5. පබ්බතූපම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජුගෙන් භාග්‍යවතුන් වහන්සේ ´´මහරජ, මේ මැදුම් දවල් කොහි සිට එහිදැ´´ යි ඇසූ සේක.

´´ස්වාමීනි, ඔටුනු පැළැන්දාවූ, ඓශචය්‍ර්‍ය මදයෙන් මත්වූ, කාම සම්පතෙහි ගිජුකමින් වැඩුනාවූ, දනව්වල ස්ථිරත්‍වයට පැමිණ, මහත් මිහිමඬල ( පොළොව ) දිනා වසන්නාවූ, ක්‍ෂත්‍රිය රජවරුන් පිළිබඳ යම් ඒ කටයුතු වෙත් නම්, මම දැන් ඒ කාය්‍ර්‍යයන්හි උද්‍යොගවත් බවට පැමිණ සිටිමි.´´

3. ´´මහරජ, ඒ කුමැයි සිතනෙහිද? මහරජ, ඇදහිය යුතු වචන ඇති, විශ්වාස කටයුතු වචන ඇති, පුරුෂයෙක් මෙහිදී පෙරදිග සිට ඔබවෙත එන්නේය. ඔහු ඔබ වෙත පැමිණ, මෙසේ කියන්නේය. ´මහරජ, දන්නෙහිද? මම පෙරදිග සිට එමි. මම එහි අහස සම මහ පර්‍වතයක් හැම සතුන් සුනු විසුනු කරමින් පෙරළී එනු දිටිමි. මහරජ, ඔබ විසින් යමක් කටයුතු නම් ඒ කරනු මැනව.´

4. ´´නැවත, ඇදහිය යුතු වචන ඇති, විශ්වාස කටයුතු වචන ඇති, දෙවෙනි පුරුෂයෙක් මෙහිදී බටහිරදිග සිට ඔබවෙත එන්නේය. ඔහු ඔබ වෙත පැමිණ, මෙසේ කියන්නේය. ´මහරජ, දන්නෙහිද? මම බටහිරදිග සිට එමි. මම එහි අහස සම මහ පර්‍වතයක් හැම සතුන් සුනු විසුනු කරමින් පෙරළී එනු දිටිමි. මහරජ, ඔබ විසින් යමක් කටයුතු නම් ඒ කරනු මැනව.´

5. ´´නැවත, ඇදහිය යුතු වචන ඇති, විශ්වාස කටයුතු වචන ඇති, තුන්වෙනි පුරුෂයෙක් මෙහිදී උතුරුදිග සිට ඔබවෙත එන්නේය. ඔහු ඔබ වෙත පැමිණ, මෙසේ කියන්නේය. ´මහරජ, දන්නෙහිද? මම උතුරුදිග සිට එමි. මම එහි අහස සම මහ පර්‍වතයක් හැම සතුන් සුනු විසුනු කරමින් පෙරළී එනු දිටිමි. මහරජ, ඔබ විසින් යමක් කටයුතු නම් ඒ කරනු මැනව.´

6. ´´නැවත, ඇදහිය යුතු වචන ඇති, විශ්වාස කටයුතු වචන ඇති, හතරවෙනි පුරුෂයෙක් මෙහිදී දකුණුදිග සිට ඔබවෙත එන්නේය. ඔහු ඔබ වෙත පැමිණ, මෙසේ කියන්නේය. ´මහරජ, දන්නෙහිද? මම දකුණුදිග සිට එමි. මම එහි අහස සම මහ පර්‍වතයක් හැම සතුන් සුනු විසුනු කරමින් පෙරළී එනු දිටිමි. මහරජ, ඔබ විසින් යමක් කටයුතු නම් ඒ කරනු මැනව.´

7. ´´මහරජ, දරුණුවූ, මිනිසුන් වනසන්නාවූ, මහත්වූ මෙබඳු භයක් හටගත් කල්හි, දුර්ලභවූ මිනිසත් බැව්හි සිටින ඔබ විසින් කුමක් කටයුතුද?´´

´´ස්වාමීනි, දරුණුවූ, මිනිසුන් වනසන්නාවූ, මහත්වූ මෙබඳු භයක් හටගත් කල්හි, දුර්ලභ මනුෂ්‍යාතමයෙහි සිටින මවිසින් ධර්‍මයෙහි හැසිරීම, සම බැව්හි හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර කුමක් කටයුතුද?´´

8. ´´මහරජ, මම ඔබට කියමි. මම ඔබට දන්වමි. මහරජ, ජරා මරණ දෙක ඔබ මැඩගෙන සිටිති. මහරජ, ජරා මරණ දෙක ඔබ මැඩගෙන සිටින කල්හි ඊට කුමක් කටයුතුද?

´´ස්වාමීනි, ජරා මරණ දෙක මා මැඩගෙන සිටින කල්හි ධර්‍මයෙහි හැසිරීම, සම බැව්හි හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර කුමක් කටයුතුද?´´ ස්වාමීනි, ඔටුනු පැළැන්දාවූ, ඉසුරුමදින් මත්වූ, කම් සැපෙහි ගිජුකමින් වැඩුනු, දනව්වල ස්ථිරත්‍වයට පැමිණි, මහපොළොව දිනා වසන, ක්‍ෂත්‍රිය රජවරුන්ගේ යම් ඒ ඇත් යුද වෙත්ද? ස්වාමීනි, ජරා මරණ දෙක අප මඩින කල ඒ ඇත් යුදවලින්ද පිහිටක් නැත. අප රැකීමට ඒ ඇත් යුදවලට සමත්කමක් නැත. ස්වාමීනි, ඔටුනුපලන් ක්‍ෂත්‍රිය රජවරුන්ගේ යම් ඒ අශ්ව යුද්ධ වෙත්ද? ස්වාමීනි, ජරා මරණ දෙක අප මඩින කල ඒ අශ්ව යුද්ධවලින්ද පිහිටක් නැත. අප රැකීමට ඒ අශ්ව යුද්ධවලට සමත්කමක් නැත. ස්වාමීනි, ඔටුනුපලන් ක්‍ෂත්‍රිය රජවරුන්ගේ යම් ඒ රථ යුද්ධ වෙත්ද? ස්වාමීනි, ජරා මරණ දෙක අප මඩින කල ඒ රථ යුද්ධවලින්ද පිහිටක් නැත. අප රැකීමට ඒ රථ යුද්ධවලට සමත්කමක් නැත. ස්වාමීනි, ඔටුනුපලන් ක්‍ෂත්‍රිය රජවරුන්ගේ යම් ඒ පාබල සෙනගින් කරන යුද්ධ වෙත්ද? ස්වාමීනි, ජරා මරණ දෙකින් අප මඩින කල්හි ඒ පාබල යුද්ධවලින්ද ඩැඩක් නැත. ඒ යුද්ධවලට අප රැකීමට පුළුවන්කමක් නැත.

9. ´´ස්වාමීනි, විරුද්ධව පැමිණි සතුරන් මන්ත්‍රණයෙන් බිඳ හැරීමෙහි පොහොසත්වූ, මන්ත්‍රණයෙහි දක්‍ෂ මහ ඇමතියෝ මේ රාජකුලයෙහි ඇත්තාහ. ස්වාමීනි, ජරා මරණ දෙක අප මඩින කල්හි ඒ මන්ත්‍රණ යුද්ධවලින්ද ප්‍රයෝජනයක් නැත. ඒ මන්ත්‍රණ යුද්ධවලින් අප රැකීමට නුපුළුවන.

10. ´´ස්වාමීනි, පැමිණි පසමිතුරන් ධනයෙන් පොළඹවන්ට සමත්වූ පොළොවෙහි නිදන් කළාවූද, උඩ තැබුවාවූද, බොහෝ රත්රන් මේ රාජකුලයෙහි ඇත්තාහ. ස්වාමීනි, ජරා මරණ දෙක අප මඩින කල්හි ඒ ධන යුද්ධවලින්ද වැඩක් නැත. ඒ ධන යුද්ධවලින්ද අප රැක්ක නොහැක.

11. ´´ ස්වාමීනි, ජරා මරණ දෙක අප මඩින කල්හි කුසල් දහම්හි හැසිරීම, සම චරියාවෙහි හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර වෙන කුමක් නම් කටයුතුද?´´

12. ´´මහරජ, ඒ එසේය. මහරජ, ඒ එසේය. ජරා මරණ දෙකින් ඔබ මඩින කල්හි ධර්‍මයෙහි හැසිරීම, සමබැව්හි හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර වෙන කුමක් නම් කටයුතුද?´´ ( නැත්මය. )

13. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. මෙය වදාරා නැවත අන්‍යවූ මේ ගාථාද වදාලේය.

