10. බන්‍ධන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි පසේනදි කොසොල් රජ විසින් මහා ජන සමූහයක් බන්දවන ලද්දේ වෙයි. සමහරු රැහැණින්ද, සමහරු දම්වැලින්ද, සමහරු විලංගුවෙන්ද බන්දවන ලද්දෝය.

3. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙණ පිඬු පිණිස සැවැත් නුවරට ගොස් පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා අවුත් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්හ. එකත්පස්ව හිඳ මෙය කීහ. ස්වාමීනි, කොසොල් රජ විසින් බොහෝ දෙනා බන්දවන ලදහ. සමහරු රැහැණින්ද, සමහරු දම්වැලින්ද, සමහරු විලංගුවලින්ද බන්දවන ලද්දෝය´´ යනුයි.

4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන එවේලෙහි මේ ගාථා වදාළසේක.

´´යකඩින් කළාවූද, ලීයෙන් කළාවූද, බබ්බජ නම් තෘණ විශේෂයෙන් කළාවූද, බැමි තද බැමියයි නුවණැත්තෝ නොකියති. මිණිකොඬොල් ආදී ආභරණයෙහි ඇලීමද, අඹු දරුවන් කෙරෙහි අපේක්‍ෂාවද යන මෙය දැඩි තද බැම්මයයි ( බුද්ධාදී ) නුවණැත්තෝ කියති. මේ බැම්ම අපායාදී පහත් බිමට අදින්නක්ද, බුරුල්වූවක්ද, එහෙත් ලෙහෙසියෙන් මිදෙනු නොහැක්කක්ද වේ. කාමයෙහි ඇළුම් නැත්තෝ මේ බැම්මද සිඳ බිඳ දමා කම් සැප හැර නිවන් මගට යෙති.

9. යඤඤ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි පසේනදි කොසොල් රජුගේ මහා යාගයක් එළඹ සිටියේ වෙයි. පන්සියයක් ගොන්නුද, පන්සියයක් ලොකු වස්සෝද, පන්සියයක් ලොකු වැස්සියෝද, පන්සියයක් එළුවෝද, පන්සියයක් බැටළුවෝද, යාගය පිණිස යාග කණුව වෙත පමුණුවන ලද්දාහු වෙත්.

3. රජුගේ යම් ඒ දාසයෝ හෝ, දූත මෙහෙවර කරන්නෝ හෝ, කම්කරුවෝ හෝ වෙත්ද, ඔව්හුත් දණ්ඩනයෙන් තැතිගත්තෝ, භයින් තැතිගත්තෝ, කඳුළු වැකුණු මුහුණු ඇත්තෝ හඬමින් වැඩ කරති.

4. එකල බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙණ පිණ්ඩපාතය පිණිස සැවැත් නුවරට පිවිස බතින් පසු පිණ්ඩපාතයෙන් පෙරළා අවුත් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියෝය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්හ. එක්පසෙක උන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.

5. ´´ස්වාමීනි, මෙහි කොසොල් රජුගේ මහා යාගයක් එළඹ සිටියේ වෙයි. පන්සියයක් ගොන්නුද, පන්සියයක් ලොකු වස්සෝද, පන්සියයක් ලොකු වැස්සියෝද, පන්සියයක් එළුවෝද, පන්සියයක් බැටළුවෝද, යාගය පිණිස යාග කණුව වෙත පමුණුවන ලද්දාහු වෙති. රජුගේ දාසයෝද, පණිවුඩ කරුවෝද, කම්කරුවෝද, දණ්ඩනයෙන් තැතිගත්තෝ, භයින් තැතිගත්තෝ, කඳුළු වැකුණු මුහුණු ඇත්තෝ අඬමින් වැඩ කෙරති,´´ යනුයි.

6. එවිට බුදුරජානන් වහන්සේ මේ කාරණය දැන එවේලෙහි මේ ගාථා වදාළ සේක.

