10. බන්‍ධන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි පසේනදි කොසොල් රජ විසින් මහා ජන සමූහයක් බන්දවන ලද්දේ වෙයි. සමහරු රැහැණින්ද, සමහරු දම්වැලින්ද, සමහරු විලංගුවෙන්ද බන්දවන ලද්දෝය.

3. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙණ පිඬු පිණිස සැවැත් නුවරට ගොස් පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා අවුත් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්හ. එකත්පස්ව හිඳ මෙය කීහ. ස්වාමීනි, කොසොල් රජ විසින් බොහෝ දෙනා බන්දවන ලදහ. සමහරු රැහැණින්ද, සමහරු දම්වැලින්ද, සමහරු විලංගුවලින්ද බන්දවන ලද්දෝය´´ යනුයි.

4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන එවේලෙහි මේ ගාථා වදාළසේක.

´´යකඩින් කළාවූද, ලීයෙන් කළාවූද, බබ්බජ නම් තෘණ විශේෂයෙන් කළාවූද, බැමි තද බැමියයි නුවණැත්තෝ නොකියති. මිණිකොඬොල් ආදී ආභරණයෙහි ඇලීමද, අඹු දරුවන් කෙරෙහි අපේක්‍ෂාවද යන මෙය දැඩි තද බැම්මයයි ( බුද්ධාදී ) නුවණැත්තෝ කියති. මේ බැම්ම අපායාදී පහත් බිමට අදින්නක්ද, බුරුල්වූවක්ද, එහෙත් ලෙහෙසියෙන් මිදෙනු නොහැක්කක්ද වේ. කාමයෙහි ඇළුම් නැත්තෝ මේ බැම්මද සිඳ බිඳ දමා කම් සැප හැර නිවන් මගට යෙති.