´´යම්සේ අහස හැපී සිටි මහත්වූ ශෛලමය පර්‍වත දෙකක් හාත්පස සිව්දිගින් හැම දෙය මැඩ සුනුවිසුනු කරමින් පෙරලී එත්ද, එසේම ජරාවද මරණයද යන දෙක ක්‍ෂත්‍රියයන්ද, බ්‍රාහ්මණයන්ද, වෛශ්‍යයන්ද, ශ්‍රද්‍රයන්ද, චණ්ඩාලයන්ද, කසල ශෝධකයන්ද යන හැම සතුන්ම මැඩගෙන සිටිති. කිසිවෙකු අත් නොහරියි. හැම දෙනම මැඩලයි.

´´එහිදී හෙවත් ජරා මරණ සතුන් මැඩලීමේදී ඇත් සෙනගටද, අස් සෙනගටද, රිය සෙනගටද, පාබල සෙනගටද, විෂයවූ භූමියක් නැත. මන්ත්‍රණ යුද්ධයෙන්ද,ධනයෙන්ද ඒ ජරා මරණ පරදවන්නට නොහැක්කේය.

´´එහෙයින් පණ්ඩිත පුරුෂයා තමහට වැඩ කැමැත්තේ ධෘතිසම්පන්නවූයේ බුදුන්, දහම්, සඞඝ යන රත්නත්‍රය විෂයෙහි ශ්‍රද්ධාව පිහිට වන්නේය.

´´යමෙක් කයින්ද, වචනයෙන්ද, නැවත සිතින්ද, ධර්‍මයෙහි හැසිරේද, ඔහුට මෙලොවදීත් පසසති. පරලොව ස්වර්‍ගයෙහි සතුටට පත්වේ.

( කොසල සංයුත්තකය සමාප්තයි. )

4. ඉස්සත්ත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. ´´ස්වාමීනි, කාහට දන් දිය යුතුද?´´

´´මහරජ, යම් කෙනෙකුන් කෙරෙහි සිත පහදීද ඔවුන්ට දිය යුතුය´´යි වදාළේය.

´´කාට දුන් දේ මහත්ඵල ඇතිවේද?´´

´´මහරජ, කාහට දන් දිය යුතුද? යන්න අනිකකි. ( එක ප්‍රශ්නයකි. ) කවුරුන්ට දෙන ලද්දේ මහත්ඵල ඇතිවේද? යන්න අනිකකි. ( වෙන ප්‍රශ්නයකි. )

´´ මහරජ, සිල්වතාට දෙන ලද්ද මහත්ඵල ඇත්තේ වේ. දුශ්හීලයාට දෙන ලද්ද එසේ නොවේ. එසේවී නම් මහරජ, මෙහිලා ඔබම පිළිවිසිමි. ඔබට වැටහෙන පරිදි විසඳන්න.

3. ´´මහරජ, ඒ කුමැයි හඟනෙහිද? මෙහිදී ඔබට යුද්ධයෙක් එළඹ සිටියේනම්, යුද සෙනගත් රැස්වූවාහු නම් එකළ දුනු ශිල්පයෙහි පුහුණු නොවූ, ශිල්පාභ්‍යාසයෙහි පලපුරුදුකම් නැති, ශිල්ප යෙදීම නොකළ, රජුන් ඉදිරියෙහි ශිල්ප නොදැක්වූ බියගුලු තැතිගන්නා ගති ඇති, වෙව්ලන ස්වභාව ඇති, පැන යන ගති ඇති, ක්‍ෂත්‍රිය තරුණයෙක් ඔබ වෙත එන්නේනම්, ඔබ ඒ පුරුෂයා සඞ්ග්‍රහ කිරීමෙන් පෝෂණය කරන්නෙහිද? එබඳු පුරුෂයෙකුගෙන් ඔබට ප්‍රයෝජන ඇත්තේද?´´

´´ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය නොකරන්නෙමි. එබඳු පුරුෂයෙකුගෙන් මට ප්‍රයෝජන නැත්තේය.´´

4. ඉක්බිති දුනුශිල්පයෙහි නොපුරුදු දුනුශිල්පාභ්‍යාසයෙහි පලපුරුදුකම් නැති, ශිල්ප යෙදීම නොකළ, රජුන් ඉදිරියෙහි ශිල්ප නොදැක්වූ, බියගුලු තැතිගන්නා ගති ඇති, වෙව්ලන ස්වභාව ඇති, පැන යන ගති ඇති, බ්‍රාහ්මණ තරුණයෙක් එන්නේනම්, ඔබ ඒ පුරුෂයා සඞග්‍රහ කිරීමෙන් පෝෂණය කරන්නෙහිද?´´

´´ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය නොකරන්නෙමි. එබඳු පුරුෂයෙකුගෙන් මට ප්‍රයෝජන නැත්තේය.´´

5. ඉක්බිති දුනුශිල්පයෙහි නොපුරුදු දුනුශිල්පාභ්‍යාසයෙහි පලපුරුදුකම් නැති, ශිල්ප යෙදීම නොකළ, රජුන් ඉදිරියෙහි ශිල්ප නොදැක්වූ, බියගුලු තැතිගන්නා ගති ඇති, වෙව්ලන ස්වභාව ඇති, පැන යන ගති ඇති, වෛශ්‍ය තරුණයෙක් එන්නේනම්, ඔබ ඒ පුරුෂයා සඞග්‍රහ කිරීමෙන් පෝෂණය කරන්නෙහිද?´´

´´ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය නොකරන්නෙමි. එබඳු පුරුෂයෙකුගෙන් මට ප්‍රයෝජන නැත්තේය.´´

6. ඉක්බිති දුනුශිල්පයෙහි නොපුරුදු දුනුශිල්පාභ්‍යාසයෙහි පලපුරුදුකම් නැති, ශිල්ප යෙදීම නොකළ, රජුන් ඉදිරියෙහි ශිල්ප නොදැක්වූ, බියගුලු තැතිගන්නා ගති ඇති, වෙව්ලන ස්වභාව ඇති, පැන යන ගති ඇති, ශ්‍රද්‍ර තරුණයෙක් එන්නේනම්, ඔබ ඒ පුරුෂයා සඞග්‍රහ කිරීමෙන් පෝෂණය කරන්නෙහිද?´´

´´ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය නොකරන්නෙමි. එබඳු පුරුෂයෙකුගෙන් මට ප්‍රයෝජන නැත්තේය.´´

7. ´´මහරජ, ඒ කුමැයි සිතන්නෙහිද? මෙහි ඔබට යුධයක් එළඹ සිටියේනම්, යුද සෙනගත් රැස්වීනම්, එකල දුනු ශිල්පයෙහි හික්මුණාවූ, ශිල්ප දැක්වීම්කොට පලපුරුදුවූ, ශිල්ප දැක්වීමෙහි යෙදී පලපුරුදු, රජුන් ඉදිරියෙහි ශිල්ප දක්වා ඇති, බියගුලු නුවූ, තැතිගැනීම් නැති, නොවෙව්ලන, පැන නොයන, ක්‍ෂත්‍රිය තරුණයෙක් ඔබ වෙත එන්නේනම්, ඔබ ඔහු පෝෂණය කරන්නෙහිද? එබඳු පුරුෂයෙකුගෙන් ඔබට ප්‍රයෝජනද?´´

´´ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය කරන්නෙමි. මට එබඳු පුරුෂයෙකුගෙන් ප්‍රයෝජනය නැත්තේය.´´

8. ´´ඉක්බිති දුනු ශිල්පයෙහි හික්මුණාවූ, ශිල්ප දැක්වීම්කොට පලපුරුදුවූ, ශිල්ප දැක්වීමෙහි යෙදී පලපුරුදු, රජුන් ඉදිරියෙහි ශිල්ප දක්වා ඇති, බියගුලු නුවූ, තැතිගැනීම් නැති, නොවෙව්ලන, පැන නොයන, බ්‍රාහ්මණ තරුණයෙක් ඔබ වෙත එන්නේනම්, ඔබ ඔහු පෝෂණය කරන්නෙහිද? එබඳු පුරුෂයෙකුගෙන් ඔබට ප්‍රයෝජනද?´´

´´ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය කරන්නෙමි. මට එබඳු පුරුෂයෙකුගෙන් ප්‍රයෝජනය.´´