´´මහත්වූ ක්‍රියාරම්භ ඇති අශ්වමේධ නම්වූද, පුරිසමේධ නම්වූද, සම්මාපාස නම්වූද, වාජපෙය්‍ය නම්වූද, නිරග්ගල නම්වූද, ඒ මහා යාගයෝ මහත්ඵල ඇත්තෝ නොවෙති. නානාප්‍රකාරවූ එළු, බැටළු, ගවයන් මරණ ඒ යාග පොළවලට යහපත් මග ගිය ( බුද්ධාදී ) මහර්ෂීහු නොපැමිනෙති. මහත් ක්‍රියාරම්භ නැති යම් යාග කෙනෙක් හැම කල්හි ගෙයක් පාසා යාග කරණු ලබත්ද, එළු බැටළුවෝත්, ගෙරිත් යම් යාගයෙක්හි මරණු නොලබත්ද, මෙබඳු යාගවලට යහපත් මග ගිය ( බුද්ධාදී ) මහර්ෂීහු පැමිනෙති. නුවණැති මනුෂ්‍ය තෙමේ මේ යාගය කරන්නේය, මේ යාගය මහත්ඵල ඇත්තේ වේ, මේ යාගය කරන්නාට උතුම් අභිවෘද්ධිය වේ. අයහපතක් නොවේ, යාගයද මහත් වූවක් වේ, දෙවියෝද පහදිති.´´

8. මල්ලිකා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි පසේනදි කොසොල් රජ මල්ලිකා දේවිය සමග ප්‍රාසාදයෙහි මතුමහලට නැග සිටියේ වෙයි. එවිට කොසොල් රජ, ´´ මල්ලිකාවෙනි, තමන්ට වඩා ප්‍රියකරන අන් කිසිවෙක් ලොව ඇත්තේදැ?´´යි මල්ලිකා දේවියගෙන් ඇසීය.

3. ´´ මහරජ, මටනම් තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ලොවම නැත. ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් සිටීදැ´´ යි ඇසීය.

4. ´´ මල්ලිකාවෙනි, මටත් තමන්ට වඩා ප්‍රියවූ අනිකෙක් නැතැ´´ යි රජතෙම කීයේය.

5. ඉන්පසු කොසොල් රජ පහයෙන් බැස, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක උන්නේය. එකත්පස්ව හිඳ මෙය කීයේය.

6. ´´ස්වාමීනි, මම මල්ලිකා දේවිය සමග පහයේ මතු මහලේ සිටියෙමි. ´මල්ලිකාවෙනි, ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවක් ඇත්තේදැ´ යි ඇසීමි. මෙසේ අසනු ලැබූ මල්ලිකා දේවී තොමෝ, ´මහරජ, මට තමන්ට වඩා ප්‍රිය අන් කිසිවෙක් නැත, ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ඇත්තේදැ´ යි ඇසුවාය. ස්වාමීනි, මෙසේ අසනු ලැබූ මම, ´මල්ලිකාවෙනි, තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් මටත් නැත්තේය´ යි මල්ලිකා දේවියට කීයෙමි´´ යි කීයේය.

7. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන, එවේලෙහි මේ ගාථාව වදාළේය.

´´ ලොව හැම දිසාවන්ම සෝදිසිකර බැලුවේ වී නමුත් තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ලොවම හමු නොවන්නේය. අනුන්ටද වෙන් වශයෙන් මෙසේ තමාම ප්‍රිය වෙයි. එහෙයින් තමන්ට හිත කැමති තැනැත්තේ අනුන්ට හිංසා නොකරන්නේය.´´

7. අත්‍ථකරණ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය.

2. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, විනිශ්චය ශාලාවෙහි නඩු විසඳීමෙහි යෙදී හුන් මම ධනයෙන් ආඪ්‍යවූද, බොහෝ සම්පත් ඇත්තාවූද, බොහෝ රන් රුවන් ඇත්තාවූද, මන පිනවන බොහෝ දේ ඇත්තාවූද, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූද, මහාසාර කුලවල උපන් ක්‍ෂත්‍රියයන්ද, මහාසාර කුලවල උපන් බමුණන්ද, මහාසාර කුලවල උපන් ගෘහපතීන්ද, කාම වස්තූන් නිසාම, කාම වස්තූන් මූලකාරන කොටම, කාම වස්තූන් කරණ කොටගෙනම, දැන දැන බොරු කියන්නවුන් දිටිමි. ස්වාමීනි, ඒ මට දැන් මේ සිත විය. එනම්:- මට දැන් මේ නඩු හලෙන් කම් නැත. මින් මතු භද්‍ර මුඛ නම් තැනැත්තේ නඩුහලෙහි පෙනී සිටීය´´ යනුයි.

3. ´´ මහරජ, ධනයෙන් ආඪ්‍යවූද, මහත් ධන ඇත්තාවූද, මහත් වස්තු ඇත්තාවූද, බොහෝ රන් රුවන් ඇත්තාවූද, මන වඩන බොහෝ වස්තු ඇත්තාවූද, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූද, මහාසාර කුලවල උපන් යම් ඒ ක්‍ෂත්‍රියයෝද, බ්‍රාහ්මණයෝද, ගෘහපතියෝද, කාම වස්තූ නිසාම, කාම වස්තූ මුල්කොටගෙනම, කාම වස්තූ කරණ කොටගෙනම, දැන දැන බොරු කියත්ද, ඒ ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස වන්නේය.´´

4. කාම වස්තූන්හි ඇලුනාවූ, එහිම ගිජුවූ, කාමයන්හි මුළාවූ සත්ත්‍වයෝ කුසල් ඉම පැනයාම නොදකිත්. මත්ස්‍යයෝ තමන් ඇල්ලීමට බහා තිබෙන කෙමන යම්සේ නොදකිත්ද, එමෙනි. පසුව ඔවුන්ට කටුක දුක වෙයි. එහි විපාකයද ඉතා දරුණුය.´´

6. අප්පකා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය.

2. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, තනිව විවේකීව හුන් මට මේ විතර්‍කය පහළවිය. එනම්:- ´මහත් මහත් භොග සම්පත් ලැබ මාන මදයෙන් මත් නොවන්නාවූද, පමා නොවන්නාවූද, කාමයන්හි ගිජු බවට නොපැමිනෙන්නාවූද, සතුන් කෙරෙහි වරදවා නොපිළිපදින්නාවූද සත්ත්‍වයෝ ලෝකයෙහි ඉතා ස්වල්ප දෙනෙක්ය. එහෙත් වැඩි කොටසක් සත්ත්‍වයෝ මහත් මහත් භෝග සම්පත් ලැබ මානාදී මදයෙන් මත් වෙති. පමාවෙති. කාමයන්හි ගිජුවෙති. සත්ත්‍වයන් කෙරෙහි වැරදිසේ පිළිපදිති.´´ යනුයි.

3. මහරජ, ඒ එසේය, මහරජ, ඒ එසේය. මහරජ, මහත් මහත් භොග සම්පත් ලැබ මත් නොවන්නාවූ, පමා නොවන්නාවූ, කාමයන්හි ගිජු නොවන්නාවූ, සත්ත්‍වයන් කෙරෙහි වරදවා නොපිළිපදින්නාවූ, සත්ත්‍වයෝ ලෝකයෙහි ඉතා ස්වල්ප දෙනෙක් වෙති. වැලිදු මහත් මහත් භෝග සම්පත් ලැබ යමෙක් මත්වෙත්ද, පමාවෙත්ද, කාමයන්හි ගිජුවෙත්ද, සතුන් කෙරෙහි වැරදි සේ පිළිපදිත්ද, මෙබඳු සත්ත්‍වයෝම ලෝකයේ බොහෝ වෙති.´´

