුකින්, මානසික දොම්නසෙන්, දැඩි ආයාසයෙන් මිදෙති. ආනන්‍දය, මේ ක්‍රමයෙන්ද ශාසන බුහ්මචය්‍ර්‍යාව මුළුමනින්ම යහපත් මිතුරන් ඇති බවය, යහපත් යහළුවන් ඇති බවය, යහපතට නැමුණු බව යයි දත යුතුයි.

9. මහරජ, එහෙයින් මේ කරුණෙහිලා ඔබ විසින්ද මෙසේ හික්මිය යුතුයි, ´යහපත් මිතුරන් ඇත්තෙක්, යහපත් යහළුවන් ඇත්තෙක්, යහපතට නැමුනෙක් වෙමි ´ කියායි. මහරජ, ඔබ විසින් මෙලෙසින්ම හික්මිය යුතුයි. එනම් යහපත් මිතුරන් ඇති, යහපත් යහළුවන් ඇති, යහපතට නැමුණු ඔබ විසින් කුසල් දහම්හි අප්පමාදය යන මේ වකම ධර්‍මය ඇසුරුකොට වාසය කට යුතුය යනුයි.´´

10. ´´මහරජ, නොපමාව අප්පමාදය ඇසුරුකොට වසන ඔබගේ ස්ත්‍රී නිවාසයටද මෙසේ සිත් වන්නේය. ´´රජතෙමේ අප්පමාදය ඇසුරුකොට අප්පමත්තව වසයි. එබැවින් අපිදු අප්පමාදය ඇසුරුකොට අප්පමත්තව වසමු´ කියයි.

11. ´´මහරජ, අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසන ඔබගේ අනුවර රජුන්ටද මෙසේ සිත් වන්නේය. ´´රජතෙමේ අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසයි. එබැවින් අපිදු අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසමු´ කියායි.

12. ´´මහරජ, අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසන ඔබගේ බල සෙනගටද මෙසේ සිත් වන්නේය. ´´රජතෙමේ අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වෙසෙයි. එබැවින් අපිදු අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසමු´ කියායි.

13 ´´මහරජ, නොපමාව වසන ඔබගේ නියම්ගම් දනව් වැස්සන්ටද මෙසේ සිත් වන්නේය. ´´රජ අප්පමාදය ඇසුරුකොට නොපමාව වසෙයි. එහෙයින් අපිදු අප්පමාදය ඇසුරුකොට වසමු´ කියායි.

14. ´´ මහරජ, අප්පමාදය ඇසුරුකොට නොපමාව වසන ඔබගේ ( ආත්මයද ) තමා ගෝපිතවූයේ රැකුනේවෙයි. ස්ත්‍රී නිවාසයද රැකුනේ වෙයි. ධන ගබඩා ධාන්‍ය ගබඩාද රක්‍ෂිත සුරක්‍ෂිත වෙති.

15. ´´ නොයෙක් ආකාර මහත් භෝග සම්පත් පතන්නා විසින් පින්කම්හි නොපමාව පුහුණු කටයුතුයයි, පණ්ඩිතයෝ පසසා පවසති. කුසල් දහම්හි නොපමාව, නුවණැත්තා මෙලෝ වැඩද පරලෝ වැඩද යන දෙයාකාර අභිවෘද්ධිය ලැබගනී. දෙලෝ වැඩම සිද්ධකරගන්නා කාරණයෙන් ඒ ධීමතා පණ්ඩිතයයි කියනු ලැබේ.´´

7.අප්පමාද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත් පසෙක හුන් පසේනදි කොසොල් රජ, ´´ස්වාමීනි, මෙලොව අභිවෘද්ධියද පරලොව අභිවෘද්ධියද යන දෙයාකාර අත්‍ර්‍ථසිද්ධියම ගෙන දෙන එක් දෙයක් ඇත්තේදැයි´´ භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළේය.