9. ඉක්බිති දුනු ශිල්පයෙහි හික්මුණාවූ, ශිල්ප දැක්වීම්කොට පලපුරුදුවූ, ශිල්ප දැක්වීමෙහි යෙදී පලපුරුදු, රජුන් ඉදිරියෙහි ශිල්ප දක්වා ඇති, බියගුලු නුවූ, තැතිගැනීම් නැති, නොවෙව්ලන, පැන නොයන, වෛශ්‍ය තරුණයෙක් ඔබ වෙත එන්නේනම්, ඔබ ඔහු පෝෂණය කරන්නෙහිද? එබඳු පුරුෂයෙකුගෙන් ඔබට ප්‍රයෝජනද?´´

´´ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය කරන්නෙමි. මට එබඳු පුරුෂයෙකුගෙන් ප්‍රයෝජනය.´´

10. ඉක්බිති දුනු ශිල්පයෙහි හික්මුණාවූ, ශිල්ප දැක්වීම්කොට පලපුරුදුවූ, ශිල්ප දැක්වීමෙහි යෙදී පලපුරුදු, රජුන් ඉදිරියෙහි ශිල්ප දක්වා ඇති, බියගුලු නුවූ, තැතිගැනීම් නැති, නොවෙව්ලන, පැන නොයන, ශුද්‍ර තරුණයෙක් ඔබ වෙත එන්නේනම්, ඔබ ඔහු පෝෂණය කරන්නෙහිද? එබඳු පුරුෂයෙකුගෙන් ඔබට ප්‍රයෝජනද?´´

´´ස්වාමීනි, මම එබඳු පුරුෂයෙක් පෝෂණය කරන්නෙමි. මට එබඳු පුරුෂයෙකුගෙන් ප්‍රයෝජනය.´´

11. ´´මහරජ, එලෙසින්ම යම් ඒ කොයි කුලයකින් නමුත් ගිහිගේ හැර, සස්නෙහි පැවිදිවූ යමෙක් කරුණු පසක් හැර දැමූයේ නම් තරුණු පසකින් යුක්තවූයේ නම්, ඔහුට දුන් දන මහත්ඵල ඇතිවන්නේය.´´

12. හැර දැමූ ඒ කරුණු පස මොනවාද? ඔහු විසින් කාම ආශාව හැර දැමූයේ වෙයි. අනුන්ට ෙවෂ කිරීම හැර දැමූයේ වෙයි. ( සිත නය දෙකේ අලසකමයයි කියනලද ) ථීනමිද්ධය හැර දැමූයේ වෙයි. සිතෙහි නොසන්සුන්කම හා පසුතැවිල්ල හැර දැමූයේවෙයි. ( බුද්ධාදී අටතන්හි ) සැකය හැර දැමූයේ වෙයි. මේ කරුණු පස ඔහු විසින් හැරදමන ලද්දාහු වෙති.

13. ´´කිනම් කරුණු පසෙකින් යුක්තවූයේ වේද? රහතුන් පිළිබඳ ශීල රාශියෙන් යුක්තවූයේ වෙයි. රහතුන් පිළිබඳ සමාධි රාශියෙන් යුක්තවූයේ වෙයි. රහතුන් පිළිබඳ ප්‍රඥා රාශියෙන් යුක්තවූයේ වෙයි. රහතුන් පිළිබඳ මිදීම් රාශියෙන් යුක්තවූයේ වෙයි. රහතුන් පිළිබඳ මිදුම් නැණ දසුන් රැසින් යුක්තවූයේ වෙයි. මේ කරුණු පසින් යුක්තවූයේ වෙයි. මෙසේ කරුණු පසක් හැර දැමුවාවූ කරුණු පසකින් යුක්තවූ තැනැත්තාට දුන් දෙය මහත්ඵල ඇතිවන්නේය.´´

14. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත අන්‍යවූ මේ ගාථාද වදාළ සේක.

´´ආයුධ ශිල්පයෙහි දක්‍ෂකමද, කායික බලය හා මානසික වීය්‍ර්‍යයද යම් මිනිසෙකු කෙරෙහි ඇත්තේනම් යුදයෙන් වැඩ ඇති රජ එබඳු මිනිසා පෝෂනය කරන්නේය. ශූර නොවන්නා ජාතිය පමණක් සලකා පෝෂණය නොකරන්නේය.

´´එසේම ඉවසීම් සුරත බව යන ූණ ධර්‍මයෝ යම් කෙනෙකු කෙරෙහි හොඳින් පිහිටියාහු නම්, උත්තම පැවතුම් ඇති, නුවණැති එබඳු තැනැත්තා හීන ජාතියෙකු වුවද පිදිය යුත්තේය.

´´රම්‍යවූ ආශ්‍රම කරවිය යුතුයි. උගත් භික්‍ෂූහු ඒ අසපුවල වැසවිය යුතුයි. වෙනෙහි පොකුණු තැනවිය යුතුයි. දුර්‍ග ප්‍රදේශවල සම මාර්‍ග සෑදවිය යුතුයි.

´´අවඞක පුද්ගලයන්ට ( රහතුන්ට ) පහන් සිතින් ආහාර පාන, කන දේ, වස්ත්‍ර, සෙනසුන් දිය යුතුයි.

´´යම්සේ සිය ගණන් වළාකුළු ඇති, විදුලි පෙළ ඇති මහා මේඝය ගර්ජනා කරමින් වසින්නේ, උස් පහත් බිම් ඇති මහපොළොව පුරාද,

´´එමෙන්ම ශ්‍රද්ධා ඇති දහම් දැන උගත් නුවණැති පුද්ගලයා දාන වස්තු සකසා රැස්කොට ආහාර පාන වර්‍ගවලින් යාචකයන් සතප්පවයි. සන්තෝෂයෙන් දන් විසුරුවයි. ´´දෙව්, දෙව්´´ නියා අනුන්ටත් කියයි.

´´ඔහුගේ ඒ කියමන වහින වැස්සේ ගර්ජනාව වැනිය. මහත්වූ ඒ පින් වැහි ධාරාව පින් පලදීම් වශයෙන් දායකයා තෙමා ලන්නේය.´´

3. ලොක සූතුය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. ´´ස්වාමීනි, උපදින්නාවූ කොතෙක් දහම් ලෝකයාට අහිත පිණිස, දුක් පිණිස, අපහසු පිණිස, විහරණය පිණිස උපදිද්ද?

3. ´´මහරජ, උපදිනා දහම් තුනක් ලොකයාට අහිත පිණිස, දුක් පිණිස, අපහසු පිණිස, විහරණය පිණිස වෙති. කවර දහම් තුනක්ද යත්? මහරජ, ලොභය ලෝකයට අහිත පිණිස, දුක පිණිස, අපහසු විහරණය පිණිස උපදනේය, ද්වේෂය ලෝකයට අහිත පිණිස, දුක පිණිස, අපහසු විහරණය පිණිස උපදනේය. මෝහය ලෝකයට අහිත පිණිස, දුක පිණිස, අපහසු විහරණය පිණිස උපදනේය,

4. ´´මහරජ, උපදනාවූ මේ දහම් තුන ලෝකයට අහිත පිණිස, දුක පිණිස, අපහසු විහරණය පිණිස උපදනේය.

´´ලොභයද, ද්වේෂයද, මොහයද ( තම සන්තානයෙහි පහළවූවෝ ) ලාමක අදහස් ඇති පුද්ගලයා පෙළති. කුමක් මෙන්ද යත්? පොත්ත හරයකොට ( අරටුවකොට ) ඇති ගසක ඵලය එබඳු ගසක් පෙළා වනසන්නාක් මෙනි.´´

2. අය්‍යතා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි පසේනදි කොසොල් රජ මැදුම් දවල්හි භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජුගෙන් ´´මහරජ, මේ මැදුම් දවල් ඔබ කොහි සිට එහිදැ´´ යි භාග්‍යවත්හු විචාළෝය.

3. ´´ස්වාමීනි, මාගේ මුත්තනිය මැරුණාය. ඈ ජරාජීර්‍ණය, වයොවෘද්ධය, මහළුය, ඉක්මගිය බොහෝ කල් ඇත්තීය. පිළිවෙළින් අන්තිම වයසට පැමිණියාය, උත්පත්තියෙන් එකසිය විසි අවුරුදු වයස් ඇත්තීය. ස්වාමීනි, මට මේ මුත්තනිය ඉතා ප්‍රිය වූවාය. ඉතා මනාපය, ස්වාමීනි, මගේ හස්ති රත්නය දීමෙන් මුත්තනිය මරණින් මුදා ගත හැකිවීනම් මුත්තනිය නොමැරේවායි හස්ති රත්නය නමුත් දෙමි. අශ්වරත්නය දීමෙන්
මරණින් මුදාගත හැකිවී නම් මුත්තනිය නොමැරේවායි ගම් වරයක් නමුත් දෙමි. දනව්වක් දීමෙන් මුත්තනිය මරණින් මුදා ගත හැකිවීනම් මුත්තනිය නොමැරේවායි දනව්වක් නමුත් දෙමි.´´ යි කීයේය.