´´ කාම සම්පතෙහි ඇලුනාවූ, ගිජුවූ. කාමයන්හි මුළාවූ සත්ත්‍වයෝ තමන් කුශල සීමාව ඉක්මවා යන බව තේරුම් නොගනිති. මුවන්, වැද්දන් විසින් දමනලද උගුල තේරුම් නොගන්නාක් මෙනි. ඔවුන්ට පසුව කටුක දුක වෙයි. එහි විපාකයද ඒ කාන්තයෙන්ම දරුණුය.´´

5. අත්තරක්ඛිත ( රක්ඛිතන්ත ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය.

2. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, හුදකලාව විවේකීව හුන් මට මෙබඳු විතර්‍කයක් පහළවිය. එනම්:- කවුරුන් විසින් තමා නොරක්නා ලදද, කවුරුන් විසින් තමා රක්නා ලදද?´´ යනුයි.

3. ´´ස්වාමීනි, ඒ මට මේ සිත විය. ´යම්කිසි කෙනෙක් කයින් දුසිරිතෙහි හැසිරෙද්ද, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙද්ද, සිතින් දුසිරිතෙහි හැසිරෙද්ද, ඔවුන් විසින් තමා නොරක්නා ලද්දේය. සමහරවිට ඇත් සෙනග හෝ ඔවුන් රකී. අස් සෙනග හෝ ඔවුන් රකී. රිය සෙනග හෝ ඔවුන් රකී. පාබල සෙනග හෝ ඔවුන් රකී. එසේ වුවත් ඔවුන්ගේ ආත්මය ( තමා ) නම් නොරක්නා ලද්දේය. ඊට හේතුනම්:- මේ ආරක්‍ෂාව බාහිර එකක් බැවිනි. මේ ආරක්‍ෂාව තමන් තුල නොපවත්නක් බැවිනි. එහෙයින් ඔවුන් විසින් තමා නොරක්නා ලද්දේය. යමෙක් කයින් සුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් සුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් සුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන් විසින් තමා රක්නා ලද්දේය. සමහරවිට ඇත් සෙනග හෝ ඔවුන් නොරකී. අස් සෙනග හෝ ඔවුන් නොරකී. රිය සෙනග හෝ ඔවුන් නොරකී. පාබල සෙනග හෝ ඔවුන් නොරකී. එසේ වුවත් ඔවුන්ගේ ආත්මය ( තමා ) රක්නා ලද්දේමය. ඊට හේතුනම්:- මේ ආරක්‍ෂාව තමන් තුල පවත්නා බැවිනි. මේ ආරක්‍ෂාව බාහිර නොවූවක් බැවිනි. එහෙයින් ඔවුන් විසින් තමා රක්නා ලද්දේමය.´´

4. ´´මහරජ, ඒ එසේය. මහරජ, ඒ එසේය. මහරජ, යම්කිසිවෙක් කයින් දුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් දුසිරිතෙහි හැසිරෙත්ද ඔවුන් විසින් තමා නොරක්නා ලදී. සමහරවිට ඇත් සෙනග හෝ, අස් සෙනග හෝ, රිය සෙනග හෝ, පාබල සෙනග හෝ ඔවුන් රකී. එසේ නමුදු ඔවුන් විසින් තමා නොරක්නා ලද්දේය, ඊට හේතු නම්:- මහරජ, මේ ආරක්‍ෂාව බාහිර වූවක් බැවිනි. මේ ආරක්‍ෂාව තමන් තුල නොවූවක් බැවිනි. එහෙයින් ඔවුන්ගේ ආත්මය ( තමා ) නොරක්නා ලද්දේය. මහරජ, යම්කිසි කෙනෙක් කයින් සුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් සුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් සුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන් විසින් තමා රක්නා ලදී. ඇතැම්විට ඇත් සෙනග හෝ, අස් සෙනග හෝ, රිය සෙනග හෝ පාබල සෙනග හෝ ඔවුන් නොරකී. එහෙත් ඔවුන්ගේ ආත්මය ( තමා ) රක්නා ලද්දේමය. ඊට හේතුනම්:- මහරජ, මේ ආරක්‍ෂාව පිටත්තර වූවක් නොවීමයි. මේ ආරක්‍ෂාව තමන් තුල වූවක් වීමයි. එහෙයින් ඔවුන් විසින් තමා රක්නා ලද්දේමය.´´

