4. පිය ( නොහොත් පියඅත්ත ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය.

2. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, තනිව විවේකීව හුන් මට මෙබඳු විතර්‍කයක් පහළවිය. එනම්:- ´කවුරුන්ට තමා ප්‍රියද? කවුරුන්ට තමා අප්‍රියද?´ කියායි. ස්වාමීනි, ඒ මට මේ සිත විය.

3. ´යම්කිසි කෙනෙක් කයින් දුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් දුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා අප්‍රියය. අපගේ ආත්මය හෙවත් තමා තමන්ට ප්‍රියයයි යම් ලෙසකින් ඔවුන් කියතත් ඔවුන්ට තමා අප්‍රියමය. ඊට හේතු නම්:- අප්‍රියයෙක් අප්‍රියයෙකුට යමක් කෙරේනම්, ඔවුහු එය තමන්ටම කෙරෙති. එහෙයින් ඔවුන්ට තමා අප්‍රියය.

4. ´යම්කිසි කෙනෙක් කයින් සුචරිතයෙහි හැසිරෙත්ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙත්ද, සිතින් සුචරිතයෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා ප්‍රියය. අපට තමා අප්‍රියයයි කිසිලෙසකින් ඔවුන් කියතත් ඔවුන්ට තමා ප්‍රියමය. ඊට හේතු නම්:- ප්‍රියයෙක් ප්‍රියයෙකුට යමක් කෙරේනම්, ඔවුහු එය තමන්ටම කරෙති. එහෙයින් ඔවුන්ට තමා ප්‍රියයි.´´

5. ´´මහරජ, ඒ එසේය. මහරජ, ඒ එසේය. මහරජ, යම්කිසිවෙක් කයින් දුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් දුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා අප්‍රියය. මහරජ, යමෙක් කයින් සුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් සුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් සුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා ප්‍රියය.

´´ඉදින් යමෙකුට තමා ප්‍රියයයි දන්නෙනම් ඒ තමා පවෙහි නොයෙදෙන්නේය. ( සුසිරිත් කිරීමෙන් ලද හැකි සැප ) දුසිරිත් කරන්නා විසින් පහසුවෙන් ලද හැකි නොවේ. ( එහෙයිනි. )

´´මාරයා විසින් යටපත්කරගන්නා ලද්දාවූ, මිනිස් සිරුර හැර දමන්නාවූ ඔහුට කුමක්නම් තමන් සතු වේද, ඔහු කුමක් රැගෙන ( පරලොව ) යයිද, තමන් පසුපස යන සෙවනැල්ල මෙන් කුමක් නම් ඔහු අනුව යයිද?´´

´´මිනිසා මෙලොවදී යම් පිනක් හෝ පවක් කරයිද, ඒ ඔහුට තමන් සතුවෙයි. ඔහු එය රැගෙන ( පරලොව ) යයි. තමන් පසුපස යන සෙවනැල්ල මෙන් ඒ ඔහු අනුව යයි.´´

´´එහෙයින් පරලොවට හිතසැප පිණිස දේ රැස් කරන්නා කුසල් කරන්නේය. කුසල් පරලොවදී සත්ත්‍වයන්ට පිහිට වෙති.´´