4. ´´මහරජ, සියලු සත්හු මරණය ස්වභාවකොට ඇත්තෝය. මරණයෙන් අවසන් වන්නෝය. මරණය නොඉක්මවූවෝය´´ යි භගවත්හු වදාළෝය.

´´ස්වාමීනි, පුදුමයි, ස්වාමීනි, ඉතා පුදුමයි, ´හැම සත්හු මැරෙණ ස්වභාවයය. මරණින් අවසන්වන්නෝය. මරණය නොඉක්මවූවෝය´ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්ද කෙතරම් සුභාෂිතයක්ද? කෙතරම් යහපත් කියමනක්දැ?´ යි රජ කීයේය.

5. ´´මහරජ, ඒ එසේය, මහරජ, ඒ එසේය, සියලු සත්හු මරණය ස්වභාවකොට ඇත්තෝය. මරණයෙන් අවසන් වන්නෝය. මරණය නොඉක්මවූවෝය. මහරජ, යම්සේ කුඹලා විසින් සාදනලද අමුවූද, පුළුස්සන ලද්දාවූද, යම් ඒ බඳුන් වෙත්ද, ඒ සියල්ලම බිඳෙනසුළුද, බිඳීමෙන් අවසන් වෙත්ද, බිඳීම් ස්වභාව නොඉක්මවූවාහුද, මහරජ, එසේ හැම සත්තුම මරණය ස්වභාවකොට ඇත්තෝය. මරණය නොඉක්මවූවෝය.

6. ´´හැම සත්හුම මැරෙන්නාහ. ජීවිතය මරණය අවසන්කොට ඇත්තේය. ( මරණින් පසු ) පින් පව් පල අනුව කම්වූ පරිදි පරලොව යන්නාහ. පව්කම් ඇත්තෝ නිරයටද, පින්කම් ඇත්තෝ සුගතියටද යන්නාහ. එහෙයින් පරලොව පිණිස රැස් කටයුතු කුසල් කම් කරන්නේය. පින් පරලොවදී

සත්‍වයන්ට පිහිට වෙති.´´

1. පුග්ගල සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජුට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. එනම්:- ´´මහරජ, මේ ලෝකයෙහි පුද්ගලයෝ සතර දෙනෙක් ඇත්තාහ. විද්‍යමානයහ. කවර සතර දෙනෙක්ද යත්:- අඳුරෙන් අඳුරට යන්නාය, අඳුරෙන් එලියට යන්නාය, එලියෙන් අඳුරට යන්නාය, එලියෙන් එලියට යන්නාය ( යන සතරදෙනා වෙත්. )

3. ´´මහරජ, කෙසේනම් පුද්ගලයා අඳුරෙන් අඳුරට යන්නේ වේද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දිළිඳුවූ, ආහාරපාන දුර්‍ලභවූ, දුෂ්කර පැවතුම් ඇති, ඉතා දුකසේ කෑම ඇඳීම ලබන, සැඩොල් කුලයෙහි හෝ කුළුපොතු කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ, රියකරු කුලයෙහි හෝ, කසලශෝධක කුලයෙහි හෝ, එබඳු පහත් කුලයෙහි උපන්නේවේද, හෙතෙමේත් අවලක්‍ෂණවූයේ, අප්‍රිය දැකුම් ඇත්තේ, ලකුණ්ටක ( මිටි ) වූයේ, ලෙඩින් පීඩිතවූයේ වේද, කණෙක් හෝ, අත් කොරෙක් හෝ, පා කොරෙක් හෝ, නටුවාවූ අඩකය ඇත්තෙක් හෝ වේද, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මල් ගඳ විලවුන්, නිදන තැන්, වසන තැන්, පහන් දල්වන දේ නොලබන්නෙකුත් වේද, හෙතෙම කයින්ද දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන්ද දුසිරිතෙහි හැසිරෙයි. සිතෙන්ද දුසිරිතෙහි හැසිරෙයි, හෙතෙම කයින්ද දුසිරිතෙහි හැසිර, වචනයෙන්ද දුසිරිතෙහි හැසිර, සිතෙන්ද දුසිරිතෙහි හැසිරී කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ, දුක් පැවතුම් ඇති, වහා වැටීම් ඇති නරකාදියෙහි උපදින්නේය.

මහරජ, යම්සේ නම් පුරුෂයෙක් අන්‍ධකාරයෙන් අන්‍ධකාරයට, කළුවරෙන් කළුවරට, ලේ කිලුටෙන් ලේ කිළුටට පැමිණේද, මහරජ, මේ පුද්ගලයාත් එබඳුයයි මම කියමි. මහරජ, අඳුරෙන් අඳුරට යන පුද්ගලයා මෙසේයි.

4. ´´මහරජ, අඳුරෙන් එලියට යන පුද්ගලයා කෙසේද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්, දිළිඳුවූ,දුර්‍ලභ ආහාරපාන ඇති, දුෂ්කර පැවතුම් ඇති, ඉතා දුකසේ කෑම ඇඳීම ලබන, සැඩොල් කුලයෙහි හෝ කුළුපොතු කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ, රියකරු කුලයෙහි හෝ, කසලශෝධක කුලයෙහි හෝ, යන මෙබඳු පහත් කුලයෙහි උපන්නේවේද, හෙතෙමේත් අවලක්‍ෂණවූයේ, දැකීමට අප්‍රිය වූවෙක් වූයේ, ලකුණ්ටකයෙක් ( මි්ට්ටෙක් ) වූයේ, නිතර ලෙඩින් පීඩිතයෙක් වූයේ , කණෙක් හෝ, අත් කොරෙක් හෝ, පා කොරෙක් හෝ, පක්‍ෂඝාතයෙක් හෝ වූයේ, ආහාර, පාන, වස්ත්‍ර, රථ, මල් ගඳ විලවුන්, නිදන හිඳින තැන්, පහන් දල්වන උපකරණ නොලබන්නෙකුත් වේද, හෙතෙමේ කයින් සුසිරිතෙහි හැසිරෙන්නේ වේ. වචසින් සුසිරිතෙහි හැසිරෙන්නේ වේ. සිතින් සුසිරිතෙහි හැසිරෙන්නේ වේ, හෙතෙමේ කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුසිරිෙතහි හැසිර, සිතෙන් සුසිරිතෙහි හැසිර, කය බිඳීමෙන් මරණින් මතු ශොභන ගති ඇති, සැපයෙන් අග්‍රවූ දෙව්ලොව උපදියි.

´´මහරජ, යම්සේ යම් පුරුෂයෙක් බිමෙන් අසුනකට නගීද, අසුනෙන් අසෙකු පිටට නගීද, අසෙකු පිටින් ඇතෙකු පිටට නගීද, ඇතෙකු පිටින් පහයකට නගීද, මේ පුද්ගලයා එබඳුයයි මම කියමි. මහරජ, මෙසේනම්

පුද්ගලයා අඳුරෙන් එලියට යන්නේ වේ.

5. ´´මහරජ, කෙසේනම් පුද්ගලයා එලියෙන් අඳුරට යන්නේ වේද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ධනයෙන් පිරීගිය මහත් ධන ඇති, මහත් භෝග සම්පත් ඇති, බොහෝ රන් රිදී ඇති, මන වඩන බොහෝ උපකරණ ඇති, බොහෝ ධන ධාන්‍ය ඇති, ක්‍ෂත්‍රිය මහසල් කුලයෙහි හෝ බමුණු මහසල් කුලයෙහි හෝ, ගෘහපති මහසල් කුලයෙහි හෝ එබඳු උසස් කුලයෙහි උපන්නේ වේද? හෙතෙමේත් ඉතා ලක්‍ෂණ වූයේ, දැකීමට ප්‍රියයෙක් වූයේ, දුටුවන් පහදවන්නෙක් වූයේ, උතුම් සුන්දර රූ සටහනින් යුක්ත වූයේ, කන දේ, බොන දේ, අඳින දේ, යහන්, මල් ගඳ විලවුන්, නිදන වසන තැන්, පහන් දල්වන උපකරණ පහසුවෙන් ලබන්නෙකුත් වේද හෙතෙමේ කයින් දුසිරිතෙහි හැසිරෙයි, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි, සිතින් දුසිරිතෙහි හැසිරෙයි. හෙතෙමේ කයින් දුසිරිතෙහි හැසිරී, වචනයෙන් දුසිරිතෙහි හැසිරී, සිතින් දුසිරිතෙහි හැසිරී, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ, දුඃඛිත පැවතුම් ඇති, වහා වැටෙන සුළු නරකයෙහි උපදින්නේය.