´´කයින් සංවරවීම හෙවත් තමන් රැකගැනීම යහපත්ය. වචනයෙන් සංවරවීම යහපත්ය. සිතින් සංවරවීම යහපත්ය. ඒ සියල්ලෙන්ම සංවරවීම යහපත්ය. ඒ හැමතන්හිම සංවරිතවූ පවට ලජ්ජා භය ඇති තැනැත්තා රැකුනේයයි කියනුලැබේ.´´

4. පිය ( නොහොත් පියඅත්ත ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය.

2. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, තනිව විවේකීව හුන් මට මෙබඳු විතර්‍කයක් පහළවිය. එනම්:- ´කවුරුන්ට තමා ප්‍රියද? කවුරුන්ට තමා අප්‍රියද?´ කියායි. ස්වාමීනි, ඒ මට මේ සිත විය.

3. ´යම්කිසි කෙනෙක් කයින් දුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් දුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා අප්‍රියය. අපගේ ආත්මය හෙවත් තමා තමන්ට ප්‍රියයයි යම් ලෙසකින් ඔවුන් කියතත් ඔවුන්ට තමා අප්‍රියමය. ඊට හේතු නම්:- අප්‍රියයෙක් අප්‍රියයෙකුට යමක් කෙරේනම්, ඔවුහු එය තමන්ටම කෙරෙති. එහෙයින් ඔවුන්ට තමා අප්‍රියය.

4. ´යම්කිසි කෙනෙක් කයින් සුචරිතයෙහි හැසිරෙත්ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙත්ද, සිතින් සුචරිතයෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා ප්‍රියය. අපට තමා අප්‍රියයයි කිසිලෙසකින් ඔවුන් කියතත් ඔවුන්ට තමා ප්‍රියමය. ඊට හේතු නම්:- ප්‍රියයෙක් ප්‍රියයෙකුට යමක් කෙරේනම්, ඔවුහු එය තමන්ටම කරෙති. එහෙයින් ඔවුන්ට තමා ප්‍රියයි.´´

5. ´´මහරජ, ඒ එසේය. මහරජ, ඒ එසේය. මහරජ, යම්කිසිවෙක් කයින් දුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් දුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා අප්‍රියය. මහරජ, යමෙක් කයින් සුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් සුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් සුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා ප්‍රියය.

´´ඉදින් යමෙකුට තමා ප්‍රියයයි දන්නෙනම් ඒ තමා පවෙහි නොයෙදෙන්නේය. ( සුසිරිත් කිරීමෙන් ලද හැකි සැප ) දුසිරිත් කරන්නා විසින් පහසුවෙන් ලද හැකි නොවේ. ( එහෙයිනි. )

´´මාරයා විසින් යටපත්කරගන්නා ලද්දාවූ, මිනිස් සිරුර හැර දමන්නාවූ ඔහුට කුමක්නම් තමන් සතු වේද, ඔහු කුමක් රැගෙන ( පරලොව ) යයිද, තමන් පසුපස යන සෙවනැල්ල මෙන් කුමක් නම් ඔහු අනුව යයිද?´´

´´මිනිසා මෙලොවදී යම් පිනක් හෝ පවක් කරයිද, ඒ ඔහුට තමන් සතුවෙයි. ඔහු එය රැගෙන ( පරලොව ) යයි. තමන් පසුපස යන සෙවනැල්ල මෙන් ඒ ඔහු අනුව යයි.´´

´´එහෙයින් පරලොවට හිතසැප පිණිස දේ රැස් කරන්නා කුසල් කරන්නේය. කුසල් පරලොවදී සත්ත්‍වයන්ට පිහිට වෙති.´´

3. රාජ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජතෙමේ ´´ස්වාමීනි, උපන් තැනැත්තාට ජරා මරණ දෙකින් ගැළවීමක් ඇත්තේදැ´´ යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.