´´මහරජ, මෙලොව අභිවෘද්ධියද පරලොව අභිවෘද්ධියද යන දෙවැදෑරුම් අභිවෘද්ධියම ඇතිකරණ එක් දෙයක් ඇත්තේය.´´ ´´ ස්වාමීනි, මෙලොව අභිවෘද්ධියද පරලොව අභිවෘද්ධියද යන දෙවැදෑරුම් අභිවෘද්ධියම ඇතිකරණ එක් දෙය කිමෙක්ද?´´

3. ´´මහරජ, අප්පමාදයයි ( එළඹසිටි සිහි ඇති බව ) නම්වූ එකම දේ මෙලොව අභිවෘද්ධියද පරලොව අභිවෘද්ධියද යන දෙයාකාර අභිවෘද්ධියම ගෙනදෙන එක දෙයයි. මහරජ, ඇවිදින තොයි සතුන්ගේත් පියවර හෙවත් පා සටහන් ඇත් පියවර ඇතුළතම යම්සේ පිහිටත්ද, ඒ ඇත් පියවර මහත් බැවින් ඒ හැම පියවරටම වඩා අග්‍රයයි කියනු ලැබේද, එමෙන්ම මේ අප්පමාද නම් එතම ධර්‍මය මෙලෝ පරලෝ යන දෙවැදෑරුම් අභිවෘද්ධියම හොඳාකාර දරාසිටී.

4. ආයුෂද, නීරෝගී බවද, ලක්‍ෂණද, සැපයෙන් අග්‍ර බවද, උසස් කුලයෙහි ඉපදීමද, කුදු මහත් උදාර සම්පත්තීන්ද පතන්නා විසින් පින් දහම් කිරීමෙහි නොපමාව පුරුදුකළ යුතුයයි ( බුද්ධාදී ) පණ්ඩිතයෝ පසසා පවසති. ( පින් දහම්හි ) නොපමාවූ නුවණැත්තෝ දෙලෝ වැඩම සිද්ධකරගනී. මෙලොව යම් අභිවෘද්ධියක් ඇද්ද, පරලොව යම් වැඩකුත් ඇද්ද මෙකී දෙවැඩම අත්කර ගන්නා බැවින් ධෘතිමත් ( ස්ථිර ) පුද්ගලයා පණ්ඩිතයායයි කියනු ලැබේ.´´

6. ධීතු සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිනියේය. පැමිණ, වැඳ, එකත්පසෙක හුන්නේය. එවිට එක්තරා මිනිසෙක් කොසොල් රජ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ රජුගේ කණට කොඳුරා රහසින්, ´ මල්ලිනා දේවී දුවක් වැදුවා ´ යයි කීයේය. මෙසේ කීකල කොසොල් රජු නොසතුටු සිත් ඇත්තේ විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කොසොල් රජ නොසතුටට පැමිණියවුන් දැන ඒවේලෙහා මේ ගාථා වදාළේය.

3. ´´ රජතුමනි, ඇතැම් ස්ත්‍රීහු පිරිමින්ට වඩා ශ්‍රේෂ්ඨ වෙති. නුවණැත්තෝද, සිල්වත්ද, සැමියා දේවතාකොට ඇත්තෝද, පතිවත් රක්නෝද වෙති. එහෙයින් ඔවුන් පෝෂණය කරනු මැන. ඇයට යම් පුතෙක් උපදීද ඔහු . දික්පති ( දිශාවට අධිපති ) වෙයි. එබඳු වාසනාවන්තියගේ පුත්‍රයා රජකම් පවා කරන්නේය.´´

5. සඞගාමවත්‍ථු සූත්‍රය ii.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග සරසාගෙන පසේනදි කොසොල් රජුට විරුද්ධව කසීරටට ගියේය. පසේනදි කොසොල් රජද මගධරට වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග ගෙන මට විරුද්ධව කාසියට ආවේයයි´ ඇසීය.