´´මහරජ, යම්සේ යම් පුරුෂයෙක් පහයෙන් ඇතු පිටට බසින්නේද, ඇතු පිටින් අසු පිටට බසින්නේද, අසු පිටින් අසුනකට බසින්නේද, අසුනකින් බිමට බසින්නේද, මහරජ, මේ පුද්ගලයා එබඳු යයි මම කියමි. මහරජ, මෙසේ නම් පුද්ගලයා එලියෙන් අඳුරට යන්නේ වෙයි.

6. ´´මහරජ, කෙසේ නම් පුද්ගලයා එලියෙන් එලියට යන්නේ වේද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්, ධනයෙන් පිරීගිය මහත් ධන ඇත්තාවූ මහත් භෝග සම්පත් ඇත්තාවූ, බොහෝ රන් රිදී ඇත්තාවූ, මනවඩන බොහෝ අබරණ ඈ වස්තූපකරණ ඇත්තාවූ, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූ, මහාසාර ක්‍ෂත්‍රිය කුලයෙහි හෝ මහාසාර බ්‍රාහ්මණ කුලයෙහි හෝ, මහාසාර ගෘහපති කුලයෙහි හෝ එබඳු උසස් කුලයෙක්හි උපන්නේ වේද, හෙතෙමේත් විශිෂ්ට රූ ඇත්තේ, දැකුම් කටයුත්තේ, දුටුවන් පහදවන්නෙක් වූයේ, උත්තම ලක්‍ෂණ රූ සටහනින් යුක්තවූයේ, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මල් ගඳ විලවුන්, නිදන වසන තැන්, පහන් දල්වන උපකරණ පහසුවෙන් ලබන්නෙක් වේද, හෙතෙමේ කයින් සුසිරිතෙහි හැසිරෙයි, වචනහෙන් සුසිරිතෙහි හැසිරෙයි, සිතෙන් සුසිරිතෙහි හැසිරෙයි. හෙතෙම කයින් සුසිරිතෙහි හැසිර, වචනයෙන් සුසිරිතෙහි හැසිර, සිතෙන් සුසිරිතෙහි හැසිර, කය බිඳී යාමෙන් මරණින් මතු යහපත් ගති ඇති සැපයෙන් අග්‍රවූ දෙව්ලොව උපදී.

මහරජ, යම්සේ යම් පුරුෂයෙක් අසුනෙන් අසුනට මාරුවන්නේද, අසු පිටින් අසු පිටට මාරුවන්නේද, ඇතු පිටින් ඇතු පිටට මාරුවන්නේද, පහයෙන් පහයට මාරුවන්නේද, මහරජ, මේ පුද්ගලයා එබඳු යයි මම කියමි. මහරජ, එලියෙන් එලියට යන පුද්ගලයා මෙසේය. මහරජ, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි විද්‍යාමාන වෙති.

7. ´´මහරජ, ශ්‍රද්ධා නැත්තාවූ, මසුරුවූ, දැඩි ලෝභ ඇත්තාවූ, ලාමක කල්පනා ඇත්තාවූ, මිසදිටු ගත්තාවූ, ආදර නැත්තාවූ, යම්කිසි දිළිඳු පුරුෂයෙක් මහණුන්ටද, බමුණන්ටද, අනික් යාචකයන්ටද,බැනුම් අපහාස කෙරේද? යහපත් ක්‍රියාවන්හි යහපත් විපාක නැත්තේය යන දෘෂ්ටි ඇත්තේ වේද, අනුන්ට ෙවෂ කරන්නේ වේද, යාචකයන්ට දෙනු ලබන භෝජනය වළකන්නේ වේද, ජනාධිපති රජුනි, එබඳු පුද්ගලයා මැරෙන්නේ දරුණු නිරයට පැමිණෙයි. මේ අඳුරෙන් අඳුරට යන පුද්ගලයාය.

8. රජුනි, දිළිඳුවූ යම් පුරුෂයෙක් ශ්‍රද්ධා ඇත්තේ, මසුරු චේතනා නැත්තේ, උසස් කල්පනා ඇත්තේ, එකඟ සිත් ඇත්තේ, දන්දේද, මහණුන්, බමුණන්, තදන්‍ය යාචකයන් දැක හුනස්නෙන් නැගිට වඳීද, සම පැවතුම්හි හික්මේද, යාචකයන්ට දෙනු ලබන භෝජනය නොවළක්වයිද?

´´ජනාධිපති රජුනි, එබඳු පුරුෂයා මැරෙන්නේ දෙව්ලොවට පැමිණෙන්නේය. මේ අඳුරෙන් එලියට යන පුද්ගලයාය.

9. ´´රජුනි, ධනයෙන් පිරීගියාවූ යම්කිසි පුද්ගලයෙක් ඉදින් ශ්‍රද්ධා නැත්තේ, මසුරු චේතනා ඇත්තේ, දැඩි ලෝභ ඇත්තේ, ලාමක චේතනා ඇත්තේ, මිසදිටු ගත්තේ, ආදර රහිත වූයේ, මහණුන්, බමුණන්, තදන්‍ය යාචකයන් දැක ආක්‍රොශ පරිභව කෙරේද, නාස්තික දෘෂ්ටි ඇත්තේ වේද, අනුන්ට ෙවෂ කරන්නේ වේද, යාචකයන්ට දෙනු ලබන භෝජනය වළකන්නේ වේද, ජනාධිපති රජුනි, මෙබඳු පුරුෂයා මැරෙන්නේ දරුණු නරකයට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය, මේ එලියෙන් අඳුරට යන පුද්ගලයායි.

10, ´´මහරජ, ධනයෙන් පිරීගියාවූ යම් පුරුෂයෙක් ඉදින් ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ, මසුරු චේතනා නැත්තේ, උතුම් චිත්ත සංකල්පනා ඇත්තේ, එකඟ සිතින් යුක්තව දන් දේන්නේවේද, මහණුන්, බමුණන්, තදන්‍ය යාචකයන් දැක අසුනෙන් නැගිට වඳීද, සම චරියාවෙහි හික්මේද, යාචකයන්ට දෙනු ලබන භෝජනය නොවළක්වයිද, ජනාධිපති රජුනි, එබඳු පුරුෂයා මිය පරලොව යන්නේ උත්පත්ති පිණිස දෙව්ලොවට යන්නේය. මේ එලියෙන් එලියට යන පුද්ගලයායි.

10. දුතියාපුත්තක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි පසේනදි කොසොල් රජ මැදුම් දවල් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජහුගෙන් ´´මහරජ, මේ මැදුම් දවල් ඔබ කොහි සිට එහිදැ´´ භාග්‍යවත්හු විචාළෝය.

3. ´´ස්වාමීනි, මෙහි සැවැත් නුවර සිටු ගෘහපතියා මැරුණෙය. දරුවන් නැති ඔහුගේ ඒ වස්තුව මම ඇතුළු නුවරට යවා එමි. ස්වාමීනි, රන් කාසිම ( කහවනු )ලක්‍ෂයකි. රිදී කාසි ගැන කියනුම කවරේද? ස්වාමීනි, ඒ සිටු ගෘහ පතියාගේ බත් කෑම මෙසේය. ´ මිරිස් හොදි සහිත නිවුඩු හාලේ බත කයි. ඇඳුම් ඇඳීම මෙසේයි: තුන් කඩක් එකට මූට්ටුකළ හණවැහැරියක් හඳියි. රථ පරිභෝගය මෙසේයි: කොළ කුඩයක් ( තල අත්තක් ) ඉහලමින් පරණ කරත්ත කබලකින් යයි.´´

4. ´´මහරජ, ඒ එසේය, මහරජ, ඒ එසේය, පෙර වූවක් කියමි. මහරජ, ඒ සිටු ගැහැවියා තගරසිඛී නම් පසේ බුදුන්ට පිණ්ඩපාත දානයක් දෙවීය. ´ශුමණයාට පිණ්ඩදානය දෙව්´ ය කියා හුනස්නෙන් නැගිට ගියේය. එසේදී පසුව මේ දුන් පිණ්ඩපාතය මගේ දාසයෝ හෝ කම්කරුවෝ කෑවාහුනම් වඩා හොඳයයි සිතමින් පසුතැවිලි වූයේය. සහෝදරයාගේ එකම පුතාද වස්තුව හේතුකොටගෙනම මැරවීය.