3. ´´මහරජ , උපන් තැනැත්තාට ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහරජ, මහාසාර කුලවල උපන් යම් ඒ ක්‍ෂත්‍රියයෝ ධනයෙන් ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, බොහෝ සම්පත් ඇත්තාවූ, බොහෝ රන්රුවන් ඇත්තාවූ, මන පිනවන බොහෝ දේ ඇත්තාවූ, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූ වෙත්ද, ඔවුන්ටද, ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහාසාර කුලවල උපන් බ්‍රාහ්මණයෝ ධනයෙන් ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, බොහෝ සම්පත් ඇත්තාවූ, බොහෝ රන්රුවන් ඇත්තාවූ, මන පිනවන බොහෝ දේ ඇත්තාවූ, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූ වෙත්ද, ඔවුන්ටද, ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහාසාර කුලවල උපන් ගෘහපතියෝ ධනයෙන් ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, බොහෝ සම්පත් ඇත්තාවූ, බොහෝ රන්රුවන් ඇත්තාවූ, මන පිනවන බොහෝ දේ ඇත්තාවූ, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූ වෙත්ද, ඔවුන්ටද, ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහරජ, කෙලෙස් නැසූ, මග බඹසර වැස නිමවූ, සතර මගින් කටයුතු කොට නිමවූ, කෙලෙස් බර බහා තැබූ, රහත් බවට පැමිණි, භව බන්‍ධන නැසූ, සතර සත්‍යයන් තතුසේ දැන කෙලෙසුන් ගෙන් මිදුනාවූ, යම් ඒ රහත් භික්‍ෂු කෙනෙක් වෙත්ද, ඔවුන්ගේත් මේ කය බිඳෙන ස්වභාව ඇත්තේය. ඉවත දැමියයුතු ස්වභාව ඇත්තේය.´´

´´විසිතුරු කරනලද රජුන්ගේ රථද දිරති. එසේම ශරීරයද දිරීමට පැමිණෙයි. එහෙත් බුද්ධාදී උත්තමයන්ගේ සද්ධර්‍මය දිරුමට නොපැමිණේ. එහෙයින් ඒ උත්තමයෝ ඒ සද්ධර්‍මය (නිවන) ඒකාන්ත පිහිට ලෙස ඔවුනොවුන්ට ප්‍රකාශ කරති.´´

2. පුරිස සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය. එක් පසෙක හුන් පසේනදි කෝසල රජතෙමේ ´´ස්වාමීනි, තමන්තුළ උපදින කෙතෙක් දේ පුරුෂයෙකුට අහිත පිණිස, දුක් පිණිස, අපහසුවෙන් වසනු පිණිස උපදිත්දැ´´ යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.

3. ´´මහරජ, පුරුෂයෙකුට තමන් තුල උපදිනා කරුණු තුනක් අහිත පිණිස, දුක් පිණිස, අපහසුවෙන් වසනු පිණිස උපදිති. කවර කරුණු තුනක්ද? මහරජ, ලෝභය තමන් තුළ උපදින්නේ පුරුෂයාට අහිත පිණිස, දුක් පිණිස, අපහසුවෙන් වසනු පිණිස උපදියි. මහරජ, ෙවෂය තමන් තුළ උපදින්නේ පුරුෂයාට අහිත පිණිස, දුක් පිණිස, අපහසුවෙන් වසනු පිණිස උපදියි. මහරජ, මෝහය තමන් තුළ උපදින්නේ පුරුෂයාට අහිත පිණිස, දුක් පිණිස, අපහසුවෙන් වසනු පිණිස උපදියි. මහරජ, මේ කරුණු තුන තමන් තුළ උපදින්නේ පුරුෂයාට අහිත පිණිස, දුක් පිණිස, අපහසු විහරණය පිණිස උපදිත්.

