6. අප්පකා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය.

2. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, තනිව විවේකීව හුන් මට මේ විතර්‍කය පහළවිය. එනම්:- ´මහත් මහත් භොග සම්පත් ලැබ මාන මදයෙන් මත් නොවන්නාවූද, පමා නොවන්නාවූද, කාමයන්හි ගිජු බවට නොපැමිනෙන්නාවූද, සතුන් කෙරෙහි වරදවා නොපිළිපදින්නාවූද සත්ත්‍වයෝ ලෝකයෙහි ඉතා ස්වල්ප දෙනෙක්ය. එහෙත් වැඩි කොටසක් සත්ත්‍වයෝ මහත් මහත් භෝග සම්පත් ලැබ මානාදී මදයෙන් මත් වෙති. පමාවෙති. කාමයන්හි ගිජුවෙති. සත්ත්‍වයන් කෙරෙහි වැරදිසේ පිළිපදිති.´´ යනුයි.

3. මහරජ, ඒ එසේය, මහරජ, ඒ එසේය. මහරජ, මහත් මහත් භොග සම්පත් ලැබ මත් නොවන්නාවූ, පමා නොවන්නාවූ, කාමයන්හි ගිජු නොවන්නාවූ, සත්ත්‍වයන් කෙරෙහි වරදවා නොපිළිපදින්නාවූ, සත්ත්‍වයෝ ලෝකයෙහි ඉතා ස්වල්ප දෙනෙක් වෙති. වැලිදු මහත් මහත් භෝග සම්පත් ලැබ යමෙක් මත්වෙත්ද, පමාවෙත්ද, කාමයන්හි ගිජුවෙත්ද, සතුන් කෙරෙහි වැරදි සේ පිළිපදිත්ද, මෙබඳු සත්ත්‍වයෝම ලෝකයේ බොහෝ වෙති.´´

´´ කාම සම්පතෙහි ඇලුනාවූ, ගිජුවූ. කාමයන්හි මුළාවූ සත්ත්‍වයෝ තමන් කුශල සීමාව ඉක්මවා යන බව තේරුම් නොගනිති. මුවන්, වැද්දන් විසින් දමනලද උගුල තේරුම් නොගන්නාක් මෙනි. ඔවුන්ට පසුව කටුක දුක වෙයි. එහි විපාකයද ඒ කාන්තයෙන්ම දරුණුය.´´