5. ´´මහරජ, සිටු ගෘහපතියා යම්හෙයකින් තගරසිඛී පසේ බුදුන්ට පිණ්ඩපිතය දෙවීද, ඒ කර්‍මයාගේ විපාකයෙන් සත්වරක් ස්වර්‍ගයෙහි උපන්නේය. ඒ කර්‍මයාගේ ඉතිරි විපාකයෙන් මේ සැවැත්නුවරම සත් වරක් සිටු තනතුර කරවීය.

6. ´´මහරජ, යම් හෙයකින් පිණ්ඩපාතය දෙවා පසුව දාසයෝ හෝ කම්කරුවෝ හෝ කෑවාහුනම් වඩා හොඳයයි පසුතැවිලි වීද ඒ කර්‍මයාගේ විපාකයෙන් ප්‍රණීත ආහාර වැළඳීමට ඔහුගේ සිත නොනැමෙයි. වටිනා ඇඳුම් ඇඳීමට ඔහුගේ සිත නොනැමෙයි. ඉතා වටිනා රථ වාහන පරිත්‍භා්ගයට ඔහුගේ සිත නොනැමෙයි. මන වඩන පස්කම් සැප අනුභවයටද ඔහුගේ සිත නොනැමෙයි.

7. ´´මහරජ, යම් හෙයකින් ඔහුගේ සහෝදරයාගේ එකම පුතා වස්තුව කරණකොටගෙණ මැරවීද, ඒ කර්‍මයාගේ විපාකයෙන් බොහෝ සිය ගනන් බොහෝ දහස් ගනන් බොහෝ සිය දහස් ගනන් අවුරුදු නිරයෙහි පැසුණේය. ඒ කර්‍මයාගේම ඉතිරි විපාකයෙන් දරුවන් නැති ඔහුගේ වස්තුව රාජකොෂ්ටාගාරයට ගෙණයන සත්වන වාරය මෙයයි. මහරජ, ඒ සිටු ගෘහපතියාගේ පුරාණ පින ගෙවී අවසානය. අළුත් පිනක්ද රැස් නොකෙළේය. මහරජ, අද සිටු ගෘහපතියා රෞරව නම් නරකාදියෙහි පැසෙන්නේය.´´

8. ´´ස්වාමීනි, එසේද? සිටු ගැහැවියා රෞරව නරකයෙහි උපන්නේද?´´ ´´එසේය, මහරජ, සිටු ගැහැවියා රෞරව නරකයෙහි උපන්නේය.´´

´´ධාන්‍යය, ධනය, රිදීය, රත්රන්ය, අඹුදරු ආදී අනික් යම් දෙයක් ඇත්නම් එය, දාසයෝය, කම්කරුවෝය, පණිවිඩ කරුවෝය, තමන් අනුව ජීවත් වන්නෝය, යන මේ සියල්ලම පරලොව යාමේදී ගෙණයා නොහැකිය. ඒ සියල්ලම මෙහි දමා යා යුතුයි. කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ යම් කර්‍මයක් කෙරේනම් එය පමණක් ඔහුට ස්වකීය වස්තුව වේ. එය රැගෙන පරලොව යන්නේද වේ. ඒම ඔහු නොහැර පසු පස යන සෙවනැල්ල මෙන් ඔහු අනුව යන්නේ වේ. එහෙයින් පරලොව හිත සැප පිණිස රැස්කටයුතු පින්ම කටයුතු වේ. සත්‍වයන්ට පරලොවදි පින් පිහිට වෙති.´´

9. පඨමා පුත්තක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක.

2. එකල්හි පසේනදි කොසොල් රජ මැදුම් දවල් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. භාග්‍යවතුන් වහන්සේ, එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජහුගෙන් ´´මහරජ, ඔබ මේ මැදුම් දවල් කොහි සිට එහිදැ´´ යි ඇසීය.

3. ´´ස්වාමීනි, මෙහි සැවැත් නුවර සිටු ගෘහපතියා මැරුණෙය. මම ඔහුගේ ඒ දරුවන් නැති වස්තුව ඇතුළු නුවරට හැර යවා එමි. ස්වාමීනි, රන් ( කහවනු ) කාසිම අසූ ලක්‍ෂයකි. රිදී කාසි ගැන කියනුම කවරේද? ස්වාමීනි, ඒ සිටු ගෘහ පතියාගේ බත් කෑම මෙසේ වෙයි. ´ මිරිස් හොදි සමග නිවුඩු හාලේ බත කයි. ඇඳුම් හැඳීම මෙසේ වෙයි, තුන් කඩක් එකට මූට්ටුකළ හණවැහැරියක් අඳියි. යාන පරිභෝගය මෙබඳු වූවක් වෙයි. කොළ කුඩයක් ( තල අත්තක් ) ඉහලමින් දිරාගිය රථයෙන් යයි.´´

4. මහරජ, ඒ එසේය. මහරජ, ඒ එසේය. මහරජ, අසත් පුරුෂයා වනාහි මහත් වස්තුව ලැබ තමන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. මව් පියන්ද සැපවත් නොකෙරෙයි. දස් කම්කරු මිනිසුන්ද ( වැඩ කාරයින්ද ) සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. මිත්‍රාමාත්‍යයන්ද ( වැඩපල කරදෙන යහළුවන්ද ) සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. මහණ බමුණන් විෂයෙහිද මතු සැප ගෙන දෙන, සුගතියට හිතවත්වූ, සැපවිපාක ගෙන දෙන, දිව්‍යලෝකයේ උප්පත්තිය ඇතිකරණ දාන නොම පිහිටවයි. මෙසේ හොඳින් පරිභෝග නොකරන්නාවූ ඔහුගේ ඒ ධනය රජවරු හෝ පැහැර ගනිති. හොරු හෝ ගෙන යති. ගින්න හෝ දවයි. ජලය හෝ පාකර හරියි. මව් පියන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. අඹු දරුවන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. දස් කම්කරු මිනිසුන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. වැඩපොල කරදෙන යහළුවන්ද අප්‍රිය නෑයෝ හෝ හැරගෙන යති. මහරජ, මෙසේ ඇති කල්හි හොඳින් පරිභෝග නොකරණ වස්තු විනාශයට යති. පරිභෝගයට ( පාවිච්චියට ) නොයති.

5. ´´මහරජ, යම්සේ නම් අමනුෂ්‍යාධිගෘහිත ස්ථානයෙක්හිවූ ප්‍රසන්න ජලය ඇති, ශීතල ජලය ඇති, රසවත් ජලය ඇති, සුදු වැලිතලා ඇති, මනාව පිහිටි තොටුපොල ඇති, මනොඥවූ පොකුණක් වේද, එහි ජලය මහජනයා පරිභෝගයට නොම ගෙණ යන්නේය. නොබොන්නේය. නොනාන්නේය. ඒ ජලයෙන් රිසිවූ කිසිවක් නොකරන්නේය. මෙසේ ඇතිකල්හි, මහරජ, ඒ ජලය හොඳින් පාවිච්චි නොකරණු ලබන්නේ ක්‍ෂයව යයි, පරිභෝගයට නොයයි.´´

6. ´´මහරජ, එසේම අසත්පුරුෂයා මහත් භෝගවස්තු ලැබ තමන් සැපවත් නොකෙරේ. නොම පිණවයි. මව් පියන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. අඹු දරුවන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. දස් කම්කරු මිනිසුන්ද සැපවත් නොකෙරෙයි. නොම පිණවයි. වැඩපොල කරදෙන යහළුවන්ද අප්‍රිය නෑයෝ හෝ හැරගෙන යති. මහරජ, මෙසේ ඇති කල්හි හොඳින් පරිභෝග නොකරනු ලබන්නෝ විනාශයට පැමිණෙති. පරිභෝගයට නොපැමිණෙති.´´

7. මහරජ,සත්පුරුෂයා වනාහි මහත්භෝග සම්පත් ලැබ තමන් සුවපත් කෙරෙයි. පිනවයි. මව් පියන් සැපවත් කෙරෙයි. පිනවයි. අඹු දරුවන් සැපවත් කෙරෙයි, පිනවයි. දස් කම්කරු පුරුෂයන් සැපවත් කෙරෙයි. පිනවයි. වැඩපොල කරදෙන යහළුවන්ද සැපවත් කෙරෙයි, පිනවයි. මහණ බමුණන් විෂයෙහි මතු කල සැප ගෙන දෙන, සුගතියට හිතවත්වූ, සැපවිපාක ඇතිකරණ, සග සැප පිණිස පවත්නා දාන පිහිටවයි. මෙසේ යහපත්ව පරිභෝග කරනු ලබන ඔහුගේ ඒ වස්තු රජවරු හැර නොගනිත්. හොරු නොගෙනියත්. ගින්න නොදවයි. ජලය හෝ පාකොට නොහරියි. අප්‍රිය නෑයෝ නොගෙනියත්. මහරජ, මෙසේ ඇති කල්හි මනාකොට පාවිච්චිකරනු ලබන්නාවූ ඒ සම්පත් පරිභෝගයට පැමිණෙති. (නිකරුනේ) විනාශයට නොපැමිණෙති.