5. ´´තමන්ගේ සන්තානයෙහි උපන් ලෝභ, දෝෂ, මෝහ යන අකුසල් මුල් ලාමක සිත් ඇති පුරුෂයාම පෙළති. කුමක් මෙන්ද යත්? ((හුණ, බට, කෙසෙල් ආදී) පොත්තම හරය කොට ඇති ගසක ඇතිවන ඵලය එබඳු ගසක් නසන්නාක් මෙනි.´´

1. දහර සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, සතුටු විය. සතුටු වියයුතු, සිහි කටහුතු කථා පවත්වා එක් පසෙක හුන්නේය.

3. එක් පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ´´භවත් ගෞතමයන් වහන්සේත් ´අනුත්තර සම්‍යක් සම්බෝධිය ලදුම්හ´ යි ප්‍රතිඥා කෙරෙත්ද?´´

4. ´´මහරජ, සරිලෙස කියන තැනැත්තේ ´ මේ තෙම සම්‍යක් සම්බෝධියට පැමිණියේය ´ යි යමකු ගැන කියන්නේ නම්, ඒ නිවැරැදි සේ කියන තැනැත්තා එය මා ගැනම කියන්නේය. මහරජ, මම් වනාහි ඉතා උතුම් සම්‍යක් සම්බෝධියට පැමිණියෙක්මි´´ යි (භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දුන් සේක.)

5. ´´භවත් ගෞතමයන් වහන්ස, පූරණකස්සප, මක්ඛලීගොසාල, නිගණ්ඨනාථපුත්ත, සඤජයබෙල්ලට්ඨපුත්ත, පකුධකච්චායන, අජිත කෙසකම්බල යන පැවිදි සමූහයා ඇති, පැවිදි ගනයා ඇති, ගණාචාය්‍ර්‍යවූ, ප්‍රකටවූ යසස් ඇති, ලබ්ධි ඇති කරන්නාවූ, බොහෝ දෙනා විසින් යහපත්යයි සම්මත කරණලද යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙත්ද, ඔවුහුත් අනුත්තර සම්මා සම්බෝධිය ලදුම්හයි ප්‍රතිඥා කරනුදැයි මවිසින් ප්‍රශ්න කරන ලද්දෝ අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කෙළෙමුයි ප්‍රතිඥා නොකරති. උත්පත්තියෙන් තරුණුවූත්, පැවිද්දෙන් ආධුනිකවූත්, අළුත පැවිදිවූ භවත් ගෞතමයන් වහන්සේ කෙසේ නම් ප්‍රතිඥා කරන සේක්ද?´´

6. ´´මහරජ, මේ සතරදෙනෙක් තරුණයයි හෙවත් ළදරුයයි ලඝු කොට සැලකිය යතු නොවෙති, පරිභව කටයුතු නොවෙති. එනම්:- ක්‍ෂත්‍රිය රජ කුමරා ළදරුයයි සැහැල්ලුකොට සිතියයුතු නොවේ. සර්‍පයා ළදරුයයි සැහැල්ල්‍රකොට සිතියයුතු නොවේ. ගින්න කුඩායයි නොසැලකියයුතු නොවේ. භික්‍ෂුව තරුණයයි පහත්සේ සිතියයුතු නොවේ. මහරජ, මේ සතරදෙන තරුණයයි අවමන් නොකටයුතු වෙති. පරිභව නොකටයුතු වෙති.´´

7. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත මේ ගාථා වදාළ සේක.

