1. දහර සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, සතුටු විය. සතුටු වියයුතු, සිහි කටහුතු කථා පවත්වා එක් පසෙක හුන්නේය.

3. එක් පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ´´භවත් ගෞතමයන් වහන්සේත් ´අනුත්තර සම්‍යක් සම්බෝධිය ලදුම්හ´ යි ප්‍රතිඥා කෙරෙත්ද?´´

4. ´´මහරජ, සරිලෙස කියන තැනැත්තේ ´ මේ තෙම සම්‍යක් සම්බෝධියට පැමිණියේය ´ යි යමකු ගැන කියන්නේ නම්, ඒ නිවැරැදි සේ කියන තැනැත්තා එය මා ගැනම කියන්නේය. මහරජ, මම් වනාහි ඉතා උතුම් සම්‍යක් සම්බෝධියට පැමිණියෙක්මි´´ යි (භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දුන් සේක.)

5. ´´භවත් ගෞතමයන් වහන්ස, පූරණකස්සප, මක්ඛලීගොසාල, නිගණ්ඨනාථපුත්ත, සඤජයබෙල්ලට්ඨපුත්ත, පකුධකච්චායන, අජිත කෙසකම්බල යන පැවිදි සමූහයා ඇති, පැවිදි ගනයා ඇති, ගණාචාය්‍ර්‍යවූ, ප්‍රකටවූ යසස් ඇති, ලබ්ධි ඇති කරන්නාවූ, බොහෝ දෙනා විසින් යහපත්යයි සම්මත කරණලද යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙත්ද, ඔවුහුත් අනුත්තර සම්මා සම්බෝධිය ලදුම්හයි ප්‍රතිඥා කරනුදැයි මවිසින් ප්‍රශ්න කරන ලද්දෝ අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කෙළෙමුයි ප්‍රතිඥා නොකරති. උත්පත්තියෙන් තරුණුවූත්, පැවිද්දෙන් ආධුනිකවූත්, අළුත පැවිදිවූ භවත් ගෞතමයන් වහන්සේ කෙසේ නම් ප්‍රතිඥා කරන සේක්ද?´´

6. ´´මහරජ, මේ සතරදෙනෙක් තරුණයයි හෙවත් ළදරුයයි ලඝු කොට සැලකිය යතු නොවෙති, පරිභව කටයුතු නොවෙති. එනම්:- ක්‍ෂත්‍රිය රජ කුමරා ළදරුයයි සැහැල්ලුකොට සිතියයුතු නොවේ. සර්‍පයා ළදරුයයි සැහැල්ල්‍රකොට සිතියයුතු නොවේ. ගින්න කුඩායයි නොසැලකියයුතු නොවේ. භික්‍ෂුව තරුණයයි පහත්සේ සිතියයුතු නොවේ. මහරජ, මේ සතරදෙන තරුණයයි අවමන් නොකටයුතු වෙති. පරිභව නොකටයුතු වෙති.´´

7. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත මේ ගාථා වදාළ සේක.

8. නුවණැති මිනිස් තෙමේ ජාති සම්පන්නවූ, උසස් කුලයෙහි උපන්නාවූ, යසස් ඇති, ක්‍ෂත්‍රිය රාජකුමාරයාට, ළදරුයයි අවමන් නොකරන්නේය. පරිභව නොකරන්නේය, ඊට කරුණු ඇත්තාහ, මනුජෙන්‍ද්‍රවූ ඒ ක්‍ෂත්‍රිය තෙමේ රජකම ලබාගෙන තමන්ට අවමන්කළ තැනැත්තා කෙරෙහි කිපියේ බෙහෙවින් ඔහුට රාජ දඬුවම් කරන්නේය. එහෙයින් තම දිවි රකින්නා ඒ ක්‍ෂත්‍රිය (උතුම්) කුමරුන් නොගටා ඈත්වන්නේය.

9. ´´නුවණැති මිනිසා ගමෙහි හෝ වෙනෙහි හෝ යම්කිසි තැනෙක සර්‍පයෙක් දකීද, ඒ සර්පයා කුඩායයි සැහැල්ලුකොට නොසිතන්නේය. අවමන් නොකරන්නේය. තෙදින් යුත් සර්පයා උස් පහත් නොයෙක් වෙසින් හැසිරෙන්නේය. ඒ සර්පයා තමහට ගැහැට කළ අඥාන මිනිසා හෝ ගැහැනිය වෙත පැමිණ දෂ්ට කරන්නේය. එහෙයින් තම දිවි රකින්නේ ඒ සර්පයා වෙත නොයන්නේය.

10. ´´බොහෝ කොට කන, ගිනි දැල් ඇති, ගිය මග කළුකරණ ගින්න නුවණැති මිනිසා කුඩායයි ලඝුකොට නොසිතන්නේය. පරිභව නොකරන්නේය. ඒ ගින්න ඇවිලීමට උපකරණ ලැබ මහත්වී ඒ අවමන්කළ අඥාන මිනිසා හෝ ගැහැනිය වෙත පැමිණ දවන්නේය. එහෙයින් තම දිවි රකින්නා ඒ ගින්න ඈත් කරන්නේය.

11. ´´ගිය මග කළුකරන්නාවූද, පව් දවන්නා යන අත්‍ර්‍ථයෙන් පාචක නම්වූද ගින්න යම් වනයක් දවානම් එහි කලකට පසු පැල හටගනිති. නමුත් සිල්වත් භික්‍ෂු සිල් තෙදින් යමෙකුන් දවානම් ඔහුට පුත්තු නැති වෙති. ගෙරි සරක් නැති වෙති. ඔහුගේ දායාදයෝ හෙවත් ධනයට හිමිකම් ඇති නෑදෑයෝ ඔහුගේ ධනය නොලබති. ඔවුහු දූ දරුවන් නැත්තෝව, ධනයට හිමි නෑයන් නැත්තෝව කරටියෙන් කැඩූ තල් ගස් මෙන් වෙති.

12. එහෙයින් තමන්ට යහපත බලාපොරොත්තුවන නුවණැති මනුෂ්‍යයා සර්පයාද, ගින්නද, කීර්තිමත් උතුම් කුමරාද, සිල්වත් භික්‍ෂුවද යන මොවුන් කෙරෙයි යහපත්ව හැසිරෙන්නේය.´´

13. මෙසේ වදාළ කල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ´´ස්වාමීනි, ඉතා රම්‍යයි, ඉතා මනොඥයි. ස්වාමීනි, යටිකුරු වූවක් යම්සේ උඩුකුරු කරන්නේද, වැසුනු දෙයක් යම්සේ මතුකරන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරේ තෙල් පහනක් දල්වන්නේ යම්සේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්‍මය ප්‍රකාශකරණ ලදී. ස්වාමීනි, මේ මම බුදුන්, දහම්, සංඝයා සරණ යමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයෙකු ලෙස සලකන සේක්වා.´´