8. ´´මහරජ, යම්සේ නම් ගමක් හෝ නියම් ගමක් සමීපයෙහි පහන් දිය ඇති, සිහිල් දිය ඇති, රසවත් දිය ඇති, සුදු වැලිතලා ඇති, මනාව පිහිටි තොටුපල ඇති, මනොඥවූ පොකුණක් වේද, එහි දිය ජනයා සිත්සේ ගෙණ යන්නේද, බොන්නේද, නහන්නේද, රුචිසේ පාවිච්චි කරන්නේද වෙයි. මහරජ, ඒ ජලය මනාව පරිභෝග කරනු ලබන්නේ පරිභෝගට පැමිණෙයි. නිකරුණේ විනාශයට නොපැමිණෙයි.

9. මහරජ, එසේම නුවණැති සත්පුරුෂයා මහත් සම්පත් ලැබ තමන් සැපවත් කෙරෙයි. පිනවයි. මව් පියන් සැපවත් කෙරෙයි. පිනවයි. අඹු දරුවන් සැපවත් කෙරෙයි, පිනවයි. දස් කම්කරු පුරුෂයන් සැපවත් කෙරෙයි. පිනවයි. වැඩපොල කරදෙන යහළුවන් සැපවත් කෙරෙයි, පිනවයි. මහණ බමුණන් විෂයෙහි මතු කල සැප ගෙන දෙන, සුගතියට හිතවත්වූ, සැපවිපාක ඇතිකරණ, සග සැප පිණිස පවත්නා දාන පිහිටවයි. මෙසේ යහපත්ව පරිභෝග කරනු ලබන ඔහුගේ ඒ වස්තු රජවරු හැර නොගනිත්. හොරු නොගෙනියත්. ගින්න නොදවයි. ජලය හෝ පාකොට නොහරියි. අප්‍රිය නෑයෝ නොගෙනියත්. මහරජ, මෙසේ ඇති කල්හි මනාකොට පාවිච්චිකරනු ලබන්නාවූ ඒ සම්පත් පරිභෝගයට පැමිණෙති. (නිකරුනේ) විනාශයට නොපැමිණෙති. මෙසේ ඇතිකල්හි ඒ භෝගයෝ මනාව පරිභෝග කරනු ලබන්නෝ පරිභෝගයට භුක්තිවිඳීමට පැමිණෙති, නිකරුනේ විනාශයට නොපැමිණෙති.

10. ´´අමනුෂ්‍යාධිගෘහිත ස්ථානයෙක්හි පිහිටි දිය නොබීම යම්සේ නිකරුනේ වියලීයාද, එමෙන් නින්‍දිත පුරුෂයා ධනය ලැබ තමනුත් පරිභෝග නොකරයි. අනුන්ටත් නොදෙයි. නුවණැති පණ්ඩිත යම් පුද්ගලයෙක් වේද, හෙතෙමේ සම්පත් ලැබ තමනුත් පරිභෝග කෙරෙයි. කටයුතු දේත් කරයි. ඒ උතුම් පුද්ගලයා නෑ සමූහයාද පෝෂණයකොට ප්‍රශංසා ලබා මරණින් පසු සුගතියට පැමිණේ.

8. දුතියප්පමාද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ´´ස්වාමීනි, විවේකීව හුදකලාව හුන් මට මේ සිත විය. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය යහපත්සේ දෙසන ලද්දේය. හෙද යහපත් මිත්‍රයන් ඇත්තාටය. යහපත් යහළුවන් ඇත්තාටය. යහපතට නැමුණු තැනැත්තාටය, පාප මිත්‍රයන් ඇත්තාට නොවේ. පාප යහළුවන් ඇත්තාට නොවේ. පවට නැමුණහට නොවේ´´ යි කියායි.

3. ´´ මහරජ, ඒ එසේය. මහරජ, ඒ එසේය. මහරජ, මවිසින් ධර්‍මය මනාකොට දෙසන ලදී. හෙද යහපත් මිතුරන් ඇත්තාටය. යහපත් යහළුවන් ඇත්තාටය. යහපතට නැමුණු තැනැත්තාටය, පාප මිත්‍රයන් ඇත්තාට නොවේ. පාප යහළුවන් ඇත්තාට නොවේ. පවට නැමුණු තැනැත්තාට නොවේ.

4. ´´ මහරජ, මම එක් වතාවකදී, ශාක්‍ය ජනපදයේ ශාක්‍ය රජ දරුවන්ගේ නාගරක නම් නියම් ගම්හි වාසය කරමි. මහරජ, එවිට ආනන්‍ද භික්‍ෂු මා යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත්පස්ව හිඳ ආනන්‍ද භික්‍ෂුව මෙසේ කීයේය. ´ස්වාමීනි, යහපත් මිතුරන් ඇති බව යහපත් යහළුවන් ඇතිබව යහපතට නැමුනු බව මේ ශාසන බ්‍රහ්මචය්‍ර්‍යාවෙන් බාගයක්සේ සලකමි´ යි.´´

5. මහරජ, මෙසේ කියනු ලැබූ මම, ආනන්‍ද භික්‍ෂුවට මෙය කීමි. ´´ ආනන්‍දය මෙසේ නොකියව, ආනන්‍දය මෙසේ නොකියව, ආනන්‍දය මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව එහෙම පිටින්ම යහපත් මිතුරන් ඇති බවය, යහපත් යහළුවන් ඇති බවය, යහපතට නැමුණු බවය, යහපත් මිතුරන් ඇත්තා, යහපත් යහළුවන් ඇත්තා, යහපතට නැමුණු තැනැත්තා ආය්‍ර්‍ය අෂ්ඨාංගික මාර්‍ගය භාවනා වශයෙන් වඩන්නේය. නැවත නැවත බහුල වශයෙන් සිත් සතන්හි පුරුදු කරන්නේය. යන මේ කරුණ යහපත් මිතුරන් ඇති භික්‍ෂුව විසින් බලාපොරොත්තු විය යුත්තකි.

6. ´´ආනන්‍දයෙනි, යහපත් මිතුරන් ඇති, යහපතට නැමුණු භික්‍ෂුව කෙසේනම් ආය්‍ර්‍ය අෂ්ඨාංගික මාර්‍ගය වඩන්නේද? කෙසේනම් ආය්‍ර්‍ය අෂ්ඨාංගික මාර්‍ගය බහුල වශයෙන් දියුණු කරන්නේද?´´

7. ´´ ආනන්‍දය, මේ ශාසනයෙහි භික්‍ෂුතෙමේ කෙලෙසුන්ගෙන් වෙන්වීමයයි කියනලද විවේකය ඇසුරුකළ, කෙලෙසුන් නැතිකිරීමයයි කියනලද නිරෝධය ඇසුරුකළ, කෙලෙසුන් හැරදැමීමයයි කියනලද නිස්සග්ගය කරා නැමුණු සම්මාදිටඨිය යහපත් දැකීම වඩයි. යහපත් කල්පනාව වඩයි. යහපත් වචනය වඩයි, යහපත් කම් වඩයි. යහපත් දිවි පැවතුම් වඩයි, යහපත් උත්සාහය වඩයි, යහපත් සිහිය වඩයි, යහපත් සමාධිය ( භාවනාව ) වඩයි. ආනන්‍දය, යහපත් මිතුරන් ඇති භික්‍ෂු මෙසේ ආය්‍ර්‍ය අෂ්ඨාංගික මාර්‍ගය වැඩිදියුණු කරන්නේය, භාවනා වශයෙන් නැවත නැවත පුහුණු කරන්නේය.´´