8. නුවණැති මිනිස් තෙමේ ජාති සම්පන්නවූ, උසස් කුලයෙහි උපන්නාවූ, යසස් ඇති, ක්‍ෂත්‍රිය රාජකුමාරයාට, ළදරුයයි අවමන් නොකරන්නේය. පරිභව නොකරන්නේය, ඊට කරුණු ඇත්තාහ, මනුජෙන්‍ද්‍රවූ ඒ ක්‍ෂත්‍රිය තෙමේ රජකම ලබාගෙන තමන්ට අවමන්කළ තැනැත්තා කෙරෙහි කිපියේ බෙහෙවින් ඔහුට රාජ දඬුවම් කරන්නේය. එහෙයින් තම දිවි රකින්නා ඒ ක්‍ෂත්‍රිය (උතුම්) කුමරුන් නොගටා ඈත්වන්නේය.

9. ´´නුවණැති මිනිසා ගමෙහි හෝ වෙනෙහි හෝ යම්කිසි තැනෙක සර්‍පයෙක් දකීද, ඒ සර්පයා කුඩායයි සැහැල්ලුකොට නොසිතන්නේය. අවමන් නොකරන්නේය. තෙදින් යුත් සර්පයා උස් පහත් නොයෙක් වෙසින් හැසිරෙන්නේය. ඒ සර්පයා තමහට ගැහැට කළ අඥාන මිනිසා හෝ ගැහැනිය වෙත පැමිණ දෂ්ට කරන්නේය. එහෙයින් තම දිවි රකින්නේ ඒ සර්පයා වෙත නොයන්නේය.

10. ´´බොහෝ කොට කන, ගිනි දැල් ඇති, ගිය මග කළුකරණ ගින්න නුවණැති මිනිසා කුඩායයි ලඝුකොට නොසිතන්නේය. පරිභව නොකරන්නේය. ඒ ගින්න ඇවිලීමට උපකරණ ලැබ මහත්වී ඒ අවමන්කළ අඥාන මිනිසා හෝ ගැහැනිය වෙත පැමිණ දවන්නේය. එහෙයින් තම දිවි රකින්නා ඒ ගින්න ඈත් කරන්නේය.

11. ´´ගිය මග කළුකරන්නාවූද, පව් දවන්නා යන අත්‍ර්‍ථයෙන් පාචක නම්වූද ගින්න යම් වනයක් දවානම් එහි කලකට පසු පැල හටගනිති. නමුත් සිල්වත් භික්‍ෂු සිල් තෙදින් යමෙකුන් දවානම් ඔහුට පුත්තු නැති වෙති. ගෙරි සරක් නැති වෙති. ඔහුගේ දායාදයෝ හෙවත් ධනයට හිමිකම් ඇති නෑදෑයෝ ඔහුගේ ධනය නොලබති. ඔවුහු දූ දරුවන් නැත්තෝව, ධනයට හිමි නෑයන් නැත්තෝව කරටියෙන් කැඩූ තල් ගස් මෙන් වෙති.

12. එහෙයින් තමන්ට යහපත බලාපොරොත්තුවන නුවණැති මනුෂ්‍යයා සර්පයාද, ගින්නද, කීර්තිමත් උතුම් කුමරාද, සිල්වත් භික්‍ෂුවද යන මොවුන් කෙරෙයි යහපත්ව හැසිරෙන්නේය.´´

13. මෙසේ වදාළ කල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ´´ස්වාමීනි, ඉතා රම්‍යයි, ඉතා මනොඥයි. ස්වාමීනි, යටිකුරු වූවක් යම්සේ උඩුකුරු කරන්නේද, වැසුනු දෙයක් යම්සේ මතුකරන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරේ තෙල් පහනක් දල්වන්නේ යම්සේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්‍මය ප්‍රකාශකරණ ලදී. ස්වාමීනි, මේ මම බුදුන්, දහම්, සංඝයා සරණ යමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයෙකු ලෙස සලකන සේක්වා.´´