3. ඉක්බිති පසේනදි කොසොල් රජද සිවුරඟ සෙනග සරහා ගෙන මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජුට විරුද්ධව කසීරටට ගියේය. එකල මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජද, පසේනදි කොසොල් රජද, යුද්ධ කළාහුය. ඒ යුද්ධයෙදී පසේනදි කොසොල් රජ මගධරට වේදේහිපුත්ත අජාසත් රජුන් පැරදවීය. ඒ අජාසත් රජ පණපිටින් අල්වාගත්තේද වේ.

4. එවිට කොසොල් රජුට මේ සිත විය. මේ මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ ද්‍රෝහි නොකරන්නාවූ මට ද්‍රෝහි කරන්නේවී නමුත් ඔහු මගේ බෑනා වෙයි. එහෙයින් මම මේ මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජුගේ මුළු ඇත් සෙනගද අල්වාගෙන, අස් සෙනගද අල්වාගෙන, අස් සෙනගද අල්වාගෙන, රිය සෙනගද අල්වාගෙන, පාබල සෙනගද අල්වාගෙන, ඒ අජාසත් රජ පමණක් පණපිටින් මුදාහරින්නෙමි නම් මැනවැයි´ කියායි.

5. ඉක්බිති පසේනදි කොසොල් රජ, මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජුගේ මුළු ඇත් සෙනගද අල්වාගෙන, අස් සෙනගද අල්වාගෙන, අස් සෙනගද අල්වාගෙන, රිය සෙනගද අල්වාගෙන, පාබල සෙනගද අල්වාගෙන, ඒ අජාසත් රජ පණපිටින් මුදාහැරියේය.

6. එකල බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පා සිවුරු ගෙණ, පිඬු පිණිස සැවැත් නුවරට පිවිස බතින් පසු පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියෝය. පැමිණ වැඳ, එකත්පස්ව හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.

´´ස්වාමීනි, මෙහි මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග සරහාගෙන පසේනදි කොසොල් රජුට විරුද්ධව කසීරටට ගියේය. පසේනදි කොසොල් රජද මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග ගෙන මට විරුද්ධව කාසියට ආවේයයි´ ඇසීය.

7. ඉක්බිති පසේනදි කොසොල් රජද සිවුරඟ සෙනග සරහාගෙන මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජුට විරුද්ධව කසීරටට ගියේය. එකල මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජද, පසේනදි කොසොල් රජද, යුද්ධකළාහුය. ඒ යුද්ධයෙදී පසේනදි කොසොල් රජ මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජුන් පැරදවීය. ඒ අජාසත් රජ පණපිටින් අල්වාගත්තේද වේ.

4. එවිට කොසොල් රජුට මේ සිත විය: මේ මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ ද්‍රෝහ නොකරන්නාවූ මට ද්‍රෝහ කරන්නේවී නමුත් ඔහු මගේ බෑනා වෙයි. එහෙයින් මම මේ මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජුගේ මුළු ඇත් සෙනගද අල්වාගෙන, අස් සෙනගද අල්වාගෙන, අස් සෙනගද අල්වාගෙන, රිය සෙනගද අල්වාගෙන, පාබල සෙනගද අල්වාගෙන, ඒ මගධරට රජවූ අජාසත් රජ පමණක් පණපිටින් මුදාහරින්නෙමි නම් මැනවැයි´ කියායි.

5. ඉක්බිති පසේනදි කොසොල් රජ, මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජුගේ මුළු ඇත් සෙනගද අල්වාගෙන, අස් සෙනගද අල්වාගෙන, අස් සෙනගද අල්වාගෙන, රිය සෙනගද අල්වාගෙන, පාබල සෙනගද අල්වාගෙන, ඒ අජාසත් රජ පණපිටින් මුදාහැරියේය.´´ යනුයි.

එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන එවේලෙහි මේ ගාථාවන් වදාළසේක:

´´මිනිස් තෙමේ තමහට හැකිතාක් කල් අනුන් පෙළයි. යම් විටක අන්‍යයෝ ඔහු පෙළත්ද, එකල අනුන් විසින් ඔහු පෙළනු ලබන්නේ වේ, යම්තාක් කල් පව පල නොදේද, ඒ තාක් ඒ අඥානයා එය සතුටට කරුණක් සේ සිතයි. යම් විටෙක පව විපාක දෙන්නට පටන් ගනීද, එකල ඒ අඥානයා දුකට පැමිණේ. අනුන් පෙළන්නා තමන් පෙළන්නෙකුත් ලබයි. අනුන් පරදවන්නා තමුන් පරදවන්නෙකුත් ලබයි. අණුන්ට බණින්නා තමුන්ට බණින්නෙකුත් ලබයි. අනුන්ට රොස් කරන්නා තමුන්ට රොස් කරන්නෙකුත් ලබයි. නැවත මේ කර්‍මය පෙරළි පෙරළී මුහුකුරා යාමෙන් ඒ පීඩකයා පීඩිතද වේ.

4. සඞගාමවත්‍ථු සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග සරහා කොසොල් රජුට විරුද්ධව යුද පිණිස කසීරට වෙත ගියේය. පසේනදි කොසොල් රජද මගධාධිපති අජාසත් රජ සිවුරඟ සෙනග සරසා විරුද්ධව කසීරට වෙත ආයේයයි ඇසීය.

3. පසේනදි කොසොල් රජද සිවුරඟ සෙනග සරසාගෙණ අජාසත් රජුට විරුද්ධව සටන් පිණිස කසීරටට ගියේය. ඉන්පසු මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජද, පසේනදි කොසොල් රජද යුද්ධ කළාහුය. ඒ යුද්ධයේදී මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ පසේනදි කොසොල් රජුන් පැරදවීය. පැරදී පසේනදි කොසොල් රජ සිය රාජධානියවූ සැවැත් නුවරට පසුබැස ගියේය.

4. එකල බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙණ සැවැත් නුවරට වැඩ පසුබත් කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියෝය. පැමිණ, වැඳ, එක්පස්ව හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.

´´ස්වාමීනි, මෙහි මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග සරසාගෙන පසේනදි කොසොල් රජුට විරුද්ධව සටන් පිණිස කසීරටට ගියේය. පසේනදි කොසොල් රජද මගධරට වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග සරසාගෙන මට විරුද්ධව යුධ පිණිස කසීරටට ආවේයයි´ ඇසීය. ඉක්බිති පසේනදි කොසොල් රජද සිවුරඟ සෙනග සරසාගෙන මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජුට විරුද්ධව යුද පිණිස කසීරටට ගියේය. ඒ දෙදෙන එහි යුද කළහ. ඒ යුදෙහි මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ පසේනදි කොසොල් රජ පැරදවීය. පැරදවීය. ස්වාමීනි, පැරදුනාවූ පසේනදි කොසොල් රජ සිය රාජධානියවූ සැවැත් නුවරට පසුබැස ආවේය.´´ යනුයි.

5. ´´මහණෙනි, මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ පව්කාර මිත්‍රයන් ඇති, පව්කාර යහළුවන් ඇති, පව්කාරයන්ටම නැමුණු කෙනෙක. එහෙත් මහණෙනි, පසේනදි කොසොල් රජ කල්‍යාණ මිත්‍රයන් ඇති, කල්‍යාණ යහළුවන් ඇති, යහපතටම නැමුණු කෙනෙක. මහණෙනි, අද මේ රැය පැරදුනු පසේනදි කොසොල් රජ දුකසේ සයනය කරන්නේය.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා මේ ගාථාවද වදාළසේක:

´´දිනන තැනැත්තේ වෛරය ( සතුරන් ) රැස් කරන්නේය. පැරදුන තැනැත්තේ දුකසේ වසන්නේය. දිනුම් පැරදුම් දෙකම හැරදමා ( කෙලෙස් දුරලීමෙන් ) සන්සුන් තැනැත්තේ සැපසේ වසන්නේය.´´