7. අත්‍ථකරණ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය.

2. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, විනිශ්චය ශාලාවෙහි නඩු විසඳීමෙහි යෙදී හුන් මම ධනයෙන් ආඪ්‍යවූද, බොහෝ සම්පත් ඇත්තාවූද, බොහෝ රන් රුවන් ඇත්තාවූද, මන පිනවන බොහෝ දේ ඇත්තාවූද, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූද, මහාසාර කුලවල උපන් ක්‍ෂත්‍රියයන්ද, මහාසාර කුලවල උපන් බමුණන්ද, මහාසාර කුලවල උපන් ගෘහපතීන්ද, කාම වස්තූන් නිසාම, කාම වස්තූන් මූලකාරන කොටම, කාම වස්තූන් කරණ කොටගෙනම, දැන දැන බොරු කියන්නවුන් දිටිමි. ස්වාමීනි, ඒ මට දැන් මේ සිත විය. එනම්:- මට දැන් මේ නඩු හලෙන් කම් නැත. මින් මතු භද්‍ර මුඛ නම් තැනැත්තේ නඩුහලෙහි පෙනී සිටීය´´ යනුයි.

3. ´´ මහරජ, ධනයෙන් ආඪ්‍යවූද, මහත් ධන ඇත්තාවූද, මහත් වස්තු ඇත්තාවූද, බොහෝ රන් රුවන් ඇත්තාවූද, මන වඩන බොහෝ වස්තු ඇත්තාවූද, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූද, මහාසාර කුලවල උපන් යම් ඒ ක්‍ෂත්‍රියයෝද, බ්‍රාහ්මණයෝද, ගෘහපතියෝද, කාම වස්තූ නිසාම, කාම වස්තූ මුල්කොටගෙනම, කාම වස්තූ කරණ කොටගෙනම, දැන දැන බොරු කියත්ද, ඒ ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස වන්නේය.´´

4. කාම වස්තූන්හි ඇලුනාවූ, එහිම ගිජුවූ, කාමයන්හි මුළාවූ සත්ත්‍වයෝ කුසල් ඉම පැනයාම නොදකිත්. මත්ස්‍යයෝ තමන් ඇල්ලීමට බහා තිබෙන කෙමන යම්සේ නොදකිත්ද, එමෙනි. පසුව ඔවුන්ට කටුක දුක වෙයි. එහි විපාකයද ඉතා දරුණුය.´´