8. ´´ ආනන්‍දය, මේ ක්‍රමයෙන්ද මේ ශාසන බ්‍රහ්මචය්‍ර්‍යාව මුළුමනින්ම යහපත් මිතුරන් ඇති බවය, යහපත් යහළුවන් ඇති බවය, යහපතට නැමුණු බවය යනු දතයුතුයි. ආනන්‍දය, කළණ මිත් වූ මාවෙත පැමිණ උත්පත්තිය ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ උත්පත්තියෙන් මිදෙති. ජරාව ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ ජරාවෙන් මිදෙති. ලෙඩ ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ ලෙඩින් මිදෙති. මරණය ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ මරණින් මිදෙති. ශෝක කිරීම්, හැඬීම්, කායික දුක්, මානසික දොම්නස්, දැඩි ආයාස, යන මේ ස්වභාව කොට ඇති සත්ත්‍වයෝ ශෝකයෙන්, ඇඬීමෙන්, කායික දුකින්, මානසික දොම්නසෙන්, දැඩි ආයාසයෙන් මිදෙති. ආනන්‍දය, මේ ක්‍රමයෙන්ද ශාසන බුහ්මචය්‍ර්‍යාව මුළුමනින්ම යහපත් මිතුරන් ඇති බවය, යහපත් යහළුවන් ඇති බවය, යහපතට නැමුණු බව යයි දත යුතුයි.

9. මහරජ, එහෙයින් මේ කරුණෙහිලා ඔබ විසින්ද මෙසේ හික්මිය යුතුයි, ´යහපත් මිතුරන් ඇත්තෙක්, යහපත් යහළුවන් ඇත්තෙක්, යහපතට නැමුනෙක් වෙමි ´ කියායි. මහරජ, ඔබ විසින් මෙලෙසින්ම හික්මිය යුතුයි. එනම් යහපත් මිතුරන් ඇති, යහපත් යහළුවන් ඇති, යහපතට නැමුණු ඔබ විසින් කුසල් දහම්හි අප්පමාදය යන මේ වකම ධර්‍මය ඇසුරුකොට වාසය කට යුතුය යනුයි.´´

10. ´´මහරජ, නොපමාව අප්පමාදය ඇසුරුකොට වසන ඔබගේ ස්ත්‍රී නිවාසයටද මෙසේ සිත් වන්නේය. ´´රජතෙමේ අප්පමාදය ඇසුරුකොට අප්පමත්තව වසයි. එබැවින් අපිදු අප්පමාදය ඇසුරුකොට අප්පමත්තව වසමු´ කියයි.

11. ´´මහරජ, අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසන ඔබගේ අනුවර රජුන්ටද මෙසේ සිත් වන්නේය. ´´රජතෙමේ අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසයි. එබැවින් අපිදු අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසමු´ කියායි.

12. ´´මහරජ, අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසන ඔබගේ බල සෙනගටද මෙසේ සිත් වන්නේය. ´´රජතෙමේ අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වෙසෙයි. එබැවින් අපිදු අප්පමාදය ඇසුරුකොට අප්‍රමත්තව වසමු´ කියායි.

13 ´´මහරජ, නොපමාව වසන ඔබගේ නියම්ගම් දනව් වැස්සන්ටද මෙසේ සිත් වන්නේය. ´´රජ අප්පමාදය ඇසුරුකොට නොපමාව වසෙයි. එහෙයින් අපිදු අප්පමාදය ඇසුරුකොට වසමු´ කියායි.

14. ´´ මහරජ, අප්පමාදය ඇසුරුකොට නොපමාව වසන ඔබගේ ( ආත්මයද ) තමා ගෝපිතවූයේ රැකුනේවෙයි. ස්ත්‍රී නිවාසයද රැකුනේ වෙයි. ධන ගබඩා ධාන්‍ය ගබඩාද රක්‍ෂිත සුරක්‍ෂිත වෙති.

15. ´´ නොයෙක් ආකාර මහත් භෝග සම්පත් පතන්නා විසින් පින්කම්හි නොපමාව පුහුණු කටයුතුයයි, පණ්ඩිතයෝ පසසා පවසති. කුසල් දහම්හි නොපමාව, නුවණැත්තා මෙලෝ වැඩද පරලෝ වැඩද යන දෙයාකාර අභිවෘද්ධිය ලැබගනී. දෙලෝ වැඩම සිද්ධකරගන්නා කාරණයෙන් ඒ ධීමතා පණ්ඩිතයයි කියනු ලැබේ.´´

7.අප්පමාද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත් පසෙක හුන් පසේනදි කොසොල් රජ, ´´ස්වාමීනි, මෙලොව අභිවෘද්ධියද පරලොව අභිවෘද්ධියද යන දෙයාකාර අත්‍ර්‍ථසිද්ධියම ගෙන දෙන එක් දෙයක් ඇත්තේදැයි´´ භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළේය.

´´මහරජ, මෙලොව අභිවෘද්ධියද පරලොව අභිවෘද්ධියද යන දෙවැදෑරුම් අභිවෘද්ධියම ඇතිකරණ එක් දෙයක් ඇත්තේය.´´ ´´ ස්වාමීනි, මෙලොව අභිවෘද්ධියද පරලොව අභිවෘද්ධියද යන දෙවැදෑරුම් අභිවෘද්ධියම ඇතිකරණ එක් දෙය කිමෙක්ද?´´

3. ´´මහරජ, අප්පමාදයයි ( එළඹසිටි සිහි ඇති බව ) නම්වූ එකම දේ මෙලොව අභිවෘද්ධියද පරලොව අභිවෘද්ධියද යන දෙයාකාර අභිවෘද්ධියම ගෙනදෙන එක දෙයයි. මහරජ, ඇවිදින තොයි සතුන්ගේත් පියවර හෙවත් පා සටහන් ඇත් පියවර ඇතුළතම යම්සේ පිහිටත්ද, ඒ ඇත් පියවර මහත් බැවින් ඒ හැම පියවරටම වඩා අග්‍රයයි කියනු ලැබේද, එමෙන්ම මේ අප්පමාද නම් එතම ධර්‍මය මෙලෝ පරලෝ යන දෙවැදෑරුම් අභිවෘද්ධියම හොඳාකාර දරාසිටී.

4. ආයුෂද, නීරෝගී බවද, ලක්‍ෂණද, සැපයෙන් අග්‍ර බවද, උසස් කුලයෙහි ඉපදීමද, කුදු මහත් උදාර සම්පත්තීන්ද පතන්නා විසින් පින් දහම් කිරීමෙහි නොපමාව පුරුදුකළ යුතුයයි ( බුද්ධාදී ) පණ්ඩිතයෝ පසසා පවසති. ( පින් දහම්හි ) නොපමාවූ නුවණැත්තෝ දෙලෝ වැඩම සිද්ධකරගනී. මෙලොව යම් අභිවෘද්ධියක් ඇද්ද, පරලොව යම් වැඩකුත් ඇද්ද මෙකී දෙවැඩම අත්කර ගන්නා බැවින් ධෘතිමත් ( ස්ථිර ) පුද්ගලයා පණ්ඩිතයායයි කියනු ලැබේ.´´

6. ධීතු සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිනියේය. පැමිණ, වැඳ, එකත්පසෙක හුන්නේය. එවිට එක්තරා මිනිසෙක් කොසොල් රජ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ රජුගේ කණට කොඳුරා රහසින්, ´ මල්ලිනා දේවී දුවක් වැදුවා ´ යයි කීයේය. මෙසේ කීකල කොසොල් රජු නොසතුටු සිත් ඇත්තේ විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කොසොල් රජ නොසතුටට පැමිණියවුන් දැන ඒවේලෙහා මේ ගාථා වදාළේය.

3. ´´ රජතුමනි, ඇතැම් ස්ත්‍රීහු පිරිමින්ට වඩා ශ්‍රේෂ්ඨ වෙති. නුවණැත්තෝද, සිල්වත්ද, සැමියා දේවතාකොට ඇත්තෝද, පතිවත් රක්නෝද වෙති. එහෙයින් ඔවුන් පෝෂණය කරනු මැන. ඇයට යම් පුතෙක් උපදීද ඔහු . දික්පති ( දිශාවට අධිපති ) වෙයි. එබඳු වාසනාවන්තියගේ පුත්‍රයා රජකම් පවා කරන්නේය.´´